Monday, May 25, 2026
Epaper
Home Beautyතාම වැක්ස් කරන්නේ සීනිවලින් ද?

තාම වැක්ස් කරන්නේ සීනිවලින් ද?

by Shanaka Lakehouse

අද කාලයේ බොඩි වැක්සිං (Body Waxing) කියන්නේ කාන්තාවන්ට පමණක් නොව, පිරිමින් අතරත් බෙහෙවින් ජනප්‍රිය රූපලාවණ්‍ය සේවාවක්. නමුත් තවමත් බොහෝ දෙනා “ශුගර් වැක්ස්” (Sugar Wax) සහ “ප්‍රොෆෙෂනල් වැක්ස්” (Professional Wax) අතර ඇති වෙනස හරියටම හඳුනාගෙන නැහැ. මේ හේතුව නිසා සමට නොගැළපෙන වැක්ස් වර්ග භාවිත කිරීමෙන් විවිධ අතුරු ආබාධවලට මුහුණදීමට සිදු වූ අවස්ථා ද තිබෙනවා.

වැක්සිං කියන්නේ ඉතා පැරණි සංකල්පයක්. ඉතිහාසයේ සඳහන් වන පරිදි, පුරාණ ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජන පවා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කර තිබෙනවා. මුලදී ත්‍රෙඩින් (Threading) ක්‍රමය භාවිත කළත්, පසුව සීනි යොදාගෙන සකස් කළ ශුගර් වැක්ස් ක්‍රමය ජනප්‍රිය වුණා. නමුත් අද වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ, ප්‍රමිතීන්ට අනුකූල නවීන ප්‍රොෆෙෂනල් වැක්ස් නිෂ්පාදන භාවිතයට පැමිණ තිබෙනවා.

ශුගර් වැක්ස් යනු කුමක්ද?

සාමාන්‍යයෙන් සීනි, ලෙමන් සහ ජලය යොදාගෙන නි‍ෙවසේදීම සකස් කරගන්නා වැක්ස් වර්ග ශුගර් වැක්ස් ලෙස හැඳින්වෙනවා. බොහෝ දෙනා මෙය “ස්වාභාවික” නිපැයුමක් නිසා සමට හිතකර යැයි සිතුවත්, එයින් සෑම විටම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

මෙම වැක්ස් වර්ගය මෘදු සහ සිහින් රෝම ඉවත් කිරීමට සුදුසු වුවත්, ඝන මෙන්ම ශක්තිමත් රෝම ඉවත් කිරීමේදී ගැටලු මතු වෙනවා. බොහෝ විට කෙස් ගස මුලින්ම ගැලවී ඒම වෙනුවට මැදින් කැඩී යෑමු සිදු වෙනවා. එවිට ඉතා ඉක්මනින් නැවත රෝම වර්ධනය වීම වැළැක්විය නොහැකියි. ශුගර් වැක්ස්වල ඇති එකම වාසිය වන්නේ එය ජලයෙන් පහසුවෙන් සෝදා ඉවත් කළ හැකි වීමයි. ඉන් සමට සිදුවන බලපෑම අඩු වුවත්, දිගුකාලීන ප්‍රතිඵල ලබාගැනීම නම් අපහසුයි.

ප්‍රොෆෙෂනල් වැක්ස් එකක ඇති වටිනාකම

ප්‍රොෆෙෂනල් වැක්ස් යනු රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්ම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදනයි. මේවා සමට සහ රෝමවලට හොඳින් ඇලෙන නිසා කෙස් ගස මුලින්ම ඉවත් කර දමනවා. ඒ නිසා නැවත රෝම වර්ධනය වීමට වැඩි කාලයක් ගත වෙනවා.

නිරන්තරයෙන් ප්‍රොෆෙෂනල් වැක්ස් කිරීම සලකා බැලීමේදී, කාලයත් සමඟ රෝම වර්ධනය වීම ක්‍රමයෙන් අඩු වන බවත්, සමට මෘදු මෙන්ම පිරිසුදු පෙනුමක් ලැබෙන බවත් රූපලාවණ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. එමෙන්ම, මෙම වැක්ස් වර්ග මඟින් සමේ මැරුණු සෛල ඉවත් කර, නව සෛල වර්ධනයට උපකාරී වන නිසා සමට ස්වාභාවික දීප්තියක් (Glowing skin) ද ලැබෙනවා.

නිවෙසේදී කරන්න බැරි වෙනස

ශුගර් වැක්ස් ඕනෑම කෙනකුට නි‍ෙවසේදීම සාදාගෙන භාවිත කළ හැකි නිසා එය වෘත්තීය මට්ටමේ සේවාවක් ලෙස සලකන්න බැහැ. නමුත් ප්‍රොෆෙෂනල් වැක්ස් වර්ග භාවිත කිරීම සඳහා නිසි පුහුණුවක් සහ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඒ නිසයි වෘත්තීය මට්ටමේ වැක්ස් වර්ග තනිවම නිවෙසේදී සිදු නොකළ යුත්තේ.

