සිතිවිලි ශක්තිමත් වූ තරමට කුසල් බලවත් කළ හැකියි

ඔක්තෝබර් 9, 2019

වස්සාන ඍතුවේ වැසිසාර මාස අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන්ව වැඩ සිටින කාලයයි. සෑම වර්ෂයකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවත් බෞද්ධයාගේ විශේෂ පුණ්‍ය කාලයක් ලෙස සැලකේ.

“අයං වස්සානං කාලෝ” මේ වස්සාන කාලයයි. මේ පාඨය බොහෝ වෙහෙර විහාරවලදී ඔබ නෙත ගැටෙනු ඇත.

වසර දෙදහස් පන්සීයකටත් පෙරදී ආරම්භ වූ මේ ශාසනික සම්ප්‍රදාය අදත් අඛණ්ඩව ථේරවාදී බුදු දහම තුළ පවතින උතුම් පින්කමකි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සෑම වෙහෙර විහාරස්ථානයක් තුළම උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන්වීම සිදු කරනු ඇත. මෙහිදී ප්‍රථමයෙන් ගමේ දායක සභාව රැස්වී මෙම වර්ෂයේ කඨින පින්කම සිදු කරන්නේ කවුුරුන්දැයි තීරණය කරනු ලැබේ. ඉන්පසුව එම පුද්ගලයා ඇසළ පෝය දින හෝ ඊට පසු දින මහා සංඝරත්නයට දැහැත් ගොටු, වස් ආවාස පරිශ්කාර, වැසි සළු ආදිය පූජා කරනු ඇත. පසුව ‘ස්වාමීන් වහන්ස, අපට අනුකම්පාවෙන් මෙම වස් තුන් මාසයේ, වස් ශිෂ්‍යා පදය සමාදන් වන සේක්වා! අපට හැකි ආකාරයෙන් ඔබ වහන්සේලාට සිවුපස දානයෙන් සංග්‍රහ කිරීමට අප පොරොන්දු වෙනවා” යැයි වස් ආරාධනාව සිදු කළ යුතුයි.

මෙහි දැහැත් ගොටු යනු බුලත් කොළ 07 ක් හෝ 08 ක් පමණ ගෙන සකසා ගන්නා දෙයකි. එක් බුලත් කොළයක් ගෙන ගොට්ටක් ආකාරයට සකසා බුලත් කොළයේ අගිස්ස උඩට සිටින සේ අනෙක් බුලත් කොළ එම ගොට්ට තුළ රඳවන්න.

එය සවිමත්ව තිබීම සඳහා පුවක් ගෙඩිය මුලට සිරකළ යුතුය. පසුව කහ හෝ තැඹිලි පැහැති රෙදි කඩකින් වසා වස් වසන භික්ෂූන් වහන්සේලාට පිරිනැමිය යුතුය.

ආරාධනාව භාරගත් පසු භික්ෂූන් වහන්සේලා සවස් කාලයේ දී තුණුරුවන් වැඳ පිරිත් සජ්ඣායනා කොට “ඉමස්මිං විහාරේ ඉමං තේ මාසං....” ආදී වශයෙන් තනි තනිවම වස් ශික්ෂා පදය සමාදන් වෙති.

පින්වතුනි, සිතිවිලි ශක්තිමත් වූ තරමටම දැහැමි වූ තරමටම මේ පූජාවෙන් ලැබෙන කුසලය මහත්ඵලයි. මහානිශංසයි.

තවත් චීවරයක අවශ්‍යතාව

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව විසි වසරක් යනතෙක් බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ. එහෙත් විසි වසරක් ඉක්මවූ තැන ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අඩුවීමට පටන් ගත්තා. කිසිදු වගවිභාගයකින් තොරව භික්ෂූන් වහන්සේලා ප්‍රත්‍ය, ලාභ සඳහා ඒ මේ දෙස සංචාරයට පුරුදු වූහ. මෙය දුටු බෞද්ධ ජනතාව බුදු රජාණන් වහන්සේලාගෙන් කළ ඉල්ලීමක් අනුවයි, වස් වැසීම ආරම්භ වූයේ.

මේ අතර කොසොල් දනව්වේ සිටි භික්ෂූන් වහන්සේලා තිස් නමක් සාකේත නුවර කලක් වැඩ සිටියහ. උන්වහන්සේලාට බුදු රජාණන් වහන්සේව බැහැ දකින්නට අවශ්‍ය වූවා. වස්කාලය ආරම්භයේ දීම වැඩිය නමුත් වස්සාන කාලය නිමා වන තෙක්ම උන්වහන්සේලාට ගමන නිමකර ගත නොහැකි වූවා. වැස්සෙන්, පින්නෙන්, මඩ තැවරුණු සිවුරු ඇතිව ඉතා පීඩාවට පත්වයි බුදු රජාණන් වහන්සේ වෙත වැඩියේ. බුදු රජාණන් වහන්සේ තවත් චීවරයක් භික්ෂුවකට තිබිය යුතු බව වදාළේ එම අවස්ථාවේදීයි.

අනාදිමත් කාලයක සිට පැවත එන චීවර පූජාව ආරම්භ වූයේ එපරිද්දෙනි. කඨින චීවර පූජාවේ දී වස් පවාරණය කළ දිනයේ අළුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩම වීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි.

උත්කර්ෂවත් පෙරහර

ඇතැම් ගම්වාසීන් මේ සඳහා උත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකියි. එම වර්ෂය තුළ කඨින පින්කම භාරගත් සැදැහැවත් පිරිසගේ ශක්තිය අනුව අලි, ඇතුන්, හේවිසි, නැටුම්, ගැයුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්ව පෙරහර භික්ෂූන් වහන්සේ වස් විසූ විහාරස්ථානයට අයත් ගම් ආවරණය වන පරිදි සංචාරය කිරීම චාරිත්‍රයකි. විශාල පිරිසකට කඨින පින්කමෙන් ආනිසංස අනුමෝදන්වීමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මෙහිදී කඨින චීවරය උඩුවියන් යටින් වැඩමවීමෙන් මඟ දෙපස සැදැහැතියන්ට සියතින්ම ස්පර්ශ කොට පින් අනුමෝදන් කිරීමේ උතුම් භාග්‍ය උදාවේ.

සඟ සතු කිරීම

තුන්යම් රාත්‍රිය පුරා ම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහර අළුයම විහාරස්ථානයට ළඟාවෙයි. කොස් කොළ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨිින පෙරහර විහාරස්ථානයට ඇතුළු වීම සඳහා නිශ්චිත වෙලාවයි. මේ අනුව ගෙත්තම් කොට, පඬු පොවා වෙළා සකස්කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උස් ආසනයක තැන්පත් කෙරෙයි.

කඨින චීවරය පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට පූජා කිරීම විනය ප්‍රඥප්තියකි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂූහු කඨින චීවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුවක තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කෙරේ. කඨින චීවරයක් සඟ සතු කිරීමට යටත් පිරිසෙන් උපසම්පදා භික්ෂූන් පස් නමක්වත් වැඩ සිටිය යුතුයි. මෙසේ කඨින චීවරය ලබාගත් භික්ෂුව එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටු කළ යුතු වේ. මොනර ඇසක තරම් ප්‍රමාණයෙන් කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොණක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා, ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මෙතුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරේ.

කඨින පූජාවේ ආනිශංස ලබන සතියේ......

 

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