වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔබේ ජංගම දුරකථනය නිරයට යන මාර්ගයක් විය හැකියි
අද සමාජයේ ඇතැම් දෙනා කොතරම් දුස්ශීල වුණත් තවමත් අධර්මය ප්‍රබල ලෙස එළියට නොඑන්නේ ධර්මයේ ශක්තිය නිසාමයි.
ධර්මය නැත්නම් තම මාපියෝ පවා නොහඳුනන සමාජයක් තමා දක්නට ලැබෙන්නේ. අද අම්මා, තාත්තා කියා කටපුරා ගෞරවයෙන් කතාකරන්නේ ධර්මයේ ඇති හරයන් නිසාමයි. මිනිසුන්ට ඉතිරිව ඇත්තේ තව ටික කාලයයි. හරියට පහන් දැල්ල නිවී යන්න ආසන්න වෙනකොට තීරයේ එළිය වැඩිවෙනවා සේ බෞද්ධ දර්ශනය සෑම තැනකින්ම අසන්නට දකින්නට ලැබෙනවා. පින්වතුනි, ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. පුළුවන් තරම් කුසල් දහම් වඩන්න. පොඩි හරි පිළිසරණක් ඇත්තේ දිව්‍ය තලයක ලබාගන්නා උප්පතියකින් පමණයි.
ඉස්සර රජවරු රුවන්වැලි මහා සෑ භුමියට පැමිණෙන විට සිය ඔටුන්න පවා ගලවා, ආයුධ බිම තබා පැමිණයි වන්දනාමාන කළේ. අද චෛත්‍ය බෝධිය දකිද්දී කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ දුරකථනය තමයි උස්සන්නේ. දෙයියනේ ඇත්තටම පව් සිද්ධ කර ගන්නවා. කිසිම ශ්‍රද්ධාවක් නැහැ හිත්වල. එහෙම දෙයක් ඔබ තුළින් සිද්ධ වී ඇත්නම් අදම සෑය ඉදිරියට ගොස් නොදන්නා කමට සිද්ධවන පව්වලට සමාවගන්න.
පුළුවන් තරම් දුරකථනවලින් ජරාව බල බලා ඒ දුරකථනයෙන්ම චෛත්‍යයේ බුදුන් වහන්සේගේ පිළිමවල පින්තූර ගන්නවා. ඊට පස්සේ ඒ පින්තූරු ෆෝන් එකේ ඉස්සරහට දාගෙන ෆෝන් එක පිටිපස්සේ සාක්කුවල දමාගන්නවා. කොච්චර පව් පුරවගන්නව ද? තුනුරුවන්ට අගෞරව කරන්න එපා. ගරුකරන්න.
පින්වතුනි, ඔබේ අතින් අනන්තවත් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. ඒත් තාම අවස්ථාව තියෙනවා වැරැදි නිවැරැදි කරගන්න. කරපු පව් වැඩ ගැන දුක් වෙව් පසුතැවෙන්න එපා. තතාගතයන් ගේ ශ්‍රී පතුල වන්නදනාමාන කරනවා කියා සිතා සෑය ඉදිරියේ බිම වැතිර සමාවගන්න. ආයෙත් එම වැරැදි කරන්න එපා. මේ සසරේ භයානක බව නිතර නිතර සිහිකරන්න. බලන්න අංගුලිමාල, මිනිසුන් නවසිය අනු නවයක් මැරුවත් සසරෙන් එතෙර වුණා. අම්බපාලි වැනි නගර සෝබනියන් පවා මේ සසරෙන් එතෙර වුණා. බොරු කිය කියා හිටිය අන්‍යාගමිකයන් පවා ධර්මයේ සරණින් එගොඩ වුණා. එච්චර වැරැදි කරපු අය පවා ගොඩ ගියා නම් හිතන්න ඔබට කොච්චර අවස්ථාවක් තාම තියෙනවා ද කියා.
පින්වතුනි, වැරැදි නිවැරැදි කරගන්න ක්‍රම තුනක් තියෙනවා. පළමු වෙන්ම පරණ වැරැදි අමතක කරන්න. දෙවැනි කරුණ තමා හිතට පිළිකුල් දේවල් එනවා නම් චී චී කියලා අමතක කරන්න. තුන්වැනි දේ තමා තමන්ගේ අඩු පාඩු නිවැරැදි කරගන්න. රාග සිතුවිලි එනවා නම් බ්රහක්මචාරි ජිවිතයක් ගත කළ කාශ්‍යප මහ රහතන් වහන්සේව සිහි කර පහනක් දල්වන්න. ඔබට ඒ වෙනස තේරෙයි. ඔබේ අතින් නිතර නිතර අඩු පාඩු වෙනවා නම් මිනිසුන් දහස් ගාණක් මරා හිත දමනය කරගෙන සියලුම දේ අමතක කර උතුම් වූ රහත්භාවය ලැබූ අංගුලිමාල මහ රහතන් වහන්සේව සිහිකර පහනක් දල්වන්න.
අද ඔබ පහන් දල්වන්නේ අවි අයුධ දරාගත්ත අයටනේ. ඔය හැමදේම ගලවලා දාලා බුදුන්සරණ යන්න. ඔබ හෙට මැරුණත් සුගතියේමයි උපදින්නේ.
පින්වතුනි, ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥාා දියුණු කරගන්න. භග්‍යවතුන් වහන්සේගේ නිර්මල දහම පමණක්ම අහන්න. අද මුලාව වැඩියි. විවිධ අය රහත් වූවාය කියා ඔවුන්ගේම ධර්මයක් දේශනා කරනවා. පින්වතුනි, රහතන් වහන්සේලා බණ කිව්වෙත් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක කියායි. ආනන්ද මහ රහතන් වහන්සේ පවා ධර්මය දේශනා කළේ මා විසින් මෙසේ අසන ලදී කියායි. අද ධර්මය පවා විකෘතිකර දේශනා කරන තැන් තියෙනවා. ඒ නිසා ධර්මය ඇසීමේ දී පරෙස්සම්වන්න.
අද මිනිසුන් සිදුකරගන්නා තවත් විනාශයක් තමා කේන්දර පසු පස යාම. බුදුන් සරණ අමතකයි. තමන්ට විශ්වාස කේන්දරේ කොටු ටික තමයි. කොහේ හරි තැනකට ගිහින් කේන්දරේ බලවනවා. ඔන්න ඉතින් කියනවා සෙනසුරු අපලයක් තියෙනවා කියා. ඊට පස්සේ කියනවා අපලය නැතිකර ගන්න බෝධියේ කොඩි ගැටගහන්න කියා. ඉතින් උපාසක අම්මලා කොඩි ගැටගහන්න ගිහින් බෝධියේ අතුත් කඩනවා. ඊට පස්සේ ඕක කොහොම හරි එල්ලනවා. අනේ මේ අම්මා දන්නෙ නෑ කරගන්න පවේ තරම. මේ කොඩි එල්ලන්නේ දෙවි, බඹුන් වන්දනා මාන කරන බෝධියේ කියා. අපල කෙසේ වෙතත් පව් නම් පුරව ගන්නවා.
අඩුම තරමේ සංඝමිත්තා තෙරණියවත් බෝධිය ස්පර්ෂ කළේ නැහැ. ස්ත්රීන්ට බෝධිය අල්ලන එක අකැපයි. මෙහෙම හිතන්නකෝ ස්වාමින්වහන්සේ නමක් ස්පර්ශ කරන එක ස්ත්‍රීයට කැපයි ද? මහණ වුණ අවුරුදු හතේ පොඩි හාමුදුරුවෝ අල්ලන්නවත් ස්ත්‍රීයකට කැප නැහැ. එහෙනම් සියලුම සංඝයා වන්දනාමාන කරන මේ බෝධිය අල්ලන්න කැප නැහැ පින්වතුනි. අඩුම තරමේ බෝධි වෘක්ෂයට කකුල් ඉදිරියට දමා ඉඳගැනීමවත් සුදුසු නැහැ. නොදන්න කමට කොච්චර පව් රැස් කරගන්නව ද? මේ දේවල් කර නිරයට පාර කපාගන්න එපා.
බෝධි පුජාවක් වුණත් හරියට කරන්න ඕනේ බෝධිය ස්පර්ෂ නොකොට. මුලින්ම බෝධි මළුව හොඳට ශුද්ධකර, මල් ආසන පිරිසිදුකර, මළුව හොඳට අතුගා අවට පිරිසුදු කරගන්න.
ඉන්පසු පහන් දල්වා, සුවඳ දුම් පුජා කර, මල් පූජා කර, ගෙදරින් සකසා ගත් ඖෂධ බෝධින් වහන්සේට පූජා කර, බෝ මළුවේ බෝධින් වහන්සේට කකුල් දික් නොකොර සුදුසු තැනකින් වාඩි වෙන්න.
ප්‍රථමයෙන් තුරුණුවන් සරණ ගහින් රතන සුත්‍රය, අංගුලිමාල පිරිත, බොජ්ජන්ග පිරිත, ගිරිමානන්ද පිරිත, ධම්මචක්කය සජ්ජායනා කරන්න. ඉන්පසු මෛත්‍රී භාවනාව සුළු වෙලාවක් වඩන්න. ඉන්පසු සත්‍යක් ක්‍රියාවක් කරන්න. එනම් බෝධින්වහන්සේ දඹදිව වජ්රාසනයේ පැන නැඟී මගේ බුදු සමිඳුන්ට සෙවණ සැලසු බව සත්‍යයි. සම්බුදුවන මොහොතේ සෙවණ සැලසු බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවණ සැලසූ බව සත්‍යයි. යමක මහා ප්රතිහාර්ය පාන මොහොතේ පාවඩයක් වූ බව සත්‍යයි. බුදුන්වහන්සේගේ නේත්‍ර කැල්මෙන් සතියක් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බඹුන් ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධින් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අශ්ඨපල බෝධින් වහන්සේලා වැඩ සිටිය බව සත්‍යයි. මේ බෝධියේ ආනුභාවය ඇති බව සත්‍යයි. මම ද ඔබවහන්සේට සියලුම පූජාවන් පිරිසුදු චේතනාවෙන් සිදුකර පින්රැස් කරගත් බව සත්‍යයි. මා රැස් කරගත් පින් බලෙන්, බෝධියේ අනුහසින් අහවල් ලෙඩා සුවපත් වේවා. ඖෂධ පුජා කරපු පින් බලෙන් සුවපත් වේවා. මාගේ පුතාට සෙත් වේවා. අධ්‍යාපනයට සෙත් වේවා. කියා අවසානයට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඔය විදියට කළොත් සෙත සැලසෙනවාමයි.
කවමදාකවත් බුදුන්වහන්සේ ඉදිරියට, බෝධි වෘක්ෂයට, චෛත්‍යට, දේශකයන් වහන්සේ ඉදිරියට කකුල් දාන්න එපා. අද බොහෝ ඇත්තන් කාය ශක්තියෙන් දුර්වලයි. එමනිසා පොඩි පුටුවක් පාවිච්චි කරන්න. ඔබගෙන් මෙවැනි පව් සිදු වී තිබෙනවා නම් අදම සමාව අරගන්න.
එක්තරා තරුණ ළමයි වගයක් ඇවිත් පැවසුවා. "ස්වාමින්වහන්ස, අපි පංසලේ පිළිම වහන්සේලාව ඖෂධ පැනින් දෝවනය කරා කියලා. මෙහෙමයි අපි මොනදේ කළත් හැමවෙලේම හිතන්න ඕනේ ජීවමාන බුදුන්වහන්සේට මෙය සිදුකළ හැකි ද කියා. ඔබගේ ගෙදර බුදු පිළිමය අපවිත්‍රවෙලා නම් බුදුන් වහන්සේගෙන් අවසර ගෙන සමාව අරන් සුවඳ පැනින් පිරිසුදු කරගන්න. පිරිසුදු රෙද්දක් ගෙන පිහිදාන්න. ඖෂධ පැන්, පූජා කීරිමට පමණක් යොදා ගන්න. එම නිසා මොන දේ කරන්නත් කලින් බුදුන්වහන්සේ ජීවමානව සිටිනවා නම් මේ දේවල් සිදු කරනවා ද කියා සෑම විටම කල්පනා කරන්න.
එක උපාසක මහත්තයෙක් ළමයින්ට අකුරු කියවන ආකරය පැහැදිලි කර දෙන්න කියා පැවසුවා. අද බොහෝ දෙනෙක් බුද්ධ ශාසනයේවත් නැති දෙවිවරුන් හෝ ඡායාරූප තබා, මෙම චාරිත්‍ර සිදුකරනවා. හරි දේ නම් ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේව සිහි කර, මතක ශක්තියෙන් අග්‍ර ආනන්ද මහ රහතන් වහන්සේව සිහි කර, තුන් ලෝකෙට සෙත සලසන තථාගතයන් වහන්සේව සිහි කර, ඒ තුරුණුවන්ට පහන් තියා, තරුණුවන්ගෙන් සෙත් පතා අකුරු කියවනවා නම් ශ්‍රේෂ්ඨයි.
මම දන්න ගෙදරක එක පිරිමි දරුවෙක් සිටියා ගොඩක් අකීකරු. මේ අම්මා මට හැම වෙලේම පංසලට අවාම මේ ගැන කියනවා. සමහර විට ඔබටත් ඉන්න පුළුවන් අකීකරු දරුවෝ මේ දේ කරන්න. බොහෝ අයට තිබෙන්නේ අමනුස්ස බලපෑම්. මේ දරුවාව රුවන්වැලි සෑයට යෑව්වා ගිහින් මහා සෑයට ජීවිතය පුජාකරන්න කියා. බිමට නොවැටෙන්න නොයිඳුල් පොල් ගෙඩියක් කඩාගන්න. මේ පොල් ගෙඩිය ලෙලි ගහන්නේ නැතිව කහ වතුරෙන් සෝදා, සුදු රෙද්දකින් ඔතා දරුවත් සමඟ මහා සෑයට ගොස් දරුවා අතේ තබා මෝර පිරිත, රතන සුත්‍රය, අංගුලිමාල පිරිත කැමැති වාර ගාණක් කියා.
සෑය වටේ තුන් වරක් ප්රදක්ශිනා කොට මගේ ජීවිතය මහා සෑයට බාරයි. තුණුරුවන්ට බාරයි කියා පොල් ගෙඩිය පූජා කරන්න. එවිට කිසිම දවසක අමනුස්සයන්ට එම දරුවට ජීවිත හානියක් කිරීමට නොහැකි වෙනවා. ගෙදර අවාමත් මාසයක් යනකම් මේ පිරිත් කියා මේ දරුවට සෙත් පතන්න. සෙත සැලසෙනවා ඒකාන්තයි. හැම ප්‍රශ්නයකටම ධර්මයේ සරණ තිබෙනවා. එම නිසා මිථ්‍යාවන් පස්සේ නොගොස් මේ නිර්මල දහමේ සරණම යන්න.
සිතුවම - චාම් නිර්මාන්
සටහන - මධුර ප්‍රභාත් ගමගේ
පූජ්‍ය
වැලිමඩ සද්ධාසීල
ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.