හැමෝම කැමති නිවුන් බබාලා
එක වගේම හුරතල්, හැම අතින්ම එකිනෙකාට සමාන මැණික් කැට දෙකක් වගේ දරු පැටව් දෙන්නෙක් ම නිවෙසක ඉන්නවා නම්… අපූරු සුරංගනා කතාවක් වගේ මිහිරි මතක ගොන්නක් උපදිනවා නිසැකයි. නිවුන්නු විතරක් නෙවෙයි, තුන් නිවුන්නු, සිව් නිවුන්නු එහෙමත් අපට දැන් මුණගැහෙනවා. හැමෝගෙම ආදරය, ආකර්ෂණය ඩැහැගන්න නිවුන් බබාලට මවක් වෙන එක සමහරුන්ගේ සිහිනයක්. ඇතැමෙක් අනපේක්ෂිතව මේ වාසනාව උරුම කරගන්නවා.
සෑම දරු උපත් 60කින් එකක්ම නිවුන් දරු උපතක්. දැන් එන්න එන්නම නිවුන් දරු උපත් වැඩි වෙමින් පවතිනවා. ඉතින් නිවුන් දරුවන් ගැන නිවැරදි විස්තර දැනගන්න එක සෑම කාන්තාවකටම වැදගත්.
නිවුන්නු කොහොමද හැදෙන්නේ?
මවගේ ඩිම්බයකුත් පියාගේ ශුක්‍රාණුවකුත් සංසේචනය වෙලා හැදෙන යුක්තානුව කියන තනි සෛලය අනන්ත වාරයක් බෙදීමෙන් තමයි මවගේ කුස තුළ බිලිඳෙක් හැදෙන්නේ. සාමාන්‍යයෙන් එක් යුක්තානුවකින් එක බිලිඳෙක් තමයි හැදෙන්නේ. නමුත් කලාතුරකින් අවස්ථාවක, යුක්තානුව කලල දෙකක් හෝ ඊට වැඩි ගණනක් හදනවා. එතකොට එක යුක්තානුවකින් එකිනෙකට සර්වසම ජීවීන් කිහිපයක් ඇති වෙනවා. මොවුන්ට සමහර විට වෙන වෙනම වැදැමහ තිබුණත්, සමහර විට එක වැදැමහකින් නිවුන්නු දෙදෙනාම පෝෂණය ලබනවා. සමහර වෙලාවට දෙන්නම ඉන්නේ එක ‘water bag’ (පටල කුටීරය) එකක් ඇතුළේ.
නිවුන්නු හැදෙන අනිත් සුලභ විදිහ තමයි මව එකවර ඩිම්බ දෙකක් හෝ වැඩි ගණනක් මෝචනය කරලා, ඒවා වෙන වෙනම ශුක්‍රාණු සමඟ සංසේචනය වෙලා යුක්තානු කිහිපයක් සෑදීම. මේ නිවුන් බබාලා සර්වසම වෙන්නේ නැහැ. මඳසරු බවට ප්‍රතිකාර කරද්දී ඩිම්බ මෝරන ඖෂධ නිසා මෙහෙම ඩිම්බ කිහිපයක් එකවර නිදහස් වෙන්න පුළුවන්. IVF (නළ දරු) ප්‍රතිකාර කරද්දී සෑදෙන කලල එකකට වැඩි ගණනක් ගර්භාෂයේ එකවර තැන්පත් කළොත් එවිටත් සර්වසම නොවූ නිවුන්නු හැදෙනවා. මොවුන්ට එකිනෙකාට වෙන් වූ වැදැමහ සහ ‘water bags’ තියෙනවා.
නිවුන් දරුවන් ඇති වීම ආරයට යන්නත් පුළුවන්. නිවුන්නු එකම වැදැමහෙන් පෝෂණය ලබද්දී ඔවුන්ට වර්ධනය සම්බන්ධ ගැටලු වැඩියි. ඔවුන් තනි ‘water bag’ එකක ඉන්නවා නම් පෙකණි වැල සම්බන්ධ ගැටලු එන්න තියෙන අවදානම වැඩියි.
