රුව වඩන නිල්කටරොළු සත්කාරය
නිල්කටරොළු යනු ශ්‍රී ලාංකීය අපට ඉතා හුරුපුරුදු, එහෙත් එහි ඇති සැබෑ වටිනාකම බොහෝ දෙනෙක් හරිහැටි හඳුනා නොගත් අපූරු මලකි. රුව වඩන්නට මෙන්ම සුවය සලසන්නට මෙම මලෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. මලක් වුවත් ඖෂධයකට එහා ගිය විශ්මිත ප්‍රතිඵල රාශියක් මෙමඟින් ලබාගත හැකිය.
සමේ තාරුණ්‍යය රැක ගැනීමට
නිල්කටරොළු මල්වල Proanthocyanidin නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය අඩංගු වේ. මෙය සමේ කොලජන් වර්ධනය කිරීමට උදවු වන අතර, එමඟින් සම එල්ලා වැටීම පාලනය කර සමේ නම්‍යශීලී බව රැකදෙයි. සමේ රැලි වැටීම් සහ සියුම් ඉරි ඉවත් කර තරුණී පෙනුමක් ලබා දෙයි.
හිසකෙස් වර්ධනයට සහ පැහැපත් බවට
නිල්කටරොළුවල ඇති රසායනික සංයුතිය හිස්කබලේ රුධිර සංසරණය වේගවත් කිරීමට සමත් වේ. හිසකෙස් වැටීම පාලනය කරමින් කෙස් කලඹ ශක්තිමත් කර හිසකෙස් ගැලවී යාම අඩු කරයි. අකලට කෙස් පැසීම වැළැක්වීම සහ නිල්කටරොළු සාරය භාවිතයෙන් හිසකෙස්වල ස්වාභාවික වර්ණය රැකගත හැකිය. හිසකෙස්වලට ස්වාභාවික දිදුලක් ලබා දෙයි.
දෑස්වල කාන්තියට
ආයුර්වේදයට අනුව නිල්කටරොළු “චක්ෂුෂ්‍ය” ගුණයෙන් යුක්තය. එනම් ඇස්වල පෙනුම වර්ධනය කරන අතර, ඇස් යට කළු වීම පාලනය කර දෑස්වලට නැවුම් බවක් සහ දීප්තියක් එක්කරයි.
සමේ පැහැය වර්ධනයට
නිල්කටරොළු මල් පානයක් ලෙස හෝ ආලේපනයක් ලෙස භාවිතාකිරීමෙන් ශරීරය අභ්‍යන්තරයෙන් පිරිසුදු වේ. මෙය සමේ කුරුලෑ සහ ලප කැළැල් අඩු කර සමට රන්වන් පැහැයක් ලබා දීමට උපකාරී වේ.
නිල්කටරොළු භාවිත කළ හැකි ක්‍රම
ඖෂධීය පානයක් ලෙස: ලබා ගැනීමේදී, වියළි හෝ අලුත් නිල්කටරොළු මල් කිහිපයක් උණු වතුරට දමා විනාඩි 5ක් තබන්න. එයට දෙහි යුෂ ස්වල්පයක් එක් කළ විට පානය දම් පැහැයට හැරේ. මෙය දිනපතා පානය කිරීමෙන් සම පැහැපත් වේ.
හිසකෙස් සත්කාරය සඳහා භාවිතයට ගැනීමේදී, නිල්කටරොළු මල් තම්බා ගත් වතුරෙන් හිසකෙස් සේදීම හෝ එම සාරය පොල්තෙල් සමඟ මිශ්‍ර කර හිසේ ගෑම සුදුසු වේ.
මුහුණ සඳහා (Face Pack)නිල්කටරොළු මල් අඹරා එයට මී පැණි හෝ යෝගට් ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න.

තවත් අලුත් විදියකට පාවිච්චි කරමු ද?
ඔයාට නිල්කටරොළුවලින් ගෙදරදීම හදාගන්න පුළුවන් තවත් විශේෂ සත්කාර කිහිපයක් තිබේ.
