Monday, May 25, 2026
Epaper
Home විශේෂාංගඅයිස්ක්‍රීම් කූරෙන් මැවෙන පුංචි පැටවුන්ගේ අපූරු ලෝකය

අයිස්ක්‍රීම් කූරෙන් මැවෙන පුංචි පැටවුන්ගේ අපූරු ලෝකය

by Shanaka Lakehouse

අයිස්ක්‍රීම් එකක් කා ඉවර වූ පසු අප සාමාන්‍යයෙන් කරන්නේ එහි කූර විසි කර දැමීමයි. නමුත් මේ ඉවතලන අයිස්ක්‍රීම් කූර යනු ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය අවදි කළ හැකි අපූරු මෙවලමක් බව ඔබ මොහොතකටවත් සිතුවාද? නිවෙසේ රැඳී සිටින නිවාඩු කාලයේදී හෝ විවේකී සවස් වරුවක දරුවන් සමඟ එක්ව පරිසර හිතකාමී ලෙස මෙවැනි අලංකාර අත්වැඩ නිර්මාණය කිරීමෙන් ඔවුන්ගේ මනස මෙන්ම දෑතේ හුරුව ද වර්ධනය වේ.

ඉහත රූප සටහන්වල පෙනෙන පරිදි, ඉතාම සරල අමුද්‍රව්‍ය කිහිපයකින් නිවෙසේ අලංකාරය වැඩි කරන නිර්මාණ රැසක් අපට දරුවන් ලවා කරගත හැකිය.

අවශ්‍ය වන ද්‍රව්‍ය

● පිරිසුදු කරගත් අයිස්ක්‍රීම් කූරු

● පිරිසුදු කරගත් හිස් ටින් එකක්

● විවිධ වර්ණවලින් යුත් පැස්ටල් හෝ ඇක්‍රිලික් සායම්

● ගම් (Glue gun හෝ සුදු ගම්)

● වර්ණවත් කඩදාසි, පබළු, රිබන් සහ කුඩා ලේස් කැබලි

● කතුරක් සහ බුරුසුවක්

නිර්මාණ සකසා ගන්නා ආකාරය

වර්ණවත් පෑන් රැඳවුම (Pencil Holder)

මුලින්ම සමාන උසකින් යුත් අයිස්ක්‍රීම් කූරු කිහිපයක් ගෙන දරුවා ලවා විවිධ වර්ණ ගන්වන්න. හිස් ටින් එකක් හෝ කාඩ්බෝඩ්වලින් සාදාගත් සිලින්ඩරාකාර කොටසක් වටා මෙම කූරු පිළිවෙළට අලවන්න. ඉන්පසු රූපයේ දැක්වෙන පරිදි ලේස් පටියක් සහ කුඩා රිබන් දුන්නක් (Bow) යොදා එය හැඩ කරන්න. මෙයට අමතරව කූරුවල පහළ කොටස කුඩා මල්වලින් අලංකාර කළ හැකිය.

බිත්ති සැරසිලි සහ නාම පුවරු (Wall Hangings)

අයිස්ක්‍රීම් කූරු හතරක් හෝ පහක් එකිනෙකට තබා පිටුපසින් තවත් කූරු දෙකක් හරහට අලවා කුඩා පුවරුවක් සාදාගන්න. මෙහි මතුපිට දරුවා ලවා මල්, කුරුල්ලන් හෝ ‘Home’ වැනි වචනයක් ලියවා ලස්සන කරන්න. රූපයේ පෙනෙන පරිදි නූල් කැබැල්ලක් ආධාරයෙන් මෙය බිත්තියේ එල්ලා තැබිය හැකිය.

සත්ව රූප සහ සමනලුන්

අයිස්ක්‍රීම් කූරු කිහිපයක් විහිදුවා අලවා සමනලයෙකුගේ තටු මවාගත හැකිය. මැද කොටස සඳහා පබළු හෝ කුඩා ලී බෝලයක් භාවිත කරන්න. දරුවා කැමති වර්ණවලින් මෙය හැඩගැන්වීමට ඉඩ දෙන්න.

දරුවන්ට ලැබෙන ප්‍රයෝජන

මෙම අත්වැඩ දරුවන්ට හුදෙක් විනෝදාංශයක් පමණක් නොවේ.

කුඩා කූරු ඇල්ලීම, අැලවීම සහ වර්ණ ගැන්වීම මඟින් දරුවාගේ නිර්මාණශීලිත්වය හා ඇඟිලිවල සියුම් චලන වර්ධනය වේ.

තමන් කැමති වර්ණ සහ හැඩතල තෝරාගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ පරිකල්පන ශක්තිය දියුණු වේ.

ඉවසීම: නිර්මාණයක් අවසානය තෙක් නිම කිරීමට උත්සාහ කිරීමෙන් දරුවා තුළ ඉවසීමේ ගුණය ප්‍රගුණ වේ. ඉතින්, මින්පසු අයිස්ක්‍රීම් කූරු විසි කරන්නට පෙර ඒවා සෝදා පිරිසුද කර පුංචි පැටවුන්ට ලබා දෙන්න. එවිට ඔබේ නිවෙසේ බිත්ති ඔවුන්ගේ අතින් මැවුණු අපූරු කලාගාරයක් වනු නොඅනුමානය. මෙම සරල අත්කම් ක්‍රියාවලිය මව සහ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට ද කදිම අවස්ථාවකි. එමෙන්ම වැඩිහිටි ඔබට නිවසේ සිටම ස්වයං රැකියාවක් ලෙස කරමින් ආදායම් ඉපැයිය හැකි මඟක් ද වේ.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?