Monday, May 25, 2026
Epaper
Home වෛද්‍යමේ වැසි සහිත කාලයේ වඩාත් පරෙස්සම් වෙමු

මේ වැසි සහිත කාලයේ වඩාත් පරෙස්සම් වෙමු

by Shanaka Lakehouse

ජලය කියන්නෙ මිහිපිට ජීවත්වන ඕනෑම සත්ත්වයකුට අත්‍යවශ්‍ය සාධක තුනෙන් එකකි. එනම් වාතය, ආහාර, ජලය යන මේ සාධක තුනම ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය අතර එයින් එක් දෙයක් හෝ නොමැති වුවහොත් ජීවයේ පැවැත්ම විනාශ වේ.

සාමාන්‍ය‍ෙයන් අපේ ශරීරයේ වැඩි කොටසක් සැකසී ඇත්තේ ද විවිධාකාර වූ තරල හෙවත් ජලයෙනි. ශරීරයේ ඇති මේ ජල ප්‍රතිශතය දරුවකු ලෙසින් වූ කුඩා කාලයේ වැඩිවන නමුදු වැඩිහිටියකුව වර්ධනය වීමත් සමඟ මේ ජල ප්‍රතිශතය අඩුවන්නට පටන් ගනියි. එමෙන්ම ශරීරයේ සිදුවන සෑම රසායනික ක්‍රියාවලියකම මාධ්‍ය බවට පත් වන්නේ ද ජලයයි. අපගේ ශරීරය තුළ සැරිසරන එනම් රුධිර සංසරණය, හෝමෝන වැනි සෑම දෙයකම පසුබිම වන්නේ ද ජලයයි. මේ නිසා ජලය යනු මිනිසාට නැතිවම බැරි සම්පතකි.

‘නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ’ කියන අපේ ජන කියමන සැබෑ කරමින් ජලය ද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම යනු ගැටලුවකි. විශේෂයෙන්ම මේ දිනවල පවත්නා වැසිබර කාලගුණය හරහා ලැබෙන ජලය එදිනෙදා ජන ජීවිතයට ගැටලු රැසක් නිර්මාණය කරවයි. වර්ෂාව සමඟ සිදුවිය හැකි හදිසි අනතුරු, ගං වතුර තත්ත්ව, වසංගත රෝග පැතිරීම වාගේම අධික ශීතල නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් ද මේ අතර වේ. එහිදී තරුණ වයසේ හෝ මැදි වයසේ ජීවත්වන පුද්ගලයන්ට වඩා වයසින් වැඩි වයෝවෘද්ධ පිරිස මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වයෙන් වැඩි පීඩාවකට ලක්වේ. එබැවින් මේ වැසි සහිත කාලවකවානුවේ අපේ අවධානය යොමු කළයුතු කරුණු බොහොමයකි.

හදිසි අනතුරු

වැසි සමය යනු හදිසි අනතුරු බහුල කාලයකි. ගෘහ ආශ්‍රිතව ඇතිවිය හැකි ඇද වැටීම් නිසා අස්ථි බිඳීම්, තැළීම්වලට අමතරව ශරීර අභ්‍යන්තරය තුළ ඇතිවන ලේ ගැලීම් ආදිය නිසා ජිවිතය පවා අවදානමකට ලක් කරවයි.

අකුණුසර

ඊට අමතරව අපි නොසිතනා මොහොතක සිදුවිය හැකි අනතුරකි අකුණුසර වැදීම. මෙහිදී රැකියා අවශ්‍යතා නිසා වර්ෂාව මධ්‍යයේ වුවද නිවෙසින් පිටතට යන පුද්ගලයන් සේම ක්‍රීඩා පිට්ටනි ආශ්‍රිතව පුහුණුවීම්වල යෙදෙන දරුවන් අකුණුසැර වැදීමේ තර්ජනයට මුහුණදේ. එමෙන්ම තෙත සහිත පරිසරයේදී විදුලි කාන්දු වීම් වැඩි නිසා විදුලිසර වැදීම් ආදියෙන් ද ඔබ ආරක්ෂිත විය යුතු බව මතක තබාගන්න.

දියේ ගිලීම්

වැසි සහිත කාලගුණයේ දී අපට මුහුණ දීමට සිදුවන තවත් අවාසනාවන්ත හදිසි අනතුරක් වන්නේ දියේ ගිලීමයි. මෙහිදී ගංවතුර වැනි තත්ත්වලදී තද ජල පහරේ ගසාගෙන යෑම, ගංගා, ජලාශ අාදියේ ජල ප්‍රමාණය වැඩිවීම හේතු කරගෙන දියේ ගිලීම ආදියට අමතරව කඳු වැටි, උස්බිම් නාය යෑම් වැනි දෑ නිසා ද ලොකු කුඩා භේදයකින් තොරව ජීවිත හානි සිදුවිය හැකියි.

