Monday, May 25, 2026
Epaper
Home වෛද්‍යඔබේ දවස අඩපණ කරන ගැස්ට්‍රයිටිස්

ඔබේ දවස අඩපණ කරන ගැස්ට්‍රයිටිස්

by Shanaka Lakehouse

වර්තමානයේ කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකුට ආහාර වේල ලබා ගැනීම මඟ හැරී ඇත. අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ඇති වන ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඉතා සුළු කොට සැලකුවද, කාලයත් සමඟ දරුණු රෝගාබාධයන්ට ද මුහුණ දීමට සිදු වෙයි. ගැස්ට්‍රයිටිස් රෝගයෙන් තොරව නීරෝගි හා ක්‍රියාශීලි ජීවන රටාවක් පවත්වා ගෙන යාමට නම් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට පුරුදු විය යුතුය.

ගැස්ට්‍රයිටිස් ලෙස සරලව අදහස් වන්නේ කුමක්ද? එය සාමාන්‍ය බඩේ දැවිල්ලකට වඩා වෙනස් වන්නේ කෙසේද?

ගැස්ට්‍රයිටිස් යනු ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඇති වන ඉදිමීමක් ලෙස සරලව හැඳින්විය හැකිය. මුල්ම අවස්ථාවේදී සාමාන්‍යයෙන් ඇති වන බඩේ දැවිල්ලක් හා ගැස්ට්‍රයිටිස් හේතුවෙන් ඇති වන බඩේ දැවිල්ලක් හඳුනාගැනීමට අපහසුය. මිරිස් සහ අධික තෙල් සහිත ආහාර ලබා ගැනීමෙන් අනතුරුව ඇති වන බඩේ දැවිල්ලට වඩා ආමාශයේ ඉදිමීම නිසා ඇති වන බඩේ දැවිල්ල වෙනස් වෙයි. එබැවින් යම් පුද්ගලයෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳී ඇත්නම් නිරන්තරයෙන් බඩේ දැවිල්ලක් ඇති වෙයි.

පුද්ගලයෙකුට තමාට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳී ඇති බව හඳුනා ගත හැකි මූලික රෝග ලක්ෂණ මොනවාද?

යම් පුද්ගලයෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳී ඇති බව හඳුනා ගැනීමට රෝග ලක්ෂණ කිහිපයක් පවතියි. කුසගින්න දරා ගැනීමට නොහැකි වීම එක් ලක්ෂණයකි. එම අවස්ථාවේදී ඉතා ඉක්මනින් යම් ආහාරයක් අනුභව නොකළහොත් හිසරදයක් ඇති වීම, දහඩිය දැමීම, ඇඟ පණ නැති වීම වැනි රෝගාබාධයන් ඇති විය හැකිය. ඇතැම් විට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති රෝගීන් හට මුල්ම අවස්ථාව තුළ කිසිදු රෝග ලක්ෂණයක් හෝ ඇති වන්නේ නැත.

ගැස්ට්‍රයිටිස්වලදී ඇති වන පපුවේ වේදනාව හා හෘද රෝගයකදී ඇති වන පපුවේ වේදනාව අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද?

ගැස්ට්‍රයිටිස්වල පවතින්නේ සත්‍ය වශයෙන්ම පපුවේ වේදනාවක් නොව බඩේ දැවිල්ලකි. නමුත් එලෙස ඇති වන වේදනාව Vagus Nerve (වේගස් ස්නායුව) හරහා දැනෙන නිසා එම ඇති වන වේදනාව පපුව හරහා ඇති වන බව දැනෙයි. සාමාන්‍යයෙන් හෘද රෝගයකදී අත හිරිවැටීමත් සමඟ ඇති වන වේදනාව බෙල්ලට සම්බන්ධ වී දැනෙයි. ගැස්ට්‍රයිටිස්වලදී බඩ ඇතුළෙන් ඇති වන වේදනාව පපුව හරහා එන බව දැනෙයි. බොහෝ දෙනෙකුට මෙම තත්ත්වයන් ද්විත්වය වෙන් කර හඳුනාගැනීමට අපහසු වෙයි.

ආහාර වේලක් මඟ හැරීමෙන් හෝ ප්‍රමාද කිරීමෙන් පමණක්ම ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න විය හැකි ද?

ආහාර වේල මඟ හැරීමෙන් හා ප්‍රමාද කිරීමෙන් පමණක්ම ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වේය කිව නොහැකිය. ගැස්ට්‍රයිටිස් රෝගය පවතින රෝගියෙකුට එක ආහාර වේලක් ප්‍රමාද වීම ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වීමට බලපායි. එක ආහාර වේලක් මඟ හැරීමෙන් හෝ ප්‍රමාද කිරීමෙන් පමණක්ම යම් පුද්ගලයෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳෙන්නේ නැත.

