නත්තල සරසන පොයින්සෙටියා මල්

දෙසැම්බර් 9, 2020

සාමයේ අරුත ලොවට කියාදෙන ඒ අසිරිමත් නත්තල උදාවන්නට ඇත්තේ තවත් දින කීපයක් පමණයි. කිතුණු ඔබ ඒ සඳහා මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති.

ගිය සතියේදී අප නත්තල වෙනුවෙන් බටර් අයිසිංවලින් සාදන ලද පොයින්සෙටියා මලක් නිර්මාණය කරගන්නා ආකාරය ඔබට ඉදිරිපත් කළෙමු. අද අප මේ කියා දෙන්නට යන්නේ තයිලෝ පේස්ට් හෝ පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත හැකි තවත් පොයින්සෙටියා මලකි. මේ මල ද කේක් හැඩ කරන්න හරිම අපූරුයි. නත්තල් දා කෑම මේසය හැඩ කරන්නත් කදිමට ගැළපේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ඇලවීමට ජෙලටින්

මල සාදාගන්නා ආකාරය

පළමුව රතු පැහැයෙන් සාදාගත් අයිසිං බෝලයක් ගෙන තුනී කරන්න. ඉන්පසු පළමුවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පළමු මල් පෙත්තේ කටරය තබා මල් පෙති පහක් කපාගන්න.

ඉන්පසු දෙවැනි මල් පෙත්තේ කටරය තබා තවත් පෙති පහක් කපාගන්න. එය දෙවැනි ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වේවි. පසුව තෙවැනි මල් පෙත්තේ කටරය තබා තෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට තවත් මල් පෙති පහක් කපාගන්න.

ඉන්පසු සිව්වැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට එම මල් පෙති පහේ යට කොටස කපා ඉවත් කරන්න. දැන් එම කටරයම තබා තවත් මල් පෙති පහක් කපාගන්න. පස්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ කපාගත් මල් පෙති පහයි.

කොළ සාදා ගැනීම සඳහා කොළ පැහැති අයිසිං බෝලයක් තුනීකර එම කටරයම තබා තවත් මල් පෙති තුනක් කපාගන්න. දැන් මෙසේ කපාගත් මල් පෙති සියල්ල වේනර්කර පසුව ස්පොන්ච් කොටසක් මත තබා ටූල් කරගන්න.

දැන් මල සාදා ගනිමු.

ඒ සඳහා කුඩා බෝල් එකක් ගෙන ඒ මත සුදු බටර් ස්වල්පයක් තවරන්න. පසුව එම බටර් මත දෙවැනි කටරය තබා කපාගත් මල් පෙති පහ තබන්න. එය තබා ගන්නා ආකාරය හයවැනි ඡායාරූපය මඟින් ඔබට පැහැදිලි වේවි. පසුව ලොකු කටරය තබා කපාගත් මල් පෙති පහ ගෙන කලින් තැබූ මල් පෙති අතරට තබා ජෙලටින් මඟින් අලවා ගන්න. එයට උඩින් කොටසක් කපා ඉවත්කළ මල් පෙති පහ තබන්න.

එය ද ජෙලටින් මඟින් අලවා ගන්න. මලෙහි උඩට පළමු කටරය තබා කපාගත් මල් පෙති පහ තබන්න. මල් පෙති අලවා ගන්නා ආකාරය හත්වැනි ඡායාරූපය මඟින් ඔබට දැකගත හැකියි. එසේ මල් පෙති අලවාගත් පසු මල මැදට කහ සහ කොළ අයිසිං මඟින් සාදාගත් කුඩා බෝල කීපයක් තබා අලවන්න.

මල සාදා අවසන්ය. දැන් මල් පෙති අතරට පුළුන් තබා මල වියැළෙන්නට තබන්න. වියළුණු පසු මල බෝල් එකෙන් හෝ කෝප්පයෙන් ඉවතට ගෙන මලෙහි යටට කොළ කිහිපයක් අලවා ගන්න. මෙම මල දිනක් පමණ වේළීමට තැබිය යුතුය. ඉන්පසුව ඔබට අවශ්‍ය පරිදි කේක් හෝ කප් කේක් හැඩ කරගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනි

ප්‍රදීකා විජේසූරිය

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න