වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සමන් දෙවිඳුගේ ආශීර්වාදය ලබමු
මේ එළැඹ ඇත්තේ ශ්‍රී පාද වන්දනා සමයයි. සුමන සමන් දෙවිඳුන්ගේ රැකවරණය පතාගෙන නඩ වශයෙන් ශ්‍රී පාද කන්ද තරණය කොට ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිහිට වූ වාම ශ්‍රී පාදය වැඳ පුදා ගැනීම පසුගිය පොහෝ දිනයෙන් ඇරැඹිණි.
තුන් සරණේ කවි කියමින් කට පරෙස්සම් කරගනිමින්, වැරැදි වචන භාවිතයෙන් තොරව, සුදු පිරුවට මෙන් පිරිසුදුවට සැරසී ශ්‍රී පාදය කරුණා කිරීමෙන් සුමන සමන් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුවම ලද හැකි බව පවත්නා විශ්වාසයයි.
ශ්‍රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය ද නිශ්චිත කාල සීමාවකට පමණක් සීමා වූ වන්දනා සමය ද වන්නේ මේ සිරිපා වන්දනා සමයයි. තවද බෞද්ධ බැතිමතුන් පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් බැතිමත්හු ද වැල නොකැඩී ලක්ෂ ගණනින් සිරිපා වන්දනා කරති. මේ වන්දනාව මහා පුණ්‍ය කර්මයක් සේ සැලකේ.
අති රමණීයවූත්. චමත්කාරජනකවූත්, විචිත්රවූත් සමනල කන්දට තරම් ගෞරවයක් ලොව සුප්‍රකට හිමාල කඳුවැටියටවත් නැත. එහි නම කන වැකෙන විට ලෝකවාසී බෞද්ධ ජනයාට ඉමහත් භක්තියක් ඇතිවන්නේ නිරායාසයෙනි.
බුදුන් වහන්සේ් තෙවැනි ලංකා ගමනයේදී සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනල කඳු අඩවියට වැඩම කොට ශ්‍රී පාද ලාංඡනය තැබූ බවට මහාවංශයේ සඳහන් වේ.සිරිපා වන්දනාවට විශේෂ වූ ඇවතුම් පැවතුම් ද චාරිත්‍ර වාරිත්‍ර ද වේ. පිරිසක් හිමයේ නැඟ යනවිට ශ්‍රී පාද පද්ම වන්දනා නිමකළ තවත් නඩයක් බැස යති.
“වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” යනුවෙන් හඬ නඟා කියන්නේත් ඊට පිළිතුරු දෙන්නේත් කරුණාව පෙරදැරිවය. හදවත බැතියෙන් පුරවාගත් බොදු බැතුමත්හු තුන් සරණේ කවි නිරන්තරයෙන්ම ගායනා කරති.
මේ වන්දනාවට විශේෂ වූ භාෂාවක් පවතී. සිරිපා වන්දනාව යනු ‘සිරිපා කරුණා කිරීමයි’ පළමුවරට සිරිපා වඳින්නා වයසින් අඩු නම් ඔහු ‘කිරි කෝඩුය’. තාරුණ්‍යයේ හෝ වැඩිහිටි නම් ‘දඬුකෝඩු’ ය. ගමන් මල්ල කොපමණ බරින් වැඩි වුවත් එය ‘සැහැල්ලුව‘ ලෙස හඳුන්වයි. එහි ප්‍රධාන වශයෙන්ම බුලත්, පුවක්, තේ, කෝපි, කොත්තමල්ලි, අග්ගලා, පිරුවට දොළොස්මහේ පහනට දමන තෙල් හා ඖෂධ වර්ග තිබෙයි. වන්දනාවට සහභාගී වන පිරිස ‘නඩය’ ලෙස හඳුන්වයි. එක් එක් නඩයකට ‘නඩේ ගුරෙක්’ වේ. අත්දැකීම් බහුල වැඩිහිටි නඩේ ගුරා නඩය සිරිපා කරුණාකොට නැවත ගම්බිම් බලා නිරුපද්‍රිතව කැටුව ඒමේ වගකීම බාර ගනී. ශ්‍රී පාද මළුවට ළඟාවීමට මාර්ග තුනකි.
පැරැණි රජමාවත වැටී ඇත්තේ රත්නපුර පලාබද්දල හරහාය. දුරින් කිලෝමීටර 10 ට මඳක් වැඩිය.
අනෙක කුරුවිට එරත්න හරහාය. දුෂ්කර මෙන්ම දුරින් වැඩිම මාර්ගය මෙයයි. එහි දුර කිලෝමීටර් 14 කි. කිලෝමීටර් 7 ක් පමණ දුර ගෙවා යාහැකි පහසුම හා කෙටිම මඟ වැටී ඇත්තේ හැටන් නල්ලතන්නිය හරහාය.
වැඩි ජනතාවක් ගමන් කරන්නේ මේ පාරෙනි. නල්ලතන්නියේ නාගදීප විශ්‍රාම ශාලාව පිහිටා ඇත. ඒ අසල ගඟෙන් ස්නානය කොට පන්සිල් සමාදන්ව එහි පිහිටා ඇති සමන් දේවාලයේ සමන් දෙවිඳුට බාරහාර වී බැතිමත්හු සිරිපා කරුණාව ආරම්භ කරති. මකර තොරණ ඉන්පසුව හමුවේ. දෙවනුව සාම චෛත්‍යය හමු වේ.