නිවුන් දරුවන් ලැබීම අවදානම් ද?
නිවුන් ගැබ් ගැනීම් බොහොමයක් නීරෝගි දරු උපත් සඳහා හේතු වෙනවා. හැබැයි පරිණාමීය වශයෙන් මිනිසා හැදිලා තියෙන්නේ වරකට එක බිලිඳෙක් බිහි කරන්න. ඉතින් ඒක නිසා නිවුන් ගැබක් කියන්නේ අභියෝගයක් (Challenge). එක පැත්තකින් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හිමොග්ලොබින් අඩු වීම (නිරක්තිය) වැනි ගැටලු මවට ඒමට ඇති හැකියාව වැඩි වෙනවා. බොහෝ වෙලාවට සිසේරියන් ශල්‍යකර්මයක් මඟින් තමයි බිලිඳා බිහි කරන්න වෙන්නේ. ප්‍රසවයෙන් පසු රුධිර වහනය වෙන්න ඇති හැකියාවත් ඉහළයි. හැබැයි, මේ සියල්ලම නූතන වෛද්‍ය විද්‍යාවට කළමනාකරණය කරන්න පුළුවන් අභියෝග. ඒ නිසා මවුවරුන් බිය වෙන්න අවශ්‍ය නැහැ.
බොහෝ නිවුන් දරු උපත් අඩු සති ගණනකින් සිදු වෙන්නේ. 75% අවස්ථාවලදී සති 35ට කලින් දරුවන් බිහි වීම සිදු වෙනවා. අඩු මෝරමකින් වෙන දරු උපත් නිසා බිලිඳුන්ට අපහසුතා සහ අවදානම් තත්ත්ව/සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතාම අඩු සති ගණනකින් බිහි වෙන බබාලා ICU එකේ සති ගණනක් ගත කරන අවස්ථාත් තියෙනවා. වර්ධනය අඩු වීම සහ බබාලට කුසේදී මවගෙන් ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීමත් සුලභ තත්ත්වයක්. ඒ නිසා නිවුන් බබාලා ඉන්න කොට, මාස 4න් වගේ පස්සේ සෑම සති 2-4කට වතාවක් ස්කෑන් (Scan) පරීක්ෂණ කරන්න වෙනවා. එක බිලිඳෙකුගේ රුධිරය අනිත් බිලිඳාට ගමන් කරන්න ගන්න එක කලාතුරකින් ඇති වෙන අධි අවදානම් තත්ත්වයක්.

ගර්භිණී කාලයේ මවට එන වමනය, කොන්දේ සහ බඩේ වේදනාව ආදී අපහසුකම් ද අනෙක් කාන්තාවන්ට වඩා උග්‍ර වීම සුලභයි.
සැලසුම් කරලා නිවුන් දරුවන් ලබා ගන්න එක නම් අනවශ්‍ය ගැටලු රාශියකට අත වැනීමක්. එම නිසා එවැන්නකට උත්සාහ කරන්න එපා. මඳසරු බවට ප්‍රතිකාර කරද්දී නිවුන් දරු උපත් වළක්වා ගන්න පියවර ගැනීමත් වැදගත්. ලෝකයේ අනෙක් රටවල වරකට එක ඩිම්බයක් පමණක් මෝරන ලෙසට තමයි ඖෂධ දෙන්නේ. නළ දරු තාක්ෂණය භාවිත කිරීමේදීත් නිවුන් දරුවන් බිහි වීම අවම කිරීමට පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරනවා.
නිවුන් දරුවන් කුසේ ඉන්න මවක් සූදානම් වෙන්නේ කොහොමද?