ඊට අමතරව නිවෙස් ආශ්‍රිත ගෙමිදුලේ ඇති පුංචි පොකුණු, ළිං ආදිය ද මේ කාලයේදී ඔබට මාරක අනතුරුවලට අත වනාවි. නොනවත්වා පතිතවන වැසි ජලය හේතු කරගෙන මෙම පොකුණු, ළිං ආදියේ ජල මට්ටම ඉහළ යන අතර එතරම් ගැඹුරු නොවන පොකුණක් වුවද පුංචි දරුවන්ට ජීවිත හානි ගෙනෙන බව ඔබ මතකයේ තබා ගන්න.

රෝගී තත්ත්ව ඉහළ යාම

සාමාන්‍යයෙන් වැසි සහිත කාලයේදී පරිසර උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවන අතර පරිසරයේ තෙත් සහිත ස්වභාවය තරමක් ඉහළ යයි. එබැවින් මේ තෙතමනය සහිත කාලගුණික තත්ත්වය නිසා ඇදුම, හතිය වැනි ඇතැම් දිගු කාලීන රෝගී තත්ත්වයන් වැඩිවීමට ද ඉඩ තිබේ.

මෙවැනි රෝගී තත්ත්වයන්්ගෙන් පෙළෙන දරුවන්ගේ ඖෂධ, ඉන්හෙලර් වැනි දෑ නොකඩවා ලබාදීම අත්‍යවශ්‍ය අතර මේ කාලගුණික තත්ත්වයේ දී ඒවා කලට වේලාවට ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන්න. එමෙන්ම මෙවැනි රෝගී තත්ත්ව සහිත දරුවන් සීත සුළං නොවදින සේ ආවරණය කර තැබීමට වගබලා ගත යුතුය. දරුවන් සේම මෙවැනි රෝගී තත්ත්වලින් පෙළෙන වැඩිහිටියන්ට ද මේ සීතල කාලගුණය අහිතකර බැවින් ඔවුන් ගැන ද ඔබේ අවධානය යොමු කරන්න.

සමේ රෝග

සම ආශ්‍රිතව හටගන්නා ඇතැම් රෝගී තත්ත්වයන් ද තෙතමනය සහිත පරිසරයේදී වැඩි දියුණුවනු දකින්නට ලැබේ. විවිධ පුස් ආසාදන, රක්තය වැනි සමේ ආසාදන මේ කාලයේදී වැඩිවීම ස්වාභාවිකයි. එබැවින් එවැනි රෝග සහිත දරුවන්ට ද වැඩි පරෙස්සමක් අවශ්‍ය අතර අලුත් උපන් බිලිඳුන් කෙරෙහිද ඔබේ වැඩි අවධානය යොමු කළ යුතු වේ. මන්ද මේ වැසි සහිත සමයේ ඔවුන්ට උණුසුම වැඩියෙන් ඇවැසි අතර හිරු එළිය නොලැබීම නිසා දරුවන් කහ වීම ද දැකිය හැකියි. ඊට අමතරව නාසය හිරවෙන, හුස්ම ගැනීමට අපහසු වන සේ මස් දලු ආදිය හටගෙන ඇති දරුවන් සේම උගුර, කන් ආසාදනය වී කැක්කුම ඇති දරුවන් මේ සීත කාලගුණයේ දී වැඩි පීඩාවට ලක්වේ. එබැවින් සෑමවිටම දරුවන් දෙස වැඩි කාලයක් මෙන්ම අවධානයක් යොමු කිරීමට ඔබ වගබලා ගත යුතුමයි.

බෝවන රෝග

මෙහිදී වැස්ස නිසා හටගන්නා බෝවන රෝග ගැන මෙන්ම වැසි වතුර එකතුවීම හරහා මතුවන රෝග වාහකයන් ගැන ද අපි කතා කළ යුතුමයි. විශේෂයෙන්ම වැසි ජලය රැඳීම නිසා මදුරු වසංගතය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි. එබැවින් මදුරුවන් බෝවීමට අවශ්‍ය පරිසර තත්ත්ව විනාශ කිරීමට ඔබ වගබලා ගන්න.

ඩෙංගු

ඩෙංගු යනු වැඩිහිටියන්ට වාගේම දරුවන්ටත් මාරාන්තික තර්ජන එල්ල කළහැකි රෝගී තත්ත්වයකි. බොහෝ වේලාවට ඩෙංගු මුලික අවස්ථාවේදී සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් ලෙස පැවතියද ඔබ නොදැනුවත්වම එය උත්සන්න වී වඩාත් සංකූලතා ඇති කරාවි. සාමාන්‍යයෙන් මදුරු වසංගතයෙන් බේරීම සඳහා බොහෝ දෙනෙකු විවිධ උපක්‍රම යොදන්නේ රාත්‍රී කාලයේදීයි. මදුරු කොයිල්, මදුරු දැල් ආදිය උපයෝගි කරගෙන රාත්‍රී කාලයේ මදුරුවන් මර්දනය කරතත්, ඩෙංගු යනු දහවල් කාලයේ සැරිසරන මදුරුවෙකි. එබැවින් කිසිදු ආවරණයක් නොමැති දහවල ඔබේ දරුවා නොදැනුවත්වම මදුරු දෂ්ටනයට හසුවේ.

