Monday, May 25, 2026
Epaper
Home Highlightsමලබද්ධය පාලනය කරන ලැක්ටියුලෝස්

මලබද්ධය පාලනය කරන ලැක්ටියුලෝස්

by Shanaka Lakehouse

වර්තමාන සමාජයේ බොහෝ දෙනා මුහුණ දෙන පොදු සෞඛ්‍ය ගැටලුවක් වන්නේ මලබද්ධයයි. දින ගණනාවක් මලපහ පිට නොවීම, මලපහ දැඩි වීම, මලපහ පිට කිරීමේදී වේදනාවක් හෝ වෙහෙසක් දැනීම, බඩ පිරී ඇති බවක් සහ අපහසුතාවක් දැනීම වැනි ලක්ෂණ නිසා දෛනික ජීවිතය ද අපහසු වේ. මෙවැනි අවස්ථාවලදී බහුලව භාවිත කරන ඖෂධයක් වන්නේ ලැක්ටියුලෝස් (Lactulose) ය.

එහෙත් ලැක්ටියුලෝස් යනු මලබද්ධයට පමණක් භාවිත කරන සිරප් එකක් නොවේ. අක්මාව දුර්වල වීම නිසා ශරීරයේ විෂ ද්‍රව්‍ය එකතු වී මොළයට බලපාන Hepatic encephalopathy නම් බරපතළ තත්ත්වයකදී ද මෙම ඖෂධය ඉතා වැදගත් ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි.

ලැක්ටියුලෝස් යනු කුමක්ද?

ලැක්ටියුලෝස් යනු ප්‍රධාන වශයෙන් Osmotic laxative කාණ්ඩයට අයත් ඖෂධයකි. එනම් ආන්ත්‍රය තුළට ජලය ඇදගන්නා ඖෂධයකි. එමඟින් මලපහ මෘදු වී පහසුවෙන් පිටවීමට උපකාරී වේ. බොහෝ විට මෙය මිහිරි රස ඇති සිරප් ආකාරයෙන් ලබා ගත හැකි අතර වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ට ද වෛද්‍යවරයකුගේ උපදෙස් යටතේ භාවිත කළ හැකිය.

මෙහි ප්‍රධාන සංඝටකය Lactulose වන අතර එය Galactose සහ Fructose යන සීනි වර්ග දෙකකින් සෑදුණු සංයෝගයකි. ශරීරයට වැඩි වශයෙන් අවශෝෂණය නොවී ආන්ත්‍රය තුළම ක්‍රියා කරන නිසා බොහෝ විට ආරක්ෂිත ඖෂධයක් ලෙස සැලකේ.

ක්‍රියා කරන ආකාරය

ලැක්ටියුලෝස් ආන්ත්‍රයට පැමිණි පසු එහි ඇති සාමාන්‍ය බැක්ටීරියා මඟින් බිඳ දමනු ලැබේ. එවිට ආන්ත්‍රය තුළ ජලය රඳවා ගැනීම වැඩි වේ. එමඟින් මලපහ තෙත් හා මෘදු වේ. එවිට ආන්ත්‍රයේ චලනය වැඩි වේ. මලපහ පිටවීම පහසු වේ. මේ නිසා මලපහ කිරීමේදී ඇති වන වේදනාව සහ වෙහෙස අඩුවේ.

අක්මා රෝගවලදී

අක්මාව නිසි ලෙස ක්‍රියා නොකරන විට ශරීරයේ Ammonia වැනි විෂ ද්‍රව්‍ය වැඩි විය හැකිය. එම විෂ ද්‍රව්‍ය මොළයට බලපාන විට නිදිමත, අමතක වීම, හැසිරීම් වෙනස් වීම, අවුල් බව, දරුණු අවස්ථාවලදී කෝමා තත්ත්වය ද ඇති විය හැකියි. ලැක්ටියුලෝස් ආන්ත්‍රයේ පරිසරය වෙනස් කර ඇමෝනියා අවශෝෂණය අඩු කරයි. එමෙන්ම එය මලපහ සමඟ පිට කිරීමට ද උපකාරී වේ.

භාවිත කරන රෝග තත්ත්ව

ලැක්ටියුලෝස් අවස්ථා කිහිපයක් යටතේ භාවිත කරයි. මලබද්ධය, දිගුකාලීන මලබද්ධය, Hepatic encephalopathy, අක්මා රෝග ආශ්‍රිත ගැටලු, අර්ශස් (Hemorrhoids), ගුද විදාර (Anal fissure), ශල්‍යකර්මවලින් පසු මලපහ මෘදු කිරීම සහ මලපහ කිරීමේදී අධික වෙහෙස වැළැක්වීම වැනි තත්ත්ව යටතේ භාවිත කරයි.