ඔබ කුස තුළ නිවුන්නු ඇති බව දැනගත් මොහොතේම ඔබට චකිතයක් ඇති වීම සාමාන්‍යයි. නමුත් ලෝකයේ වසරකට නිවුන් දරුවන් දළ වශයෙන් ලක්ෂ 16ක් උපත ලබනවා. ඉතින් අනවශ්‍ය තැතිගැන්මක් අවශ්‍ය වන්නේ නැහැ. නිවුන් දරුවන් කුසේ සිටින නිසා ඔබට අමතර ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙනවා. එක වැදැමහක් බෙදාගෙන ඉන්නා නිවුන් බබාලව සති 16 ඉඳන් සෑම සති 2කට වරක්ම ස්කෑන් කරනවා. ඒ ඔවුන්ට විවිධ ගැටලු ඒමට ඇති අවදානම වැඩි නිසා. අනෙක් බබාලව සති 20 ඉඳන් සෑම මාසයකට සැරයක්ම ස්කෑන් කරන්න ඕනෑ. ඒ ඔවුන්ගේ වර්ධනය, වතුර මට්ටම සහ ලැබෙන රුධිර මට්ටම් පරීක්ෂා කිරීමටයි. ඒ වගේම ‘Anomaly Scan’ පරීක්ෂණයක් සිදු කිරීමත් යෝග්‍යයි.
ඒ වගේම අපි කලින් කියපු සංකූලතාවලට වරින් වර විශේෂයෙන් විවිධ පරීක්ෂා කරන්න අවශ්‍යයි. ඒ අනුව අමතර ඖෂධ ලබා දීමත් සිදු කරනවා. අධි රුධිර පීඩනය ඇති වෙන්න ඉඩ වැඩි අම්මලාට අපි ඇස්ප්‍රින් ලබා දීමත් සිදු කරනවා. අඩු මාසයෙන් බිහි වෙන්න ඉඩ වැඩි නම් බබාගේ පෙණහලු මෝරන්න එන්නතක් ලබා දීමත් කරනවා.
නිවුන්නු බොහෝ වෙලාවට ටිකක් කලින් ප්‍රසූත (Deliver) කරනවා. බොහොමයක් වෙලාවට ඒ සති 35-38 අතරදී. මවගේ කැමැත්ත මත අවදානම අඩු නිවුන් බබාලා සාමාන්‍ය ලෙස (Normal Delivery) බිහි කරන්නත් පුළුවන්.
නිවුන්නු කුසේ ඉන්න අම්මලාට අපහසුම කාලය වන්නේ ගර්භිණී සමයේ අවසන් මාස කිහිපයයි. උදර වේදනාවන්, කොන්දේ කැක්කුම ආදිය ඉතා පීඩාකාරී වෙන්න පුළුවන්. හරිහැටි නින්දක් ලබන්නත් අපහසු වෙන්න පුළුවන්. මේ සියලු ගැටලු වෛද්‍යවරයකුගේ උපදෙස් මත හැකි අයුරින් විසඳා ගැනීම කරන්න ඕනෑ.
බබාලා ලැබුණු පසුත් කාලය ටිකක් අමාරුයි…
අවශ්‍ය තරම් කිරි දෙන්න බැහැ කියලා අම්මලා ගොඩක් පීඩනයට (Stress) පත් වෙනවා. බබාලා දෙන්නගේ වැඩත් එක්ක අම්මා ගොඩක් කායිකව, මානසිකව වෙහෙසට පත් වෙනවා. නිදි නැතිකමත් ප්‍රධානයි. ඉතින් මේ නිසාම අඩුම තරමේ මුල් මාස කිහිපයටවත් උදවුවට පිරිස ළඟින් තියා ගැනීම ඉතා වැදගත්. නැත්නම් අම්මත් අසනීප වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ මේ අපහසුකම් කොහොමහරි ඉවසගෙන හිටියම අවසානයේ බබාලා ලොකු වෙද්දී ලැබෙන සතුට ප්‍රමාණ කරන්න බැහැ. එතකොට තමයි ඒ වින්ද දුක්වල ඇත්තම වටිනාකම තේරෙන්නේ.
