වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දුගතියට ඇද දමන තරහා සිතුවිලි පාලනය කරන්නෙ කොහොමද?
අනුශාසනාව - රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය
රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ
මේ මනුෂ්‍ය ලෝකයේ සිටින මනුෂ්‍යයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ‘නානත්ථ කායා නානත්ථ සංඤා’ කියලා හඳුන්වනවා. ලෝකයේ කෝටි හත්සියයක් වගේ ජීවත් වන මිනිසුන් ශරීරයේ ස්වභාවයෙන් ගත්තත් වෙනස්. නිවුන් දරුවෝ එක වගේමයි. ඒත් ඔවුන්ගේත් යම් යම් වෙනස්කම් තියෙනවා.
කොහොම වුණත් මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් රූපයෙනුත් වෙනස්. අදහස්වලිනුත් වෙනස්. එකිනෙකා එකිනෙකාට වෙනස්. එබැවින් තරහව, වෛරය, ද්වේෂය එක එක විදිහට පිහිටනවා.
බුදුරජාණන් වහන්සේ බුදු ඇසෙන් ලෝකය දෙස බලනකොට මේ ලෝකය නෙළුම් විලක් සේ දුටුවා.
සමහර නෙළුම් මල් විලෙන් උඩට මතු වී හොඳට පිපී තියෙනවා. සමහර ඒවා නෙළුම් පොහොට්ටුව විතරයි. හිරු රැස් වැටෙනකොට විකසිත වෙනවා.
සමහර මල් පොහොට්ටු උඩට මතු නොවී වතුර ඇතුළෙම කුණු වී යනවා.
මේ වගේ ලෝකයේ මිනිසුන්ද කෙලෙස්වල ස්වභාවය අනුව එකිනෙකා එකිනෙකාට වෙනස්.
අපේ හිතේ ඇති වන තරහව, වෛරය, ද්වේෂය අනුව මනුෂ්‍යාව කොටස් තුනකට බෙදන්න පුළුවන්. බලන්න සමහරු තරහ ගන්නවා.
එහෙත් දිය මත ඇඳි ඉරක් වගෙයි. ඒ සැණින් මැකී යනවා. තරහට වචනයක් කිවුවත් ඒක දිගට වෛරයක් දක්වා ගෙන යන්නෙ නැහැ. එවැනි අය සසරේ හිත වඩවා ගත්තු අයයි.
මේ මෛත්‍රිය පවා සංසාරේ පුරුදු කරගත් එකක් වන්නට ඕනෙ. කායිකව, වාචසිකව මෛත්‍රිය පුරුදු කර ගත් අය අපි අතර ඉන්නවා.
ඒ අය තම කය යොදවා ගෙන කිසිවකුට දුකක් පීඩාවක් කරන්නේ නැහැ. වචනයකට පවුල් පිටින් ගිනි තියන්නට හැකියි. ලෝකය රටවල් හෙළා දකින විදිහට වචනය හසුරවන්න පුළුවන්.
එහෙත් මෛත්‍රී සහගතව වචනය හසුරවන කෙනා හිතනවා මම කැමැති නැහැ කවුරුත් මට බොරුවක් කියනවාට. “අත්තතානං උපමං කත්වා” තමා උපමා කරගෙනම කල්පනා කරලා බොරුවක්, කේලමක් කියන්නෙ නැහැ.
මෙවැනි අයට තමයි සිත කය එක්තැන් කරගෙන භාවනා වැඩිය හැකි වනුයේ.
එසේ නැතිනම් ඇස් පියාගෙන භාවනා කරගෙන ඉඳලා ඇස් ඇරගෙන මිනිසුන් සමඟ ගැටුම් ඇති කරගෙන පලක් නොවෙයි.
දක්ෂ ලෙස සසරේ මෛත්‍රිය පුරුදු කර ගත් අයත් අප අතර ඉන්නවා.
නිවන් අවබෝධය දක්වාම මේ මෛත්‍රිය පාරමිතාවක් සේ රැගෙන යන අයත් අපි අතර සිටී. අළු යට ගිනි පුපුරු සේ හිත්වල තරහව, ක්‍රෝධය පවතිනවා. ඒත් මෛත්‍රියෙන් පාලනය කරගන්න පින මතු කර ගන්නට ඕනෙ.
බුදුරජාණන් වහන්සේ තව පිරිසක් ගැන විස්තර කරනවා. එනම් වැල්ලේ ඇඳි ඉරක් සේ තරහව ඇති අය ගැනයි. ඒ අයගේ සිතේ වෛරය, තරහව දවසක් දෙකක් තුනක් තියෙයි.
