වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නව වසරට සුබවාදී මානසිකත්වයෙන් මුහුණ දෙමු
දවසේ සමාලෝචනය
දවස සිනමා පටයක් මෙන් විවිධත්වයෙන් ගත කළ අපි හිරු අවරට ගොස් සඳ තරුත් සමඟ අහස් කුස සරසන හෝරාවේ නිදි යහනට යමටත් පෙර නිදා ගැනීම ගැන සිහින දකිමු. එදා දවසේ නින්දෙන් අවදිවූ මොහොතේ සිට නිදි යහනට යන තුරු අප ක්‍රියා කළ අන්දම ගැන සිතීම වැදගත් බව අපට සිතෙන්නේ නැත.
සිතන්න. අවදිවූ මොහොත මතකයට නංවා ගන්න. උදෑසන අවදිවූයේ සතුටින් ද ? මුහුණ එල්ලා ගෙනද? කෑමට ගත්තේ මොනවාද? කෑමට ගත්තේ නිවෙසේදීම පිළියල කළ කෑමද? නැත්නම් චූන් පාන්කරුගේ පිටි ගුලියක්ද? අද ගත් ආහාර පෝෂ්යජනකද ? අවසාන ප්‍රශ්න දෙකට ලැබෙන පිළිතුර අනුව තමන්ටම ඒ ගැන නිගමනයකට එළඹීමට පුළුවන. ඒ ආහාරවලින් සෞඛ්‍යයට සිදුවන බලපෑම ගැනත් එවිට සිතාගත හැකිය.
එදා බස් රියේ, දුම්රියේ ගමන් කළේ මුහුණ එල්ලා ගෙනද? කෙනකුගේ සුළු අතපසු වීමකටත් ඉවසන්නේ නැතුව යක්ෂාවේෂ වී වචන හුවමාරු කරගත්තාද?
දවස නිමකර නිවහනට පැමිණි පසු දරුවන් තමන් වෙත දිව එද්දී වෙහෙස, ආතතිය අමතකකර සුහද සිනාවකින් ඔවුන් පිළිගත්තාද? ආදරණීය වචනයකින් දෙකකින් ඔවුනට සංග්‍රහ කළාද? සැමියා / බිරිය සමඟ වචන හුවමාරුකර ගත්තාද? වාග් සංග්‍රාමය මුළුතැන් ගෙයි පියාඹන පීරිසි සංදර්ශනයක් මවා පෑවාද?
දවස සමාලෝචනය කරන්න. එසේ කිරීම ඉදිරියේදී උදාවන සෑම දිනයකටම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. අපේ ඇති යහගති, නැති කරගත යුතු අයහපත් ගති, එක්කර ගතයුතු හොඳ ගති සියල්ල පිළිබඳ අදහසක් එවිට අපටම ඇතිකරගත හැකිය. අපේ යහපත් ගති ගැන සිතීමේදී ධනාත්මක පෞරුෂත්වය ගැන සිතීමේදී අපට අප ගැන ම සතුටු සිත් පහළ වෙයි. අප ගැන ම අපට සෙනෙහසක් ඇති වෙයි. තමන් තමන්ට සෙනෙහස නො දක්වයි නම් අන් අයට සෙනෙහස දක්වන්නේ කෙසේද? අපෙන් සිදුවූ වැරැදි, අතපසුවීම්, ඍණ සිතිවිලි ගැන සිතීමෙන් හෙට දිනයේ ඒ වැරැදි සිදු නො වන ලෙස ජීවත් වීමට පුළුවන. මෙවැනි සමාලෝචනයක් නො කර අපට අප නිවැරැදි කළ නො හැකිය. එසේ නො කළොත් ජීවත් වීමට සිදුවන්නේ එකම පුද්ගලයකු ලෙස ය. අප අතර සිටින වැඩි දෙනකු තමන් බාල කාලය, තරුණ කාලය, මැදි වයස ගතකළ අන්දම ගැන පසුතැවිලි වෙයි. පසුතැවිල්ල නිෂ්ප්රයෝජන දෙයකි. අතීතය අපට වර්තමානය කළ නො හැකිය. කළ යුත්තේ එදිනෙදා කරන සමාලෝචනයකින් දවසින් දවස ජීවිතය හරවත් කරගැනීම ය.
දවස ක්රමාණුකූල කරගනිමු.