සාමාන්‍ය මාත්‍රාව

වැඩිහිටියන්ට මලබද්ධය සඳහා සාමාන්‍යයෙන් දිනකට 15–30 mL පමණ ආරම්භක මාත්‍රාවක් ලබා දේ. රෝග ලක්ෂණ යහපත් වූ පසු 10–20 mL පමණ පවත්වා ගැනීමේ මාත්‍රාවක් ලෙස භාවිත කළ හැකියි. Hepatic encephalopathy සඳහා 30–45 mL පමණ දිනකට 3–4 වරක් ලබා දිය හැකියි. රෝගියාට දිනකට මෘදු මලපහ 2–3 වතාවක් යන පරිදි මාත්‍රාව සකස් කරයි. ළමුන්ට මාත්‍රාව වයස, බර සහ රෝග තත්ත්වය අනුව වෙනස් වන බැවින් සෑම විටම වෛද්‍යවරයකුගේ උපදෙස් යටතේ පමණක් ලබා දිය යුතුය.


අතුරු ආබාධ

බොහෝ දෙනාට මෙම ඖෂධය හොඳින් දරාගත හැකි වුවද, සමහර අයට පහත අතුරු ආබාධ ඇති විය හැකියි. එහිදී සාමාන්‍ය අතුරු ආබාධ ලෙස බඩ පිම්බීම, වාතය පිටවීම වැඩි වීම, බඩේ කැක්කුම, ඔක්කාරය සහ අතීසාර ලක්ෂණ දැක ගත හැකියි. මෙම ලක්ෂණ බොහෝ විට දින කිහිපයකින් අඩුවේ. දරුණු අතුරු ආබාධ ලෙස දැඩි අතීසාරය, ශරීරයේ ජලය අඩුවීම, ලවණ අසමතුලිතතාව, දුර්වලතාව සහ කරකැවිල්ල වැනි තත්ත්ව ඇති විය හැකියි.

භාවිත නොකළ යුතු අවස්ථා

ඇතැම් රෝග තත්ත්ව ඇති අය ලැක්ටියුලෝස් භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. එහිදී ආන්ත්‍රයේ අවහිරතා, ආන්ත්‍රයේ සිදුරු සහ Lactulose වලට ඇති ආසාත්මිකතාව වැනි හේතු ගැන සැලකිලිමත් විය යුතුය.

විශේෂ අවස්ථා

දියවැඩියා රෝගීන්ට සිරප් ආකාරයෙන් ලබා දෙන නිසා දිගුකාලීන භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය. නමුත් වකුගඩු රෝගීන්ට විජලනය ඇති වුවහොත් තත්ත්වය බරපතළ විය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. ලැක්ටියුලෝස් බොහෝ විට ගර්භිණී කාලයේදී සහ මව්කිරි දෙන කාලයේදී ආරක්ෂිත ලෙස සැලකේ. එහෙත් වෛද්‍ය උපදෙස් යටතේ භාවිත කිරීම වඩාත් සුදුසුය.

වැරදි මත

“මෙය ගත් වහාම මලපහ යයි”

මෙය වැරදි අදහසකි. බොහෝ විට ක්‍රියා කිරීමට පැය 24–48ක් ගත විය හැකියි.


“වැඩිපුර ගත්තොත් ඉක්මනින් වැඩ කරයි” එසේ නොවේ. අධික මාත්‍රාවෙන් අතීසාරය හා විජලනය ඇති විය හැකියි.

“දරුවන්ට දෙන්න බෑ”

නිසි වෛද්‍ය උපදෙස් යටතේ ළමුන්ට ද භාවිත කළ හැකියි.

ලැක්ටියුලෝස් යනු මලබද්ධයට පමණක් නොව, අක්මා රෝග නිසා ඇති වන බරපතළ තත්ත්වවලදී ද වැදගත් ඖෂධයකි. නිවැරදි මාත්‍රාවෙන් සහ වෛද්‍ය උපදෙස් යටතේ භාවිත කළහොත් එය ඉතා ප්‍රයෝජනවත් ප්‍රතිකාරයකි. එහෙත් දිගුකාලීනව හෝ අධික ප්‍රමාණයෙන් භාවිත කිරීමෙන් වැළකී, අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සෞඛ්‍යයට වඩාත් හිතකරය.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?