අනාගතයේ මෛත්‍රී බෝසතාණන්ට පලදෙන +කර්ම විපාකය

ජනවාරි 13, 2021

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.

ගෞතම බුදුන්වහන්සේට කලින් මෛත්‍රී බෝධි සත්ත්වයෝ බුදුවීමට සිටි බව ඉපැරැණි පොත් පත්වල සඳහන් වෙනවා. ගෞතම බුදුන්වහන්සේත් මෛත්‍රී බෝධි සත්ත්වයෝත් බොහෝ පාරමී ධර්මයන් පුරා සසරේ පැමිණ තිබෙනවා.

මේ දෙදෙනාම බුදුබව පතා ප්‍රාර්ථනාවන් සසර පුරාවට ම සිදුකර තිබෙනවා. එක ආත්මභාවයක මෛත්‍රී බෝධි සත්ත්වයෝ ගුරුවරයා ලෙසත් ගෞතම බෝධි සත්ත්වයෝ ගෝලයා ලෙසත් ඉපදිලා තිබෙනවා. ඔවුන් භවනායෝගීව අෂ්ඨසමාපත්තිය දක්වා හිත දියණු කරගනිමින් බොහෝ ගුණධර්ම පුරමින් බුදුබව පතා පාරමී ධර්ම සම්පූර්ණ කරමින් එම භද්‍ර කල්පයේ ම ඊළඟට බුදුවීමට ප්‍රාර්ථනා කරන්නට වුණා. දවසක් දෙදෙනා ම මහ කැළයේ දුර ගමනයක් යාමට වුණා. ගමන යන අතරමඟ දී වළක වැටුණු කොටි දෙනක් පැටවුන් සමඟ වැටී සිටිනු දැක්කා. එම කොටි දෙන අධික ලෙස කුසගින්නේ සිටි අතර පැටවුන් කෑම සඳහා සැරසුණ බවක් මොවුන් දුටුවා. නමුත් තමන්ගේම පැටවුන් නිසා කොටි දෙන එහෙ මෙහෙ පෙරළෙන්නට විය. මේ බව දුටු ගුරුතුමා තම ගෝලයාට මෙසේ පවසන ලදී. "මම කෑමට යමක් සොයාගෙන එන්නම්. එතෙක් ඔබ කොටි දෙන පැටවුන් කෑමෙන් වළකාගන්න." යැයි පැවසුවා. ගුරුවරයා පිටත් වී හෝරා කිහිපයක් ගෙවී ගියත් එන පාටක් නොපෙනුණි. කොටි දෙනට බඩගින්න ඉවසන්නම බැරි වී තම පැටවුන් කෑමට සැරසුණාය. එවිට ගෝලයා (සිදුහත් බෝසතාණෝ ) මෙසේ සිතීය. "මා සසරේ බුදුබව පතා යන කෙනෙක්, ගුරුතුමා (මෛත්‍රී බෝධි සත්ත්වයන්) ද පැමිණීමට ප්‍රමාදයි. එමනිසා මා හට දාන පාරමිතාව සම්පුර්ණ කිරීමට මේ අවස්ථාව සුදුසුයි."මෙසේ සිතා "උතුම් වූ සම්බුද්ධත්වය ලැබේවා කියා ප්‍රාර්ථනා කොට, මාගේ ශරීරය මේ කොටි දෙනට අහාරයක්ම වේවා! මේ පැටවුන් කොටි දෙනට අහාරයක් නොවේවා!" යයි පවසමින් වළට පැන කොටි දෙනට ගොදුරු විය.

ටික වේලාවකට පසු මෛත්‍රී බෝධි සත්ත්වයෝ අහාරයට යමක් සොයාගෙන එතැනට පැමිණියේ ය. නමුත් ගෝලයා පෙනෙන්නට නොසිටියේ ය. වළ දෙස බැලූ විට තම ගෝලයාගේ ඇඳුම් දක්නට ලැබුණි. සිදු වී ඇති දෙය වටහාගත් මෛත්‍රී බෝධි සත්ත්වයෝ තම නුවණින් බැලූ විට ගෝලයාගේ ප්‍රාර්ථනාව දුටුවේය.

මා ඊළඟට බුදුවීමට සිටියත් මේ කළ පින නිසා ඉක්මන් බුදුන් බුදු වේවායි! ප්‍රාර්ථනා කළහ. එමනිසා මේ භද්‍ර කල්පයේ හතරවැනි බුදුන් වහන්සේ ලෙස මිනිස් ආයුෂ අඩුම කාලයක සිද්ධාර්ථ බෝධි සත්ත්වයෝ බුද්ධත්වය ලැබීය.