පාසලේදී අප සැවොම වැඩ කළේ කාලසටහනකට අනුවය. වැඩිහිටියන් වූ පසු අප පුරුදු වී සිටින්නේ දින පොතක් භාවිත කිරීමට ය. වැදගත් රැස්වීම් ආදිය මේ දින පොතේ සටහන් කරනු ලබයි. එහෙත් කෝවිඩ් - 19 වසංගතය නිසා අප සියලු දෙනාගේම ජීවිත උඩු යටිකුරු වී ඇත. වෙනදා දිනපතා රැකියාවට යාමට උදෑසන පහට අවදිවූ කෙනකු දැන් අවදි වන්නේ මධ්‍යාහ්නයට විය හැකිය. වෙලාවට රැකියාවට යාමේ අවශ්‍යතාවක් දැන් නැත. එහෙත් නිවෙසේ සිට වැඩ කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙයි. තවත් අයට රැකියාව අහිමිවී තිබෙන්නට පුළුවන. මේ අතර වෙනදා කළ රැකියාව වෙනුවට වෙනස්ම වෘත්තියකට සිය ජීවන නෞකාව පැදගෙන යාමට සිදුවී ඇති අය ද සිටියි.
බොහෝ දෙනකුගේ ජීවිතවල දවසේ කාල සටහනේ සැබෑ වෙනසක් සිදුව තිබෙන බව නම් පරම සත්‍යයකි. උදේ නැඟිටින වෙලාව මෙන්ම රැට නිදා ගන්නා වේලාවේ ද පිළිවෙළක් නැත. "දැන් මොන වෙලාවට නැඟිට්ටත් නිදා ගත්තත් මොකද? " කෙනකුට මෙසේ සිතෙන්නට පුළුවන. එහෙත් මෙවැනි චර්යාත්මක වෙනස්කම් අපේ මානසික සෞඛ්‍යයට කොහෙත්ම හිතකර නැත. ඒ නිදා ගන්නා වෙලාව වෙනස් වීම නිසා නො වෙයි. අප ගන්නා ආහාර පාන ගැන, වෙලාවට ආහාර පාන ගැනීම ගැන අවධානය යොමු කරන්නේ ද අඩුවෙනි. ලුණු, තෙල්, සීනි අධික ආහාර රටාවකට යොමු වෙන පිරිස ද වැඩි වෙමින් සිටියි. කය මෙන්ම මනස ද අප ජීවිත කාලය පුරා සුවපත්ව තබාගත යුතුය. වසංගත පිට වසංගත පැමිණියත් එහි වෙනසක් නො විය යුතුය.
කෝවිඩ් - 19 වසංගතය මුළු ලොවටම එක ලෙස බලපායි.
මානසික අසහනය, මානසික පීඩනය, ඍණාත්මක චර්යා රටාවන් මෙවැනි කාලයක පොදුවූ තත්ත්වයන්ය. ආර්ථික කඩා වැටීම්, එක තැනකට කොටුවී සිටින්නට සිදුවීම ජීවිතයම කඩා බිඳ දමන්න
හේතුවී තිබෙයි.
රැකියාවට යාම, විනෝද ගමන් යාම, සිනමා පටයක් වේදිකා නාට්‍යයක් නැරැඹීම තබා අසල් නිවෙසකට යාම, නෑසියන් හමුවීම කලකට සැබෑකර ගත නො හැකි සිහිනය. මෙවැනි හේතූන් මානසික පීඩනය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත. එහෙත් අප සිතිය යුත්තක් තිබෙයි.
ජීවිතය යනු රෝසමල් යහනාවක් නො වෙයි. වසංගත, නියඟ, සුනාමිය, නාය යාම ආදී තත්ත්වයන් ද අපේක්ෂා කළ යුතුය. ජීවිතය ධනාත්මක වන්නේ ඍණාත්මක දෑ ද සමඟ ය. මානසිකව වැටී ඇති අය සිතිය යුත්තේ ජීවිතය නිරන්තරයෙන් ම කිරියෙන් පැණියෙන් ඉතිරී යන්නක් නො වන බව ය. සියල්ල වෙනස් වෙන සුලුය.
වසංගත සමය ද වෙනස් වෙයි. එය අප අවබෝධ කර ගෙන ජීවත් විය යුතුය. 2020 වසර අවසන් වන්නේ එය උත්සවශ්‍රීයෙන් ඇරැඹුණු ආකාරයට නො වෙයි.
ජීවිතයේ සොබාදහමේ ස්වභාවය සිහි තබා ගෙන 2021 වසරට ධනවාදීව පිවිසිය යුතුය.
උපදෙස් - කොළඹ වෛද්‍ය පීඨයේ සායනික මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ප්‍රියංජනී ද සොයිසා