වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිරු සේ හිනැහී ලොවම ජයගන්න
ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණවලින් සහ මවගේ කිරිවලිනි.
“ඕල් දැට් ඊස් බියුටිෆුල් ඉන් පර්සන් ඊස් ෆ්‍රොම් ද සන් ඇන්ඩ් ද මදර්ස් මිල්ක්”
පුද්ගලයකුගේ සකල විධ සුන්දරත්වයම හිරු කිරණින් සහ මවගේ කිරිවලින් නිර්මාණය වන බව රුසියානූ ලේඛක මැක්සිම් ගෝර්කි පැවසුවේ එසේය. හිරුත්, මවත් නැත්නම් ලොවක් ද නැත.
හිරුත් සමඟ අවදිවන සඳුත් සමඟ නින්දට යන අපේ කාන්තාව ලොවක් තුළ ලොවක් වැනිය. උදෑසනින්ම පිබිදෙන ඇයගෙන් සැමියාට දූ දරුවන්ට සිනාවකින් ලැබෙන සංග්‍රහයෙන් සිත් සතුටින් පිරෙයි. ඒ සිනාව හිරු දහසකටත් වඩා දීප්තිමත්ය. නිවෙසට සිරිදේවිය කැඳවන්නට එයම ප්රමාණවත්ය. එහෙත් එසේ වන්නේ දවසේ රාජකාරි වධකාර කාර්යයන්සේ නොසැලකුවොත් පමණි. අප කරන කාර්ය්ය විනෝදාංශයක් වුවහොත් ජීවිතයම මිහිරිය. එහෙත් අපට පැවරුණු කාර්යයන් කළයුතු නිසාම කරන දෙයක් බවට පත් වුණොත් වහලියක් යන හැඟීම ඇතිවීම පුදුමයක් නොවෙයි. එවිට දවස අරුණලුවලින් ආලෝකවත් වෙද්දී ඔබට අවදිවීමට සිදුවන්නේ යක්ෂාවේශවීලාය.
ගැහැනියකගේ භූමිකාව මවක, බිරියක, දියණියක, ලේළියක, සොයුරියක ආදී වශයෙන් කවරාකාරයෙන් ගත්ත ද ඇයට පූර්ණ කාලීන වූ ක්‍රියාවන් රැසක් උරුමය.
මේ කාර්යයන් වධකාර කාර්යයන් නොවීමට නම් දවස සැලසුම්කර ගත යුතුය.
ඔබේ සොඳුරු සිනාව මෙන්ම ඔබේ යහපත් සුව සෙතද පවුලට ජීවයකි. ගෙදර බුදුන් වන්නේත් නිවෙසේ කැණිමඬල වන්නේත් ඔබමය.
පවුලේ සාමාජිකයන්ගේ හදවත ඔබය. එනිසා දවස සැලසුම් කර ගැනීමෙන් ගත සිත සුවදායක කරගැනීමේ මෙහෙවර ඔබ සතුය.
දිනචර්යාව පඹගාලක් වීමෙන් නිවෙසේ සතුට මෙන්ම ඔබගේ සුවසෙත ද පලා යයි.
අවදි වී දෙපා පොළොවට ස්පර්ශ කිරීමට පෙර සිත සමාධිගත කරන්න. තමන්ගේ හුස්ම ගැන අවධානය යොමුකිරීම හෝ සියලු සතුන්ට මෛත්‍රී කිරීමෙන් දවස ඇරැඹීමෙන් පැය විසිහතර පුරාම පුදුමාකාර අස්වැසිල්ලක් අත්විඳින්නට ලැබෙනු ඇත. සූර්ය නමස්කාරය කළ හැකි නම් වඩාත් සුබ ප්‍රතිඵල නෙළා ගත හැකිය.
කාන්තාවක යනු ජීවිතයේ එක් එක් යුගයේදී විවිධ වූ විපර්යාසයන්ට මුහුණ දෙන්නියකි.
සොබාදහම ඇය මවා ඇත්තේ එලෙසිනි. හෝර්මෝන විපර්යාසයන් දැරියක, තරුණියක, ගැබිනියක, මවක, මිත්තණියක ලෙස විවිධ වෙනස්කම්වලට ලක්කරයි. සූර්ය නමස්කාරයෙන් දවස ඇරැඹීම මඟින් ඒ සොබාදමේ ඒ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කායික, මානසික ශක්තිය ලැබේ.