වෛද්‍ය උපදෙසකින් තොරව ගැස්ට්‍රයිටිස් සඳහා Antacid (ඇන්ටෑසිඩ්) ඖෂධ දීර්ඝකාලීනව භාවිත කිරීම සුදුසුද?

වෛද්‍ය උපදෙසකින් තොරව Antacid ඖෂධය පමණක් නොව කිසිම ඖෂධයක් භාවිත කිරීම නොකළ යුතුය.

ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක කවරේද?

යම් පුද්ගලයෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳීමට හේතු සාධක කිහිපයක් බලපායි. කුසගින්නක් දැනෙන වේලාවට ආහාර නොගෙන ආහාර ගැනීම කල් දැමීම හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳීමට ඉඩ ඇත. කුසගින්න දැනෙන විටදී ආමාශයට ආහාර දිරවන Hydrochloric (හයිඩ්‍රොක්ලෝරික්) ඇසිඩ් එක ශ්‍රාවය වෙයි. මෙහිදී ආමාශයට යම් ආහාරයක් ලබා නොදුන්නොත් එම ඇසිඩ් එකෙන් ආමාශයේ බිත්ති තුවාල වෙයි. මේ හේතුවෙන් ආමාශයේ අධික දැවිල්ලක් ඇති වෙයි. එසේම අධික මත්පැන් භාවිතය නිසා ද, ඇතැම් ලෙඩ රෝග සඳහා භාවිත කරන ඖෂධ හේතුවෙන් ද, මානසික පීඩනය හා ආතතිය හේතුවෙන් ද ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙයි.

ගැස්ට්‍රයිටිස් ඇති වීමට මානසික ආතතිය බලපානවාද?

යම් පුද්ගලයෙකු මානසික වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති නම් එම පුද්ගලයා හට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට බොහෝ ඉඩකඩ පවතියි.

ප්‍රතිජීවක ඖෂධ හා වේදනා නාශක පෙති භාවිත කිරීම ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට හේතු සාධක වේද?

ඇතැම් රෝග සඳහා භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ හා වේදනා නාශක පෙති හේතුවෙන් ආමාශයේ ඉදිමීමක් ඇති වෙයි. දීර්ඝකාලීන වශයෙන් ප්‍රතිජීවක ඖෂධ හා වේදනා නාශක භාවිත කරන්නේ නම් ආමාශයේ බිත්ති තුවාල වීමක් සිදු වෙයි. මේ හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙයි.


ඖෂධීය ප්‍රතිකර්මවලට අමතරව රෝගය පාලනය කිරීමට අනුගමනය කළ හැකි සෞඛ්‍ය පුරුදු මොනවාද?

ගැස්ට්‍රයිටිස් රෝගය පාලනය කර ගැනීමට පවතින හොඳම ක්‍රමය නම් කුසගින්න දැනෙන මොහොතේදී සමබර ආහාර වේලක් ලබා ගැනීමයි. එය ඉතාමත් යෝග්‍ය වෙයි. එසේම යෝගට් ආහාරයට එකතු කර ගැනීම, කිරි වීදුරුවක් පානය කිරීම ද වඩාත් සුදුසු වෙයි.

ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වීමෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද?

ගැස්ට්‍රයිටිස් රෝගයට නිසි පරිදි ප්‍රතිකාල නොකළහොත් ආමාශයේ බිත්තිවල ඇති වන තුවාල සුව නොවෙයි. ආමාශයේ ඇතුළත ඇති වූ මේ තුවාල නිසා ඇතුළත බිත්තියේ ඉතා කුඩා සිදුරු ඇති වෙයි. මේ නිසා එම තුවාල තව තවත් වැඩි වී ප්‍රමාණයෙන් විශාල වී අනෙකුත් පද්ධතිවලට ද යම් හානි සිදු වීමට ඉඩ ඇත.

ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවට සුව කර ගැනීමට යොදා ගන්නා ප්‍රතිකර්ම මොනවාද?

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ලබා දෙන ඖෂධ මඟින් ගැස්ට්‍රයිටිස් රෝගය යම් තරමක පාලනය කිරීමක් සිදු වෙයි. මුලින්ම ආමාශයේ ඇති වූ තුවාල සුව කර ගැනීමට ඖෂධ ලබා දෙන අතර පසුව ටිකෙන් ටික සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට රෝගියා හුරු කරයි. කාලයත් සමඟ ගැස්ට්‍රයිටිස් රෝගය සුව වීම සිදු වෙයි.

 

TEXT – නෙත්මි තත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?