ඩෙංගු රෝගයේදී ද සාමාන්‍ය වයිරස් උණ රෝගයකදී දක්වන මුලික රෝග ලක්ෂණ පහළ කරයි. ඊට අමතරව හන්දිපත් රුදාව සහ මස්පිඬු වේදනාව වැඩි වශයෙන් දක්නට ලැබේ. බොහෝ වෙලාවට දරුවන් ‘කකුල් රිදෙනවා, ඇඟ කැක්කුමයි. ඔළුව රිදෙනවා‘ ආදී වශයෙන් පැමිණිලි කරන්නේ නම් එය සාමාන්‍ය උණකට වඩා එහා ගිය තත්ත්වයක් බව ඔබට අනුමාන කළ හැකියි. විශේෂයෙන්ම තද හිසදරය, ඇස් පිටුපස කැක්කුම, වමනය වැනි දෑ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

ඊට අමතරව ඩෙංගු රෝගීන් සුළු ප්‍රමාණයක් උණ, කැස්ස, වමනය, සෙම්ප්‍රතිශ්‍යාව, අජීර්ණ තත්ත්ව, කන් කැක්කුම වැනි රෝග ලක්ෂණ පහළ කරන අවස්ථා දැකිය හැකියි.

ඩෙංගු රෝගයේ සංකුලතා විවිධාකාරයෙන් මතුවිය හැකියි. මේ අතරින් ඩෙංගු රක්තපාත තත්ත්වය ඉතාමත් භයානක සහ අවදානම්කාරී තත්ත්වයකි. ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී රෝගියාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ඉතා ඉක්මනින් පහළ යන අතර රෝගියාගේ රුධිර සංසරණ පද්ධතිය තුළ පවතින රුධිරයේ දියර කොටස ශරීරයේ කුහරවලට කාන්දු වීමක් සිදු වේ. එමඟින් රෝගියා තිගැස්මකට ලක්විය හැකි අතර එය ඉතාමත් භයානක තත්ත්වයකි. රෝගියාට මරණය වුවද ළඟා විය හැකියි.

එමෙන්ම ඩෙංගු රෝගයේ සංකූලතාවක් ලෙස අක්මාවට ඇතිවන බලපෑම ද හැඳින්විය හැකිය. මෙලෙස අක්මාවට හානි සිදු වන්නේ ඩෙංගු වයිරසය හරහායි. උණ රෝගය පාලනය කිරීමට ලබාදෙන පැරසිටමෝල් අධි මාත්‍රාව මඟින් ද රෝගියාගේ අක්මාවට වන හානිය තවදුරටත් වැඩිවීමක් සිදුවිය හැකිය.

රුධිර පරික්ෂාව

ඩෙංගු රෝගියෙක් හඳුනා ගැනීමේදී විවිධ පරීක්ෂණ කළ හැකිය. මෙම පරීක්ෂණ අතරින් උණ රෝගය වැලඳී පළමු පැය 72 තුළදී කරන ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාව ඉතා වැදගත්ය. මෙහිදී ඇන්ටිජන් පරීක්ෂාව කළ යුත්තේ උණ රෝගය වැලඳී පැය 72ක් ඇතුළත පමණි. ඉන් පසුව මෙම ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් තත්ත්වයට පත්වේ.

ඊට අමතරව සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් එහෙමත් නැතිනම් පූර්ණ රුධිර පරීක්ෂණයක් මඟින් ද මුල සිටම ඩෙංගු රෝගයදැයි සැක කිරීමක් පළපුරුදු වෛද්‍යවරයකුට කළ හැකිය. ඩෙංගුවල අප දන්නා රුධිර පට්ටිකා අඩුවීම සිදුවන්නේ උණ වැලඳී දින කිහිපයක් ගතවීමෙන් පසුවයි. එයට අමතරව උණ රෝගය වැලඳී දින පහක් සම්පූර්ණ වූ රෝගීන්ගේ ඩෙංගු ඇන්ටි බොඩි පරික්ෂාව මඟින් ද රෝගියාට ඩෙංගු වැලඳි ඇති බව දැන ගත හැකි වේවි.

මේ කුමන රෝගයකින් හෝ ඩෙංගු රෝගී තත්ත්වය සැක කිරීමක් හෝ පරීක්ෂණවලින් තහවුරු කළ ඩෙංගු රෝගී තත්ත්වයක් ඇති රෝගියකු ඉතාම පරෙස්සමින් අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදිය යුතුය. විශේෂයෙන්ම අවශ්‍ය මොනිටරින් තත්ත්වයන් (දියර ලබාදීම සහ මූත්‍රා ලෙස පිටවීම මැනීම) සිදු කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

 

TEXT – චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?