හැඩට සාරි ජැකට් අඳින්න මේ රහස් දැනගන්න

ජුනි 5, 2019

‘සාරිය’ ලියකගේ ලාලිත්‍ය අපූරුවට දනවන ඇඳුම් විලාසිතාවකි. සාරි විලාසිතාවෙන් ඒ තරමට ම කාන්තා රුව ඔපලන්නට නිසි නිමාවක් ඇති සාරි ජැකට් එකත් හේතුවක් වනවා.

“හැඩට සාරිය අඳින්න නම් ලස්සනට සාරි ජැකට් එක තියෙන්න ඕනෑ.”

බොහෝ ලියන් මෙලෙස පවසන්නේ ඒ නිසායි.

ඔබ සාරි ජැකට් එක මස්සවා ගැනීමට මැහුම් ශිල්පිනියකගේ සේවය ලබා ගන්නවා විය හැකියි. එහිදී සාරි ජැකට් එකට හොඳ නිමාවක් එක් වන්නේ ඔබෙන් ඉටුවිය යුතු වගකීම් පෙළක්ද නිසි ලෙස සපිරෙනවා නම් පමණයි. ඒ නිසාම මැහුම් ශිල්පිනයක් ලෙස විසිවසක අත්දැකීම් ඇති ගණේමුල්ල වෙරෝනිකා ඩ්‍රස් මේකින් ස්කූල්හි අධිපතිනි ප්‍රවීණ මැහුම් උපදේශිකා වෙරෝණිකා කුමාරි තිළිණ කරන මේ දැනුවත්කම ලස්සන සාරි ජැකට් එකකට හිමිකම් කියන්නට මඟ කියාවි.

අලුත්ම සාරියකට ලස්සනම සාරි ජැකට් එකක් අඳින්න ඔබේ සිතේත් කැමැත්තක් ඇති. මෙහිදී ඔබ පළමුව තීරණය කළ යුත්තේ සාරි ජැකට් එක මසන මෝස්තරයයි. එය ඔබට ගැළපෙනවා ද? ඔබේ සාරි රෙද්දට ගැළපෙනවාද? සිතා බලන්න.

මෙහිදී සාරි ජැකට් එක සඳහා සිරුරේ හැඩ පෙනෙන - කල්පවත්නා රෙද්දක් තෝරා ගැනීමටත් කල්පනාකාරි විය යුතුයි. වැලන්ටිනා, ටෙරින්, රෝස් සිල්ක් වැනි රෙදි වර්ග සාරි ජැකට් මැසීමට සුදුසු වනවා. එහෙත් මේවායේත් තත්ත්වයේ උසස් හා බාල රෙදි දෙවර්ගයක් තිබෙන බවක් දැන සිටින්න.

ඔබේ සාරි ජැකට් එකට අවශ්‍ය රෙදි ප්‍රමාණය තීරණය කිරීම රෙදි වෙළෙඳසැලේ සේවකයකුට භාර නොකරන්න. සැබැවින්ම එය තීරණය වන්නේ ඔබේ සිරුරේ ප්‍රමාණය මෙන්ම ජැකට් විලාසිතාව අනුවයි. ඒ නිසා මැහුම් ශිල්පිනිය අපහසුවට පත් නොවන පරිදි ප්‍රමාණවත් තරමට සාරි ජැකට් එක සඳහා රෙදි එකවරම මිලදී ගන්න.

එමෙන්ම සාරි ජැකට් එකේ නිමාවට කල්පැවැත්මට විනිවිද නොපෙෙනීමට ලයිනින් කිරීම හේතු වනවා. මෙහිදී ජැකට් එකට තෝරාගත් රෙද්දේ පැහැයෙන්ම ලයිනින් සඳහා පොලියස්ටර් රෙද්දක් මිලදී ගත යුතුයි. මේ ලයිනින් රෙද්ද මැහුම් ශිල්පිනිය වෙත ගෙනයාමට පෙර සෝදා අව්වේ වියළා හොඳින් අයන් කරගන්න. එවිට මැසීමෙන් පසු ජැකට් එක සේදීමේදී වන ඇකිලීම් වැළකෙනවා.

ඔබේ සාරි ජැකට් එක මැසීමේදී සේවය ලබා ගත යුත්තේ සැබැවින්ම ඔබට තෘප්තිමත් විය හැකි මැහුම් ශිල්පිනියක් වෙතිනුයි. ඒ ඇයගේ සේවය ගැන ඔබට පූර්ණ විශ්වාසයක් නොමැති නම් ඉන් ඔබ මෙන්ම කෙතරම් දක්ෂ වුවත් ඇයත් අපහසුතාවට පත්වන නිසායි.

ඔබ තෝරාගත් මැහුම් ශිල්පිනිය වෙත සාරි ජැකට් එක සඳහා වූ රෙදි මෙන්ම ඔබට ඇවැසි ජැකට් මෝස්තරය දැක්වෙන ඡායාරූපයක් හෝ වීඩියෝවක් රැගෙන යන්න. එය ඔබේ සිතේ ඇති මෝස්තරය පහසුවෙන්ම වටහා ගැනීමට ඇයට ඉවහල් වේවි. එවිට අනවශ්‍ය විස්තර කිරීම්වලින් මිදී සිටීමටත් ඔබට හැකියි.

සාරි ජැකට් එක සිරුරේ ප්‍රමාණයටම තද වන ලෙස අඳින ඇඳුම් විලාසිතාවක් වනවා. ඒ නිසා එයට නිවැරැදිව මිමි ගැනීමට පහසු වන්නේ ඔබ ඒ සඳහා අවහිරයක් නොවන ඇඳුමකින් සැරසී සිටියෝතින් පමණයි. මෙහිදී අත් රහිත හැට්ටයක් ඇඳ සිටීම වඩාත් සුදුසුයි. එමෙන්ම ටේප් එක ලිස්සා යන සුළු සිල්ක් ඇඳුම් ඇඳගෙන යන්නත් එපා.

2019/06/05 තරුණි බලන්න