හරියට වැල්ලේ ඇඳි ඉර මුහුදු වතුරටත් හුළඟටත් ඉබේම මැකී අවසන් වනවා වගෙයි. මෙවැනි අයටත් මෛත්‍රිය වඩවන්න පහසුයි.
ඒ වගේම මේ ලෝකේ දරුණුම පිරිසකුත් ඉන්නවා. ඒ අය සසරේ අකුසල්ම වඩවපු අයයි.
රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වලටම වහල් වූ පුද්ගලයෝ ඕනෑ තරම් ඔබ දැක ඇති. එවැනි අය පුංචි තරහවක් මැරෙන තෙක්ම හිතේ තියාගෙන ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ මේ අයව උපමා කරන්නේ ගලේ කෙටූ ඉරක් හා සමානයි කියාය. ඔබ දැකලා අහලා ඇති සෙල්ලිපි ගැන.
වසර දෙදහස් ගාණකට පෙර ගල්වල කොටපු චිත්‍ර, කැටයම්, අක්ෂර තවමත් තියෙනවා.
ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා හිතට තරහවක්, වෛරයක් ඇති වුණොත් දවසකින්, සතියකින්, මාස කීපයකින් තරහව අවසන් කර ගන්නේ නැහැ.
කොහාමද පළිගන්නේ කියලා අවුරුදු ගණන් සැලසුම් කරනවා.
එවන් හිතක ස්වභාවය හරිම දරුණුයි. තම තරහව සාධාරණීකරණය කරගන්න කරුණු හොයනවා. මේ වෛරය මරණයෙන් ඉවර කරගන්නෙත් නැහැ.
ඔබ අහලා ඇති කාලි යක්ෂණීගෙ කතාව. ආත්ම 500 ක් පුරා ඇඳී ගිය වෛරය ගැන.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ හිතේ හටගන්නා වෛරය ගැන පෙන්වා දෙන්නේ යකඩයක හට ගන්නා මලකඩ සේය.
යකඩයක හට ගන්නා මල යකඩයම විනාශ කරනවා. ඒ කියන්නෙ යකඩයක් විනාශ වී යන්නේ බාහිර දෙයක් නිසා නොවෙයි. ඒ යකඩය නිසාමයි.
ඉතිං ඔබේ හිතේ යම් කිසි ද්වේෂයක්, වෛරයක්, තරහවක් හට ගනී ද එය ඔබම විනාශ කරයි.
ඔබ නිරයට ඇදගෙන යයි. ඔබව තිරිසන් ලෝකයකට ඇදගෙන යයි.
බලන්න ක්ෂණික කෝපය හටගෙන විනාශයක් කර ගත් අය පසුව පසුතැවිලිවන්නේ කොහොමද කියලා. “ඒ වෙලාවෙ මට මාවම පෙණුනේ නැහැ.”
ඔබ බලන්න බන්ධනාගාරවල ඉන්න මිනිසුන් කියන කතා ගැන. “අනේ ඒ වෙලාවෙ මම තව ටිකක් ඉවසුවා නම් හරි එදා මට ඉවසගන්න බැරි වුණා.”
අපි අතර ඉන්න බොහෝ මිනිසුන් හරි හරියට පසුතැවෙනවා. ඒ වෙලාවෙ මම ඉවසුවනම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනෙ කියලා.
අපේ හිත් හටගෙනම තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ස්වභාවයන් එක්ක. එබැවින් හිත අකුසලයටම ඇදී යනවා. කිසිම අපහසුවක් නැතිව ගංගාවක් පහළට යනවා වගෙයි.
මේ වගේ හිතක් යහපත් කර ගැනීම ලෙහෙසි නොවෙයි. හරියට ගංගාවක් උඩුගම් හැරවීමක් වගෙයි. ඒකට ලොකු වෙහෙසක් දැරිය යුතුයි. අකුසලයට ඇඳුණු සිත කුසලයට හැරවීමට හොඳ නුවණක් තිබිය යුතුය.
කෙලෙස් නිසා අකුසල් කරගෙන මම කොයිතරම් නම් සසරේ දුක් විඳින්නට ඇතිද? මේ ලැබු උත්පත්තියේද සැනසීමක් නොවන්නේ එලෙසින් බව ධර්මයෙන්ම වටහා ගත යුතුය.