වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පොල් කටු සහ උණ බම්බුවල සාර්ථක වගාවක්
නොසිතූ මොහොතක ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟ අප සැවොම නිවෙස්වලට ම කොටු වුණා. අත්‍යවශ්‍ය රාජකාරියකට හැරුණුවිට නිවෙසින් පිටතට නොයන මේ දිනවල බොහෝ දෙනකු තමන්ට හැකි ආකාරයට වගා කටයුතුවල යෙදෙනවා.
ඒ විතරක් නෙමෙයි අලුත් අලුත් වගා ක්‍රම අත්හදා බලනවා. විශේෂයෙන් ම අන්තර්ජාලය සහ මුහුණු පොත ඔස්සේ තමන්ගේ වගා කටයුතු ගැන අනෙක් අයව දැනුවත් කරන්නත් අපේ ඇත්තන් පැකිළෙන්නේ නැහැ. තමන් සතු දැනුම අන් අය සමඟ බෙදා හදා ගන්නවා.
මහනුවර, පල්ලෙදීගල පදිංචි චින්තක පුෂ්පකුමාර අබේරත්න තරුණයාත් ඒවාගේ. ඔහු ඉවත දමන පොල් කටු, උණ බම්බු වාගේ දේවල් උපයෝගී කරගෙන හරි අපූරු වගාවක් පටන් ගෙන තිබුණා. පුංචි ඉඩකඩක රාබු, නෝකෝල්, සලාද කොළ, කන්කුන් වාගේ එළවළු ඉතාමත් ක්‍රමානුකූල වගා කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත්තා.
ඔහු මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන අතරතුරේ විගණන කාර්යාලයක පුහුණුවන සේවකයෙක්. ඉතින් තමන්ට ඉතිරිවන පුංචි කාලය ප්‍රයෝජනයට අරගෙන මේ වගේ වගාවකට යොමු වුණේ වස විස නැති එළවළු ටිකක් වවාගන්න තිබූ කැමැත්ත නිසාමයි.
ඒවාගේම ගොවියකු වූ අප්පච්චිගෙන් ලද පන්නරයත් තමන්ගේ දෑතින් වැවූ දෙයක අස්වැන්න නෙළන විට ලැබෙන මිල කළ නොහැකි ආත්ම තෘප්තිය පිළිබඳ ඔහුට තිබෙන්නෙ ආඩම්බරයක්. දින චර්යාවේ විවේකය අඩු නිසා දැනෙන ආතතිය මෙවැනි වගාවක් විනෝදාංශයට යොදා ගැනීම හරහා ඔබටත් අත් විඳීන්නට පුළුවනි.
වගා බඳුන් සකසා ගැනීම
රාබු, නෝකෝල්, කන්කුන් වැනි දෑ වගා කිරීම සඳහා ඔබට මුළුතැන්ගෙයින් ඉවත දමන පොල් කටු යොදාගන්න පුළුවනි. ඊට අමතරව සලාද, ගොටුකොළ වැනි පලා වර්ග සිටුවීමට උණ බම්බු, වැහි පීලි ආදියත් යොදාගත හැකියි.
සාමාන්‍යයෙන් මෙවැනි වගාවක දී යොදා ගන්නා පොල්කටුව තරමක් ඉඩ ඉතිරි වන ආකාරයට කපා ගත යුතුයි. එහිදී විශාල පැත්ත වගාව සඳහා යොදාගන්නා අතර එහි කට මට්ටමට සිටින සේ කියතෙන් කපාගන්න. අනතුරුව පොල්කටුවේ යට කොටසෙහි වතුර බැස යාමට සිදුරු කිහිපයක් ද පොල් කටුව එල්ලීමට දෙපැත්තෙන් සිදුරු දෙකක් ද සාදා ගන්න. මෙම සිදුරු සකසා ගැනීම සඳහා ඔබට ග්‍රිල් එකක් උපයෝගී කරගත හැකියි.
මෙම පොල්කටු අතර පරතරය අඩියක පමණ ප්‍රමාණයක් තබා ගත යුතු අතර ඔබට කැමැති ආකාරයට එල්ලා ගැනීමට හෝ කණුවක රඳවා ගැනීමට පුළුවනි.