නිල්කටරොළු Face Toner (සම පිරිසිදු කිරීමට): නිල්කටරොළු මල් කිහිපයක් වතුර ස්වල්පයක තම්බා, නිවෙන්න හැර ස්ප්‍රේ බෝතලයකට දමා ශීතකරණයේ තබා ගන්න. මුහුණ සේදීමෙන් පසු දිනපතා මෙය “Toner” එකක් ලෙස මුහුණට ස්ප්‍රේ කරන්න. සමේ සිදුරු කුඩා වී, සම තද වේ.
ස්වාභාවික Hair Conditioner එකක් ලෙස: නිල්කටරොළු තැම්බූ වතුරට කෝමාරිකා (Aloe Vera) ජෙල් ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ෂැම්පු දමා හිසකෙස් සේදීමෙන් පසු, මෙම මිශ්‍රණය හිසකෙස්වල ගා විනාඩි 10කින් පමණ සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. කෙස් කලඹ සිනිඳු වී දිලිසෙනු ඇත.
කුට්ටි අයිස් සත්කාරය (Ice Facial)
නිල්කටරොළු තේ එකක් සාදා එය අයිස් කැට හදන තැටියකට (Ice tray) දමා අයිස් කැට කරගන්න. උදේට හෝ උත්සවයකට යාමට පෙර මෙම අයිස් කැටයකින් මුහුණ පිරිමැදීමෙන් මුහුණේ තෙහෙට්ටු ගතිය නැතිවී සැණින් ක්ෂණික දීප්තියක් (Instant brightness) ලැබේ.
සොබාදහමෙන් ලැබුණු මේ වටිනා මල, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය කිසිවක් නැතිවම ඔබට දෛනික රූපලාවණ්‍යය කටයුතුවලට එකතු කරගන්න පුළුවන් හොඳම විසඳුමකි.
නිල්කටරොළුවල තවත් රහස් රැසක්
රූපලාවන්‍ය ගුණවලට අමතරව අපේ ගතත් සිතත් දෙකම එක වගේ ලස්සන කරන්න මේ මලට හැකියාව පවතී.
මානසික ආතතිය නිවා රුව රැකදීම
අධික ලෙස හිතේ තියෙන බය, කාන්සිය සහ මහන්සිය නිසා සම ඉක්මනින් අවපැහැ ගැන්වේ. නිල්කටරොළුවල Adaptogenic ගුණය අඩංගුයි. ඒ අනුව සිත සන්සුන් කිරීම සඳහා නිල්කටරොළු තේ පානයක් ලෙස බීමෙන් මනස සැහැල්ලු වේ. සිත නිදහස් වෙනකොට ශරීරයේ හෝමෝන සමබර වෙලා, මුහුණට ස්වාභාවිකම දීප්තිමත් පෙනුමක් (Glow එකක්) ලැබෙනවා. රෑට නින්ද යන්නෙ නැති අයට නිල්කටරොළු තේ එකක් බීලා නිදාගත්තම සුව නින්දක් ලැබේ. හොඳ නින්දක් යනු රුව වඩන්න අත්‍යවශ්‍යම සාධකයකි.
ශරීරයේ බර පාලනයට
තරබාරුකම පාලනය කරන්නත් නිල්කටරොළු වලට හැකියාව පවතී. මෙහි ඇති සමහර සංයෝග ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හැරීමට වඩාත් උපකාරී වේ. සිරුර හැඩවෙනකොට රූපලාවණ්‍යය තවත් ඉස්මතු ව පෙනෙයි.
සමේ අසාත්මිකතා සහ ඉදිමීම් අඩු කිරීම
සමහර අයට අව්වට ගියාම මුහුණ රතු වෙනවා, නැත්නම් සමේ විවිධ පලු දැමීම්, කැසීම් ඇතිවෙනවා. නිල්කටරොළුවල තියෙන සිසිල් කිරීමේ ගුණය නිසා සමේ දැවිල්ල සහ ඉදිමුණු ස්වභාවය ඉක්මනින් නැති කරලා දානවා.
නිල්කටරොළු යනු හුදෙක් ගෙවත්තක් අලංකාර කරන මලක් පමණක් නොව, එය සිරුරේ අභ්‍යන්තර සුවතාවය සහ බාහිර රූපලාවණ්‍යය යන දෙකම එකවර වර්ධනය කරන සොබාදහමේ වටිනා ඔසුවකි.
TEXT – කෝකිලා සමුදුනී