තවද ගෞතම බුද්ධ ශාසනයේ ධූතාන්ගදාරින් අතරින් අග්‍ර, මහා කාෂ්‍යප රහතන් වහන්සේ භාවනා යෝගීිව සිටින අවස්ථාවේ දකිනවා තමන්ගේ ආයුෂ අවසන් බව. පිරිනිවන් පාන්න කාලය උදාවි ඇති බව.

කොහෙද? කොහොමද? මා පිරිනිවන්පාන්නේ කියා උන්වහන්සේ දිවැසින් බැලීය. පෙර සසරේ කල්ප ගාණකට පෙර සිදුවීමක් උන්වහන්සේ දකින අතර, ඒ සිදුවීමට අනුව උන්වහන්සේට පිරිනිවන්පාන්න තියෙන්නේ වෙනම ක්‍රමයකටය. ඒ සිදුවීම තමයි. කල්ප ගාණකට පෙර පාරමි පුරන කාලයේ එදා රජ්ජුරුවෝ හැටියට සිටියේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේය. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇත්ගාලේ සිටි ඇත්ගොව්වාය. එදා හස්තියා ලෙස මහ කාශ්‍යප රහතන් වහන්සේ එම ආත්ම භාවයේ උපත ලැබ සිටියේය.

දවසක් රජ්ජුරුවෝ ඇත් ගාලේ සිටි ඇත්ගොව්වාට කතාකර මෙසේ පැවසීය. "මට නගරයේ වීදි සංචාරය කිරීමට අවශ්‍ය බැවින් ඔබේ ඇත් ගාලේ සිටින කීකරුම හස්තියා සුදානම් කරන්න." ඇත් ගාලට පැමිණි ඇත්ගොව්වා එහි සිටින කීකරුම හස්තියාව සර්ව ආභරණයෙන් සරසා රජු වෙත රැගෙන ගියේය. රජූ ඇතා පිට නැඟ නගරයේ වීදි සංචාරයට පිටත් විය. මෙහෙම යනකොට මේ හස්තියට ඒ අවට ඇති වනාන්තරයේ ඇතින්නියකගේ සුවඳ ආග්‍රහණය විය. එම සුවඳින් මඳ කිපුණු හස්තියා කුලප්පු වී කැළෑව තුළට දුවන්න විය. රජුට හා ඇත්ගොව්වාට ඇතා පාලනය කරගැනිමට නොහැකි විය. රජු අසළ ඇති ගසක එල්ලී තම ජීවිතය බේරා ගත්තේය.

රජුට මේ සිදුවීම නිසා ඇත්ගොව්වා කෙරෙහි දැඩි කේන්තියක් හට ගත්තේය. වහා ඇත්ගොව්වා මාළිගයට කැඳවා මෙසේ පැවසීය.

"මා ඔබට කීවේ කීකරුම හස්තියා මා හට රැගෙන එන ලෙසයි. නමුත් ඔබ දුන්නේ මේ වගේ හස්තියෙක්. එම නිසා අද මම ඔබට දැඩි දඩුවම් පමුණුවනවා."

ඇත් ගොව්වා රජු ඉදිරියේ වැඳ වැටුණි. "අනේ රජතුමනි, මා හට දවස් හතක් කල්දෙන්න. මම ඔබතුමාට පෙන්වන්නම් මේ ඉන්නේ කීකරුම හස්තියා බවට. මා ඔබතුමා ඉදිරියේ ඔප්පුකරම පෙන්වන්නම්." යැයි පැවසීය. රජු විසින් ඔහුට දවස් හතක කාලයක් ලබාදුණි.

දවස් තුන හතරකට පසු ඇතා මාළිගාවට පැමිණියේය. ඇත්ගොව්වා හස්තියාවත් රැගෙන රජු ඉදිරියේ පෙනී සිටියේය. "රජතුමනි, මට දැන් අවසර දෙන්න ඔබවහන්සේට මේ ඇතාගේ කීකරු බව පෙන්වීමට." රජු අවසර දුන්නේය.

ඇත්ගොව්වා හස්තියාට අණ කරන සෑම දේම කියපු ආකාරයෙන්ම කර පෙන්වීය. ඉන්පසුව ඇතාගේ වේදනාව ඇතිවන තැන්වලට හෙණ්ඩුවෙන් ඇන්නේය. එය ද ඉවසා දරාගෙන ඇතා සිටියේය. අවසානයේ ගින්දර දමා යකඩයක් ගිනියම් වෙනකම් රත්කර ඇතාට එම යකඩය හොඬෙන් අල්ලන ලෙස අණ කළේය.

