යුද්දෙට බය නැති කාන්තාවෝ

ජනවාරි 10, 2022

 

කළේ පැන් ඇත. නැවුම් රහ නැත.

මොකද මන්දා ළිඳට වූයේ

පුළුස්සාගත් රොටිය කරවී

මොකද මන්දා ළිපට වූයේ

හදාගත් ලුණු මිරිස රහ නැත

මොකද මන්දා දිවට වූයේ....

 

පුරුදු නිවහන නුහුරු වී නම්

කාට මේ ගැන කියන්නෙම්

කාට මේ ගැන කියන්නෙම් මම

බිරින්දෑ නෑ ගම් ගොහින්....

බවලතා මොන තරම් බලවන්තද ? ගෘහයේ නො නිල ගෘහ මූලිකාව, බලවන්තිය ඇයයි. ඔහු නැති අඩුවට වඩා ඇය නැති අඩුව කුටුම්බයට දැනෙන්නේ ඒ නිසයි.

ගැහැනිය දුර්වලයි කියා කට වචනයට පැවසුණ ද කටුවලින් සවිමත් වුණු රෝස මලක් සේ ඇය දිරියෙන් සන්නද්ධය. මේ දිරිය ගතේ සවිය පරදා නැඟී සිටියි. යුද හමදාවක සවිය එක් කාන්තාවක සතුව ඇත.

යුද්ධයෙන් වඩාත් අසරණ වන්නේ කාන්තාවන් හා දරුවන් බව‍ට මතයක් පැවතුණත් කාන්තාවට යුද බිම තහනම් අඩවියක් කළත් රණ බිම, කෙළි බිමක් කරගත් කාන්තාවෝ ද සිටිති. ඔවුන් ගතේ බලයට වඩා සිතේ බලය ඇති අයයි. හැඩි දැඩි පිරිමින් තමන් ඉදිරියේ දණ ගස්වන විස්මිත ලෝකයේ දරුණුම සෙබළියන් සිටින්නේ නෝර්වේ දේශයේය. කාන්තාවන්ට පමණක් සීමාවූ ලොව ප්‍රථම විශේෂ බලකා වැඩසටහන 2017 සිට ක්‍රියාත්මක වන්නේ එරටයි. මුලින් ම මේ ඒකකයට අයදුම් පත් 220 ක් ලැබුණ ද තෝරා ගෙන ඇත්තේ 11 දෙනකු පමණයි. දඩයම් ඒකකය මෙහි නාමය යි.

නෝර්වේ හමුදා බලකායට කාන්තා විශේෂ බලකායක අගය දැනුණේ ඇෆ්ගනිස්ථානය සමඟ යුද වදිද්දීය. ඇෆ්ගනිස්ථානු පිරිමි හමුදාවට කාන්තාවන් සමඟ යුද වැදීම සපුරා තහනම් ය. එනිසා යුද්ධයෙන් ජය ලැබීමේදී කාන්තා සෙබළියන් යොදා ගැනීම යුද උපක්‍රමයකි. මීට තවත් හේතුවක් තිබෙයි. නෝර්වේ පිරිමි හමුදාව විසින් බේරාගනු ලබන ගොඩනැඟිලිවල සිටින කාන්තාවන් හා දරුවන් රැක බලා ගැනීමේ වගකීම පිරිමින්ට වඩා හොඳින් කළ හැක්කේ කාන්තාවන්ට ය.

යුද බිමේ පැතිරුණු පිරිමි ආධිපත්‍ය බිඳ දමමින් පිරිමින්ට පමණක් පිරිමින් විසින් සීමාකර තිබූ වෘත්තියක අවස්ථාව ලබා දුන්නොත් තමන්ට ද නිරත විය හැකි බව නෝර්වේ රටේ අයෝමය ධවල කතුන් පෙන්වීය. පිරිමින් හා සමාන ම බරක් මොවුහු උරපිට පටවා ගෙන යති. මොවුන් උසුලාගෙන යන බර රාත්තල් සියයකට වැඩි ය. සම්මුඛ පරීක්ෂණයේදී සෙබළියන් ලෙස අයදුම් කළවුන්ට රාත්තල් 60 ක් බර ආම්පන්න කට්ටලයක් ඔසවා ගෙන මිනිත්තු 52 කදී සැතපුම් හයක් දුර දිවීමට සිදුවිය.

විශේෂ බලකායට සම්බන්ධ වූ ඇතැම් සෙබළියෝ සීයා ගේ, පියා ගේ අඩිපාරේ ගමන් ගන්නා අයයි. පරම්පරා උරුමය රැක ගැනීමට දියණියක වීම බාධාවක් නො වන බව ඔවුන් ඔප්පුකර තිබෙයි. පිරිමි සෙබළුන් ට වඩා ඉලක්කයට වෙඩි තැබීමට සමත්කම් පාන්නියන් ද මේ අතර නැත්තේ නො වෙයි.

නෝර්වේ සෙබළියන්ට නිදන පැය ගණනට වඩා නො නිදන පැය ගණන වැඩිය. පුහුණුවේදී පැය 48 ක් පුරා නින්දක් ලබා නො ගැනීමට වරම් නො ලැබෙන අවස්ථා ඔවුනට තිබෙයි. කිලෝමීටර් 30 ක දුරු කතරක් ගෙවා ඇවිදීමට සිදු වෙයි. ඔවුන් පිරිමි සෙබළුන් සමඟ කරට කර පුහුණුවක් ලැබිය යුතුය.

ගැහැනුන් දෙදෙනකුට එකට වාසය ‍කළ නො හැකියැයි ඇතැම් විට ගැහැනියක විසින්ම පැවසුවත් නෝර්වේ සෙබළියන් එකිනෙකාට පිහිට වන්නේ පිරිමි සගයන් පරදවමිනි.

දැන් කාන්තා විශේෂ බලකා ඒකකයට වසරකට ලැබෙන අයදුම්පත ගණන තුන්සියය ඉක්මවයි. බලධාරීන් පවසන්නේ කලින් වසරවලදීට වඩා අයදුම්කරන්නියන් හොඳ සූදානමකින් පැමිණෙන බවයි.

චීන හමුදාවෙන් සියයට පහක් පමණ ද ඉන්දියාවේ සියයට තුනක් පමණ ද උතුරු කොරියාවේ සියයට හතළිහක් පමණ ද  දකුණු කොරියාවේ සියයට හතක් පමණ ද එක්සත් රාජධානියේ සියයට දහසයක් පමණ ද රුසියාවේ සියයට දහයක් පමණ ද සිටින්නේ කාන්තාවන් ය. ගිනි බටය අතට ගත්ත ද ගැහැනු කම සමඟ උරුම වුණු සොඳුරු බව සඟවාලිය නො හැකිය. රෝස මලේ කටු තිබුණ ද මලේ සුන්දරත්වය ලොවට වසන් කරන්නේ කෙසේද ?

ලොව සොඳුරුම කාන්තා හමුදාවන්ට උරුමකම් කියන්නේ රෝමේනියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ග්‍රීසිය, ඊශ්‍රායලය, පාකිස්තානය, බ්‍රිතාන්‍ය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, අමෙරිකාව යන රටවල් ය.