වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔබේ මුව ගැන ආඩම්බර වන්න
අප කණ්ණාඩියක් අසලට ගොස් දත් තිස් දෙක ම පෙන්වා සිනා සෙන්නේ සිනාවෙන් මුහුණ එළිය වැටෙන හැටි බලන්න තියෙන ආසාවටයි. ඒ හැරුණු විට අපට දත් ගැන සිහි වන්නේ උසුලා ගැනීමට බැරි තරම් දත් කැක්කුමක් දැනුණු විටයි. “දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ? “ කියමන දැන් බොහෝ දෙනකුට අමතක වෙලා ගිහින්.
ආහාරයක රස දිවට හොඳින් දැනෙන්නේ දතින් මැනවින් සපා කන විටයි. මුව මුළු සිරුරේම සුවසෙතේ කැඩපත බව වැඩි දෙනකු දන්නේ නැහැ.
මුව සහ සකල ශරීර සෞඛ්‍යය අතර ඇති සම්බන්ධය කුමක්ද ?
මුව අපේ ආහාර මාර්ගයේ දොරටුවයි. ස්වසන මාර්ගයටත් මේ දොරටුව සම්බන්ධයි. මුවේ බැක්ටීරියා බිලියන 6 කට වැඩි ගණනක් ජීවත් වෙනවා. බැක්ටීරියා විශේෂ 700 කට වඩා වැඩි ගණනකට අපේ මුව පාරාදීසයක්. මින් වැඩි ගණනකින් අපට හානියක් වන්නේ නැහැ. ඒත් ලෙඩ රෝග ඇති කරන හානිකර බැක්ටීරියා සුළු ගණනක් ද ඉන්න බව අප අමතක නො කළ යුතුයි. ස්වාභාවිකව ම මේ බැක්ටීරියාවන් ට එරෙහිව සිරුරින් යම් රැකවරණයක් ලැබෙනවා. ඒත් අප නිසි ලෙස සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන නො ගියොත් ඒ බැක්ටීරියා නිසා රෝගී වන්න පුළුවන්. දිනකට දෙවරක් උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදිය යුත්තේ, දත් අතර රැඳුණු ආහාර කැබලි ඩෙන්ටල් ෆ්ලොස් මඟින් ඉවත් කළ යුත්තේ ඒ නිසයි. අහිතකර බැක්ටීරියා වැඩිවූ විට දත් හා විදුරුමස් රෝග ඇති වීමේ අවදානම වැඩි වෙනවා. වේදනානාශක, අසාත්මිකතාවලට දෙන ඇතැම් ඖෂධ, විෂාදය වළක්වන ඔසු ආදී සමහර ඔසු මුවට ඛේඨය ඉරීම අඩු කරනවා. ආහාර ජීර්ණයේ මුල් පියවරේදී ඛේඨයෙන් වැදගත් කාර්ය භාරයයක් ඉටුවෙනවා. මුවේ සිටින බැක්ටීරියා මඟින් නිපදවන අම්ල උදාසීන කිරීම ද මෙමඟින් සිදු වෙනවා. එය අපේ මුඛයේ ආරක්ෂාවට සිදු විය යුතු ම ක්‍රියාකාරකමක්.
දත් හා විදුරු මස් රෝගී වීමෙන් ඇතිවීමට පුළුවන් වෙනත් රෝග තත්ත්ව
එන්ඩොකාඩයිටිස් -
හදවතේ කුටීරවල හෝ කපාටවල ඇතුළත පටලයේ ඇතිවන ආසාදන තත්ත්වයක්. මුඛය පිරිසුදුව තබා නො ගත්තොත් එහි ජීවත්වන අහිතකර බැක්ටීරියා හා අනෙක් ක්ෂුද්රජීවීන් රුධිර ධාරාවට එක්වී හදවතේ කුටීරවල හෝ කපාටවල ආසාදනයක් ඇතිවන්න පුළුවන්.
හෘද නහර අවහිර වීම -
මෙසේ වීමෙන් හදවත් රෝග සහ ආඝාතය ( ස්ට්‍රොක් ) සෑදීමේ අවදානම වැඩි වෙනවා. මුඛයේ අහිතකර බැක්ටීරියා නිසා ඇතිවන ප්‍රදාහ, ආසාදන මීට හේතුවන්න පුළුවන්.