නිසි අවබෝධයකින් තොරව වැරදි ලෙස වැක්ස් කිරීමෙන් සම ගැලවී යෑම, තුවාල වීම, අසාත්මිකතා (Allergies) ඇතිවීම වැනි බරපතළ ගැටලු ඇතිවිය හැකියි. එම නිසා මෙම සේවාව පළපුරුදු සැලෝන් එකකින් පමණක් ලබාගැනීම වඩාත් ආරක්ෂිතයි.

පිරිසුදුකම සහ සෞඛ්‍යාරක්ෂිත බව

ශුගර් වැක්ස් නි‍ෙවසේ හෝ සැලෝන්වල නිසි ලෙස ගබඩා කර නොතැබුවහොත් කූඹින් සහ බැක්ටීරියා ආකර්ෂණය වීමේ දැඩි අවදානමක් පවතිනවා. එවැනි දේ සම මත භාවිත කිරීමෙන් විවිධ චර්ම රෝග ඇතිවිය හැකියි. මෙම අඩුපාඩු මඟහරවා ගනිමිනුයි නවීන ප්‍රොෆෙෂනල් වැක්ස් වර්ග ලෝකයට හඳුන්වා දී තිබෙන්නේ.

වැක්සිං සේවාවක් ලබාගැනීමේදී එම ස්ථානයේ පිරිසුදුකම, භාවිත කරන උපකරණ මෙන්ම ශිල්පීන් අත්වැසුම් (Gloves) භාවිත කරන්නේ ද යන්න පිළිබඳවත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

හොඳ වැක්ස් එකක් තෝරාගන්නේ කෙසේද?

ඕනෑම වැක්ස් නිෂ්පාදනයක් මිල දී ගැනීමේදී හෝ භාවිත කිරීමේ දී එය ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA – National Medicines Regulatory Authority) අනුමැතිය තිබෙනවා ද යන්න සොයා බලන්න. එවැනි අනුමත නිෂ්පාදන භාවිත කිරීමෙන් සමට අනවශ්‍ය හානි සිදුවීමේ අවදානම සම්පූර්ණයෙන්ම වළකාගත හැකියි.

වර්තමානයේ භාවිත වන වැක්ස් වර්ග

අද වන විට ක්ෂේත්‍රයේ විවිධ වැක්ස් වර්ග භාවිත කෙරෙනවා. ඒ අතරින්,

● ස්ට්‍රිප් වැක්ස් (Strip Wax)

● හොට් වැක්ස් (Hot Wax)

● හාඩ් හොට් වැක්ස් (Hard Hot Wax)

කූල් වැක්ස් (Cool Wax) වැනි වර්ග ප්‍රධානයි.

මේ අතරින් බොහෝ දෙනා වැඩිපුරම තෝරාගන්නේ ‘හොට් වැක්ස්’ වර්ගයි. එය භාවිත කිරීමේදී වේදනාව අවම වන අතර, සමට හොඳින් ඇලෙන බැවින් ඝන රෝම පවා ඉතා පහසුවෙන් ඉවත් කළ හැකියි.

නවීන පරම්පරාවේ ප්‍රොෆෙෂනල් වැක්ස් නිෂ්පාදන බොහොමයක ටයිටේනියම් (Titanium) අඩංගු කර තිබෙනවා. ටයිටේනියම් මඟින් වැක්ස් එකට ක්‍රීම් ස්වභාවයක් සහ මෘදු බවක් ලබාදෙන නිසා, සමට අවම වේදනාවකින් රෝම ඉවත් කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම සංවේදී සමක් (Sensitive skin) හිමි අයට මේ වර්ගයේ වැක්ස් වඩාත් සුදුසුයි.

ශුගර් වැක්ස් සහ ප්‍රොෆෙෂනල් වැක්ස් අතර පැහැදිලි වෙනසක් පවතිනවා. ශුගර් වැක්ස් එකක් සාමාන්‍ය භාවිතයට ගත්තත්, දිගුකාලීන සහ ගුණාත්මක ප්‍රතිඵල සඳහා වඩාත් සුදුසු වන්නේ ප්‍රොෆෙෂනල් වැක්ස් වර්ගයි. එම නිසා වැක්සිං සේවාවක් ලබාගැනීමේදී මිල ගැන පමණක් නොසිතා, භාවිත කරන නිෂ්පාදනවල ප්‍රමිතිය, පිරිසුදුකම සහ වෘත්තීය මට්ටම පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න.

 

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?