සීත ගඟුල
බුදුන් වහන්සේ නැවතී ගිමන් හැර, අත් පා මුව දෝවනය කරගත් ස්ථානය මෙයයි. ඒ අනුව බැතිමත්හු ද මෙහිදී සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේ වෙති.
ගෙත්තම්පාන
පැරැණි සිරිත්වලට අනුව කෝඩු පුද්ගලයකු විසින් ඉඳි කටුවකුත්, නූල් බෝලයකුත් ගෙන ගොස් ගෙත්තම්පානට පිදිය යුතුය. එහිදී සිදුවන්නේ ගොඩගැසී ඇති ඉඳිකටු හා නූල්වලට තමන් ගෙනයන ඉඳිකටුවත්, නූල් බෝලයත් එකතු කිරීමයි.
හැරමිටිපාන
බොහෝ දෙනා මෙතැනදී ලීයක ආධාරයෙන් කන්ද තරණය කරන බැවින් හැරමිටිපාන නම ලැබී ඇත.
මහගිරිදඹය
ආඬිමලතැන්න පසුකර යනවිට ඇහැළ කණුව හමුවේ. ඊළඟට හමුවන්නේ මහගිරිදඹයයි. කන්දේ බෑවුම මෙතනදී ඉතා දළය. ‘අහස්ගව්ව‘ යන නමින් ද හඳුන්වන මෙම ස්ථානය ශ්‍රී පාද වන්දනාවේ දී තරණය කිරීමට ඇති අපහසුම කොටසයි. මෙය වනාහී පොළොවේ සිට ඉහළට හරි කෙළින් නැඟී සිටින සමන්ත කූඨයේ ඉහළම කොටසයි.
දොළොස්මහේ පහන
අතීතයේ බැතිමතුන් මළුවට ආ විට එහි පවතින අධික ශීතල දරාගන්නට බැරි බැවින් ගිනිමැලයක් සාදාගෙන ඇත.
එය පසුකාලීනව දොළොස්මහේ පහන නම් විය. ශ්‍රී පාද පද්මයට වැඳ පුදාගෙන සමන් දෙවිඳුන්ට පින් පමුණුවන්නේත්, බාරහාර ඔප්පු කරන්නේත් මෙහිදීය.
ශ්‍රී පාද පද්මය මත සුදු පිරුවට අතුරා, සුවඳ පැන් ඉස, ඒ මත තම නළල තබා දොහොත් මුදුනින් සිරිපා නැමදීම වන්දනා ක්‍රමයයි.
වන්දනාමාන කර අවසාන වූ කල පාන්දර ජාමේ ඉර සේවය නැරැඹිය හැකියි.
මෙය දේශීය බැතිමතුන් අතර මෙන්ම විදෙස් සංචාරකයන් අතර ද ඉතාමත් ප්‍රසිද්ධයි. මෙවැනි මනරම් සූර්ය උදාවක දසුනක් ලොව කවර තැනකවත් දර්ශනීය නොවේ.
ඉර සේවයෙන් අනතුරුව
තම සිරිපා කරුණා කළ වාර ගණනට මළුවේ ඝණ්ඪාරය නාද කරන්නට හැකියි.
මේ ශ්‍රී පාද වන්දනාව පැරැණි පිළිවෙත් අනුගමනය කරමින් සතියකටවත් පෙර මස් මාළු, කිළිවලින් තොරව පරෙස්සම් වෙමින් ලක ලැහැස්ති වෙමින් යායුතු ගමනකි.
ජීවිතයේ එක් වරක් හෝ දණින් වැටී ශ්‍රී පාදය නමස්කාර කිරීමේ භාග්‍ය උදාකර ගැනීම සැබෑම පුණ්‍යකර්මයකි.
එසේම පින්වත් ඔබ මේ උතුම් පූජා භූමිය පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යවලින් හෝ කුණු රොඩුවලින් අපවිත්‍ර නොකිරීමටත් තරයේ සිහි තබාගත යුතුය. එසේම ශ්‍රී පාද අඩවියට මත්පැන්, සංගීත භාණ්ඩ ගෙනයාම සපුරා තහනම්ය.
උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය සමඟිනි. අපේ පැරැන්නන් දිවි පරදුවට තබා ශ්‍රී පාද වන්දනාවට ගියා සේම අද අපිද උතුම් ශ්‍රී ශ්‍රද්ධාවෙන් ශ්‍රී පාද වන්දනාවට එක්වෙමු. පින්වත් ඔබේ ප්‍රාර්ථනා අරුත් ගැන්වෙනු ඒකාන්තය.
ශ්‍රී පාදස්ථානයේ වාර්ෂික පෙරහර හා වන්දනා සමය සංවිධානය කිරීමෙහිලා වගකීම් දරනුයේ ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල පුරාණ ටැම්පිට රජමහා විහාරය, කරංගොඩ පොත්ගුල් විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණෝයි.