වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඕකිඩ් වගාවක දියුණුවට වෙළෙඳපොළ හඳුනාගැනීම වැදගත්
විශේෂයෙන්ම සෙවණ දැල්, කෘෂි ආරක්ෂිත දැල්, පාරජම්බුල කිරණ කපා හැරෙන පොලිතීන් සහ රාක්ක සැකසීමට භාවිත කරන අමුද්‍රව්‍යවල මිල තරමක් අධිකය.
ඕකිඩ් වගාවක් ආරම්භයේ දීම අපේ වෙළෙඳපොළ හඳුනා ගැනීමත් අත්‍යවශ්‍ය කටයුත්තකි. එනම් අප විසින් වගාකරන පැළ හෝ මල් ලබාදෙන්නේ කවුරුන් වෙතද යන්න පළමුව තීරණය කළ යුතුය.
මල් වගාව යනු අතමිට සරුකරවන කදිම ස්වයං රැකියාවකි. නිවෙසේ කටයුතු සහ දරුවන්ගේ දහසකුත් එකක් රාජකාරි මධ්‍යයේ වුවද කුඩාවට හෝ මෙවැනි වගාවක් කළහොත් ලැබෙන ප්රතිලාභ පුදුමාකාරය.
ඇන්තූරියම්, ඕකිඩ්, රෝස, ජර්බරා, විචිත්‍ර පත්‍රික ශාක ආදී වශයෙන් විවිධාකාරයේ මල් වගා අතරින් ඔබට පහසු සහ ඉහළ ආදායමක් ලැබිය හැකි වගාවක් තෝරා ගත හැකිය. එහිදී වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් සහ වටිනාකමක් සහිත ඕකිඩ් වගාව තෝරා ගත හැකි වුවද ඇතමුන් ඒ සඳහා බියක්, පසුබෑමක් දක්වන බව පෙනේ.
එබැවින් අද අපි දේශීය අවශ්‍යතා මෙන්ම අපනයනය උදෙසා උඩවැඩියා එහෙමත් නැතිනම් ඕකිඩ් වගා කිරීමට වැඩිදෙනකු පසුබාන කරුණු කාරණා හඳුනා ගනිමු.
විදෙස් රටවල සාර්ථකත්වය
ඕකිඩ් වගාවේ දී වෙනත් රටවල් ලබා ඇති දියුණුව සහ සාර්ථකත්වය මෙරටදී දක්නට නොලැබේ. ඊට හේතුව වන්නේ මහා පරිමාණ වශයෙන් මෙවැනි වගාවකට අවශ්‍ය පහසුකම්, තාක්ෂණය මෙන්ම දැනුම ද අප සතු නොවීමයි. මේ නිසා දැනට මේ ව්‍යාපාරයේ නිරතව සිටින බොහෝ දෙනකු ඉතා කුඩාවට වගාව කරගෙන යනු විනා විදෙස් ඇණවුම් සඳහා නොකඩවා මල් සැපයීම වැනි භාරදූර කටයුත්තකට අතගැසීමට මැළිකමක් දක්වති.
ඕකිඩ් පැළ ආනයනය
මෙරට ඕකිඩ් වගාව සඳහා යොදා ගන්නා බොහොමයක් මවු ශාක ආනයනය කරනු ලබන්නේ විදෙස් රටවලිනි. නමුත් මෙලෙස ගෙන්වා ගන්නා ඇතැම් ප්‍රභේද මෙරට දේශගුණික තත්ත්ව සඳහා නොගැළපේ. එවිට සිදුවන්නේ වියදමක් දරා ගෙන්වාගත් පැළ මියයාම හෝ මවු ශාකවල ගති ලක්ෂණ නොමැතිවීමයි. එබැවින් ඕකිඩ් පැළ ආනයනයට ප්‍රථම ඒවා මෙරටට ගැළපෙන, නොගැළපෙන බව සොයා බලා සුදුසු ප්‍රභේද පමණක් තෝරා ගත යුතුය.
සුදුසු වර්ග හඳුනා ගැනීම
දේශීය, විදේශීය වශයෙන් මෙන්ම මෙරට විවිධ ප්‍රදේශවල දේශගුණික තත්ත්වල වෙනසට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගැනීමත් ඉතා වැදගත්. මන්ද ශීත දේශගුණයේ හොඳින් වැඩෙන ඕකිඩ් ප්‍රභේද වියළි කලාපීය පරිසරයට ඔරොත්තු නොදෙයි. එබැවින් වගාවක් ආරම්භ කිරීමට පළමුව තම ප්‍රදේශයේ දේශගුණික තත්ත්ව වලට ගැළපෙන ප්‍රභේද පමණක් තෝරා ගන්නට වගබලාගන්න.
වෙළෙඳපොළ අවශ්‍යතා හැඳිනීම
සාමාන්‍යයෙන් ඕකිඩ් වගාවක් ආරම්භයේ දීම අපේ වෙළෙඳපොළ හඳුනා ගැනීමත් අත්‍යවශ්‍ය කටයුත්තකි. එනම් අප විසින් වගාකරන පැළ හෝ මල් ලබාදෙන්නේ කවුරුන් වෙතද යන්න පළමුව තීරණය කළ යුතුය. මන්ද මෙරට වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන ප්‍රභේද ඇතැම්විට විදෙස් වෙළෙඳපොළ ප්‍රතික්ෂේප කළ හැකියි. එබැවින් අප දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා මෙන්ම විදෙස් වෙළෙඳපොළ ඉල්ලුම ද සලකා බලා ඒ අනුව සුදුසු ප්‍රභේද වෙන්කර හඳුනා ගත යුතුය. එසේ හඳුනා නොගෙන මල් සැපයුම් ලබාදීමෙන් ඇණවුම් ප්‍රතික්ෂේප වීම නිසා ඕකිඩ් වගාව අතරමඟ නවතා දැමු අයද සිටිති.
අමුද්‍රව්‍ය මිල අධික බව
සාර්ථක ඕකිඩ් වගාවක් සඳහා අවශ්‍ය විවිධ උපකරණ සහ අමුද්‍රව්‍ය තරමක් මිල අධික වේ. විශේෂයෙන්ම සෙවණ දැල්, කෘෂි ආරක්ෂිත දැල්, පාරජම්බුල කිරණ කපා හැරෙන පොලිතීන් සහ රාක්ක සැකසීමට භාවිත කරන ද්‍රව්‍යවල මිල තරමක් අධිකය. එබැවින් ඕකිඩ් වගාවට කැමැත්තක් තිබුණද ප්රාග්ධනයේ හිඟකම නිසාම මෙවැනි වගාවකට අතගැසීමට පසුබාන බව පෙනේ.
පොහොර සහ කෘෂි රසායන
ඕකිඩ් ගසක් හොඳින් වර්ධනය කරගන්නට පොහොර, කෘෂි රසායන ආදිය යෙදිය යුතු වේ. මේවායේ මිල බෙහෙවින් අධිකය. එමෙන්ම ඇතැම් කෘමි සහ දිලීර උවදුරු සඳහා භාවිතකරන සුදුසුම රසායනික ද්‍රව්‍ය මෙරට වෙළෙඳපොළ තුළ දැකිය නොහැකිය. එය ද මේ මල් වගාවේ පසුගාමීත්වයට හේතුවකි. නමුත් සිංගප්පුරුව වැනි මල් වගාවේ සාර්ථකත්වය ලැබූ වෙනත් රටවල් ගුණාත්මකබවින් ඉහළ විවිධ පොහොර, විටමින්, කෘෂි රසායන ආදිය තම මල් වගාවට සපයනු ලබයි. එමඟින් ඔවුන් ඉහළ අස්වැන්නක් ද ලබාගනියි. එමෙන්ම වගාවට අවශ්‍ය ආකාරයේ පොහොර සහ රසායනික ද්‍රව්‍ය සකසා ගැනීමේ දැනුම ද ඔවුන් සතුය. නමුත් මෙරට මල් වගාකරුවන් දැනුමෙන්, හැකියාවෙන් පරිපූර්ණ වුවද අමුද්‍රව්‍ය ආදිය නොමැතිකම නිසා තවත් කෙනකු මෙරටට ගෙන්වන පොහොර, බෙහෙත් ආදියෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ.
උපදෙස්
සුමුදු ඕකිඩ්ස් හි
ජයන්තිමාලා එදිරිසිංහ