ගර්භණී වියේ සංකූලතා -
නොමේරූ දරු උපත් හා අඩු බර දරු උපත් සමඟත් විදුරුමස් රෝග සම්බන්ධයි. තදබල ලෙස විදුරුමස් රෝගවලින් පීඩා විඳිනවා නම් නොමේරූ දරු උපත් හා අඩු බර දරු උපතක් සිදුවීමට ඇති ඉඩ වැඩි වෙනවා.
නියුමෝනියා -
මුවේ ජීවත්වන සමහර බැක්ටීරියා පෙණහලුවලට ගොස් නියුමෝනියා ඇතුළු ස්වසන රෝග හට ගන්න පුළුවන්.
මුඛ රෝග නිසා වෙනත් රෝග ඇතිවීමට වගේම වෙනත් රෝග ද මුවේ සුවතාවට බලපානවා. යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්නවා නම් වෙනත් රෝගවලින් දත් හා විදුරුමස්වලට ඇතිවන බලපෑම අවමකර ගන්න පුළුවන්.
මුවට වින කරන වෙනත් රෝග
දියවැඩියාව -
සිරුර රෝගවලින් ආරක්ෂාකර ගැනීමේ හැකියාව දියවැඩියාව වැලඳීමත් සමඟ ගිලිහී යනවා. විශේෂයෙන් දියවැඩියාව සමඟ විදුරුමස් රෝග වැලඳීමේ අවදාන ම වැඩි වෙනවා. දියවැඩියා රෝගීන් අතර විදුරුමස් රෝග සුලබ මේ නිසයි.
එච්අයිවී / ඒඩ්ස් ආසාදිතයන් අතර මුඛ සෞඛ්‍ය ගැටලු ඉතා සුලබය.
ඔස්ටියෝපොරෝසිස් -
අස්ථි දුර්වල කරන ඔස්ටියෝපොරෝසිස් රෝගය හා විදුරු මස් අස්ථි සහ දත් අහිමි වීමේ සබඳතාවක් පවතියි.
ඇල්ෂයිමර් රෝගය -
මේ රෝගය උත්සන්න වන විට මුඛ සෞඛ්‍ය පිරිහෙන බව පෙනීගොස් තිබෙනවා.
මුව නිසා ගතත් ගත නිසා මුව නිසා ගතත් රෝගීවීමට මොනතරම් අවදානමක් තිබෙනවාද ? මේ කරුණුවලින් හෙළි වන්නේ මුඛ සෞඛ්‍ය පවත්වා ගෙන යාමේ වැදගත්කමයි.
අප ජීවත් වන්නේ වසංගතයක් පවතින කාලවකවානුවකයි. යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන යන්නේ නැත්නම් කෝවිඩ් - 19 වැලඳුණොත් වඩාත් දරුණු ලෙසින් බලපාන බව සොයා ගෙන තියෙනවා.
කොහොමද දත්, විදුරුමස් රැක ගන්නේ ?
දිනකට දෙවරක්වත් අඩු වශයෙන් දත් මැදිය යුතුයි. විශේෂයෙන් උදේට සහ සවසට දත් මදින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. දත් මැදීම ආවාට ගියාට නොව මිනිත්තු දෙකක්වත් වැය කරමින් ක්‍රමානුකූලව කළ යුතුයි. මෘදු කෙඳි ඇති දත් බුරුසුවක් තෝරා ගන්න. අනිවාර්යයෙන් ම ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදිය යුතුයි. දත් අතර රැඳි ආහාර කැබැලි ඩෙන්ටල් ෆ්ලොස් මඟින් ඉවත් කළ යුතුයි. සමබල ආහාර ගැනීම දත්වල සුවයට වාගේම දත්වල සුවයටත් බලපානවා. කෙතරම් හොඳින් දත් මැද්දත් දත් මදින බුරුසුවේ කෙඳි ඈත් වෙලා නම් මැදීමෙන් නියම ප්‍රතිඵල ලබන්න බැහැ. කෙඳි ඈත්වන්නට ගත් පසු දත් බුරුසුව මාරු කළ යුතුයි. වසරකට වරක්වත් දන්ත වෛද්‍ය විශේෂඥයකු හමුවන්නේ නම් දන්ත රෝග බොහොමයක් කල් ඇතිව ම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට පුළුවන.
පැණිරස ආහාර පාන බෝ වන රෝග රැසකට හේතුවෙයි. එමෙන් ම දත් දිරායාමට ද මඟ පාදයි. ඒ නිසා හැකිතරම් පැණි රස ආහාර පාන සීමා කළ යුතුයි.
උපදෙස් - ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය
පාලිත කරුණාපේම