උණ බම්බු දෙපැත්ත පුරුක් සිටින සේ මෙහි දැක්වෙන ආකාරයට කපා යටින් හිල් විද සකසාගන්න. උඩින් පැළ සිටුවීමට තැනින් තැන කොටු හැඩයට කපාගන්න. මෙවැනි උණ බම්බු කිහිපයක් මෙහි දැක්වෙන ලෙස කම්බි යොදා රඳවාගත හැකියි.
වගා මාධ්‍යය
පස් සහ කාබනික පොහොර වගා මාධ්‍ය ලෙස යොදා ගැනේ. මෙහිදී මුළුතැන්ගෙයින් ඉවත් කරන අපද්‍රව්‍ය, කුණු කසල, දිරාගිය කොළ රොඩු, පොල් ලෙලි ආදිය කාබනික පොහොරවලට මිශ්‍ර කර ගත හැකියි. ඊට අමතරව කොම්පෝස්ට්, ගොම, කුකුළු පොහොර, එළු පොහොර ආදියත් ඔබට කාබනික පොහොර ලෙස භාවිත කළ හැකියි. කෙසේ වුවත් පස් සහ කාබනික පොහොර 1:1 අනුපාතයට මිශ්‍රකර භාවිත කරන්නට වගබලා ගන්න.
වගා මාධ්‍ය පුරවා ගැනීමේ දී සම්පූර්ණ පොල් කටුව පිරෙන ලෙස නො පුරවා ගත යුතු අතර පොල්කටුවෙන් ¾ ක් පමණ පුරවන්න. වරින්වර පොහොර දමා ගැනීමට ඉඩකඩ තබාගත යුතුයි. උණ බම්බුවලට ද එලෙස වගා මාධ්‍ය පුරවාගන්න.
වගා කිරීම
පොල් කටුවල හොඳීන් වගා කරගත හැක්කේ ජපන් බෝල රාබු වගාවයි. එබැවින් පළමුව පොල් කටුවට වගා මාධ්‍යය පුරවන්න. අනතුරුව රාබු බීජ ගෙන එහි හරි මැදට වන්නට එක් බීජයක් දමා පස් ස්වල්පයකින් වසන්න. දින පහක් පමණ ගත වන විට එම බීජ පැළ වී පළමු පත්‍ර දෙක දැක ගැනීමට හැකියාව ලැබේවි.
උණ බම්බුවල සිදුරු කළ කොටසට ද බැගින් දමා පස්වලින් වසන්න. දින 12ක් පමණ ගත වනවිට තවත් පත්‍ර දෙකක් හට ගනීවි. එවිට පළමු පත්‍ර දෙක ආසන්නයට එනතෙක් කාබනික පොහොර යොදන්න. මේ සඳහා කොම්පෝස්ට්, ගොම, කුකුළු හෝ එළු පොහොර භාවිත කරන්න.
මෙම වගා බඳුන් හොඳීන් හිරුඑළිය වැටෙන ස්ථානයක තබන්න. ඒ වාගේම කුඩා සිදුරු සහිත බෝතලයකින් දිනපතා ජලය ස්වල්පයක් දමන්න. කුඩා වගා බඳුනක් බැවින් එකවර විශාල ජලය ප්‍රමාණයක් යෙදිය නොහැකි බවත් මතක තබාගන්න.
අස්වැන්න
රාබු වගාවට දින 45ක් පමණ ගතවන විට ඔබට අස්වැන්න නෙළා ගත හැකියි. රාබු ගලවා ගත් පසු ඒ පොල් කටුවේ නැවතත් වෙනත් කුඩා එළවළුවක් හෝ පලා වර්ගයක් සිටුවා ගන්න.
රාබුවලට අමතරව ඔබට සලාද, නෝකෝල් සහ සහ කන්කුන් දඬු ද මෙම බඳුන්වල සිටුවා ගත හැකියි. ඊට අමතරව ගොටුකොළ, මුගුණුවැන්න වැනි පලා වර්ග සිටුවා වස විසෙන් තොර අස්වැන්නක් ලබාගන්න.
මෙම කාර්යයේ දී ඉමහත් සහයෝගයක් ලබාදෙන අප්පච්චි සහ අම්මාට ද ච්ඒ 64 කණ්ඩායම සහ ඉන්දික රත්නායක ඇතුළු පවුලේ සැමටත් විශේෂ ස්තුතියක් කළ යුතු බව චින්තක අප සමඟ පැවසීය.