මාංසපේශීන් සන්ධි ඉක්මනින් දුර්වල වන්නේ කාන්තාවන්ගේය. ආර්තව ගැටලු ද නිතරම අත්දකියි. වියපත් වීම සමඟ රුව ඉක්මනින් වැහැරෙයි.
සමබරතාව නැතිවී වැටීමට වැඩි ඉඩක් පවතී. හෝර්මෝනවල අභියෝගයත් පවුලේ රාජකාරිත් සේවා ස්ථානයේ කාර්යබහුලත්වයත් නිසා ඇය කබලෙන් ළිපට වැටෙයි.
මේ සියල්ලටම උදෑසන සූර්ය නමස්කාරයට පුරුදුවීම ජයග්‍රාහී පියවරකි.
විසි එක් වැනි සියවසේ කාන්තාවන්ගේ දවසේ සතුට උදුරා ගන්නා ප්‍රධාන සතුරකු වී ඇත්තේ ජීවිතය ජංජාලයක් බවට පත්කරන අන්තර්ජාලය සහ ස්මාර්ට් ෆෝන්ය.
වෙනදා සිංහල හඬ කැවූ ඉන්දීය නාට්‍යවලට හැපින්නියන්ට, නයින්ට උමතුවූ අපේ කාන්තාව දැන් වයස කුමක් වුවත් මුහුණු පොතේ වහලියක් බවට පත්වී ඇත.
චොකලට් රස බැලූවිට අපට ක්ෂණිකව සතුටක් දැනෙයි. එහෙත් චොකලට් පෙත්ත දියවූ පසු ඒ සතුට ද වියැකී යයි.
සමාජශාලා වෙබ් අඩවිවලට වහල්වීම ද ඒ හා සමානය. දවසේ කාර්යයන්ගෙන් හිස අවුල් කරගත් ඔබ වෙබ් අඩවිවලට පිවිසි පසු අවුලෙන් අවුලට පත්වෙයි. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් වෙබ් අඩවිවල කාලය කන්නියක වීම නිසා කෙතරම් පැහැර හැරෙනවා ද?
දිනකට දෙපැයකට වඩා සමාජ වෙබ් අඩවිවල ගැවසෙන නව යෞවන යෞවනියන් විෂාදය, කාංසාව වැනි මානසික ගැටලුවලට මුහුණ පාන බව නොයෙකුත් අධ්‍යයනවලින් ද හෙළිවී තිබේ.
සතිය ඇරැඹෙන්නේ සඳු දිනයෙන්ය. එහෙත් සඳුදා දිනයට අප සූදානම් විය යුත්තේ සිකුරාදා සිටය. නැතිනම් සඳුදා දිනයෙන්ම තවත් අසහනකාරී සතියකට මුල පිරෙනු ඇත.
සිකුරාදා සැඳෑ සමයේ සඳු දින වැඩ හැකිතරම් සැලසුම්කර ගන්න. ඉරිදා සැන්දෑ වරුවේ යම් කාලයක් යළිත් සඳුදා වැඩ රාජකාරි ගැන අවධානය යොමු කිරීමට යොදාගන්න.
සති අන්තයේ හැකි තරම් සමාජ වෙබ් අඩවි, විද්‍යුත් තැපෑල ආදියෙන් දුරස් වන්න. රැකියා ආතතිය නිවෙසට රැගෙන නොයන්න. ගෙදර දොර වැඩ පවුලේ කටයුතුවලින් උපරිම සතුටක් ලබන්න.
තමන් ආතතියට පත්කළ නොසතුටට පත් කළ කාරණය කුමක්දායි සිතා බලන්න.
කාරණය හඳුනාගෙන ඉන් සහනයක් ලැබීමට ක්‍රම වේදයක් හොයා ගන්න.
මුදල්වලට පවා ගත නොහැකි සතුට නින්දේදී ලබාගත හැකිය.
ඒ නිසා අප නින්දට යායුත්තේ එදා දවසේ අසුබවාදී සිතිවිලි සියල්ලටම සමුදීය. සුදෝ සුදු පවිත්‍ර කඩදාසියක් බවට ඔබේ සිත පත්කර ගන්න. එවිට පසු දිනය රන් අකුරින් ලියන දිනයක් කරගත හැකිය.