ඇතා දැස්වලින් කඳුළු වගුරවමින් එම රත්වුණු යකඩය හොඬෙන් ඇල්ලීය. එවිට චිටි චිටි ගා හොඬවැල පිළිස්සෙන්නට විය. රජු කලබල වී, "ඇති ඇති දැන් ඔය වැඩේ නවත්වන්න" යැයි අණ කළේය. ඇතාගේ කීකරු බව පෙන්වු ඇත්ගොව්වා දඬුවමින් නිදහස් විය.

මේ විස්තරය දිවැසින් දකින මහා කාශ්‍යප රහතන් වහන්සේ අනාගතයේ දී මේ කර්ම විපාකය මෛත්‍රී බුදුන්වහන්සේට පලදෙන්නේ උන්වහන්සේ බුදුබව ලැබූ විට බව පෙනී ගියේය. එම කර්මය විපාක දෙන්න නම් තමන්ගේ දේහය පැවතිය යුතුය. එම නිසා කුක්කුඨ සම්පාත පර්වතය තුළ ගල් පතුරු තුනකින් වැසී තමන්ගේ දේහය පවතින ලෙස අධිෂ්ඨාන කළේය. අදටත් මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශ්‍රී දේහය, අද ගුරුපා කඳුමුදුන නමින් හඳුන්වන ස්ථානයේ සුරැකිව පවතියි. එම පර්වතය නැවත විවර වන්නේ මෛත්‍රී බෝධි සත්ත්වයෝ මේ ස්ථානයෙන් සංඝයා පිරිවරාගෙන වඩින කොටයි. බුදුන්වහන්සේ සංඝයාට පෙන්වනවා, "මහණෙනි මේ පර්වතය ඇතුළේ ගෞතම බුදුන්වහන්සේගේ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේගේ දේහය තාම ඒ ආකාරයෙන්ම පවතිනවා."කියා. සක්‍ර දේවයන් පනවපු ඇඳ මත කාශ්‍යප මහා රහතන් වහන්සේ පිරිනිවන් පාලා එදා ඇඳේ හතර කොනේ දල්වපු පහන් තාම දැල්වෙන බව පවසයි. නමුත් එම සංඝයා අතර සිටින කෙළෙස් සහිත භික්ෂූන්ට සැක ඇතිවෙයි. ඔවුන් එය පිළිනොගන්නේය. "මෙච්චර කාලයක් කෙසේ ඔය දේහය පවතින්ද?" යැයි සිතින් සිතන්නේය. ඒ අවස්ථාවේ සෘධිබල ඇති රහතන් වහන්සේලා මෛත්‍රී බුදුන්ට මෙසේ පවසයි. "තතාගතයන් වහන්ස සංඝයාගේ සැක දුරුකිරීමට සුදුසු කාලයයි."

එවිට බුදුන්වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තය මෙම පර්වතය දෙසට දිගු කරයි. එසැණින්ම පර්වත තුන විවර වී මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය ආකාසෙට පැණ නැඟ ටික ටික මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩ අල්ලේ ගැවී නොගැවී මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය දැවෙන්නට ගන්නේය. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුන්වහන්සේගේ ශ්‍රී හස්තයටය. ඒ දේහය අදාහනය වෙන අවස්ථාවේ නිකුත් වන ගිනිදැල්වලින් මෛත්‍රී බුදුන්වහන්සේගේ අල්ල පිච්චි ගොස් දිය පට්ටයක් හටගන්නේය. පිරිනිවන් පානකම් ඒ වේදනාව විටින් විට බලවත් වෙමින් ඒ තුවාලයෙන් මෛත්‍රී බුදුන්වහන්සේ වේදනා විඳින්නේය. ඒ අර කල්ප ගාණකට පෙර ගිනියම් වූ යකඩයක් හස්තියාට ඇල්ලීමට දුන් අකුසල විපාකයේ ප්‍රථිපලයකි.

බුද්ධ පරිනිර්වාණය ද එම හේතුව නිසා වන බව සඳහන් වේ. බුදුන්වහන්සේටත් අකුසල කර්මයෙන් මිදීමට නොහැකි නම් අප විසින් සිදුකරන යම් අකුසල කර්මයක් නිසා සතර අපායකට වැටුණොත් ඔබට මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයත් මඟ හැරීයාමට පුළුවන්. එමනිසා සියලුම පින්වතුන් මේ ධර්මය වටහාගැනීමට උත්සාහ ගන්න. තාමත් ඔබට දුකින් මිදීමට කාලය තිබේ.

 

සිතුවම - චාම් නිර්මාන්