වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන GAME
දරුවන් ඇසුරු කරන මිතුරු මිතුරියන් කවුරුන්ද ඔවුන් කවර තරාතිරමේ අය ද ඒ අයගේ මාපියන් කවුරුන්ද මේ ආදී දේ ගැන සෙවිල්ලෙන් සිටීම ඉතාම වටී.
ඔයගොල්ලන්ගේ දරුවා මේ තරම් ගේම්වලට ඇබ්බැහි වුණේ කොහොමද? බලන්නකෝ එයා දැන් මානසික රෝගියෙක් ගානයි නේ ශානකයි සේමිණියි මුහුණට මුහුණ බලාගත්තේ 'අනේ අපේ දරුවා එහෙම ගේම්වලට ඇබ්බැහි වෙලා ද අපි හාංකවිසියක්වත් දන්නෙ නෑ' කියන්නා වගේ."
ඇයි ඔයගොල්ලන්ට පුදුමයි ද?
ඔයාලා මේ දරුවා ගැන සැලකිල්ලක් දක්වලා නෑනේ. පවුලේ එකම දරුවා නේද මේ? දෙන්නම රැකියාවට ගියත් දරුවෝ දෙවුපියන්ගෙන් මඟ හැරෙන්න දෙන්න බැහැ.
"මේ දරුවා මානසික රෝග විද්‍යායතනය ට යොමු කරන්න වෙනවා. මේ වගේ දරුවෝ කිහිප දෙනෙක් ම එහි නේවාසික ප්‍රතිකාර ගන්නවා. ඒ අතරේ ඔවුන් පුනරුත්ථාපනය වෙනවා.අයිස් උවදුර එන්න එන්නම වැඩියි. ඔයාලා දරුවන්ගේ ජීවිතවලට මීට වඩා සමීප නොවුනොත් පසුතැවිලි වෙන්න වේවි." විදුහල්පතිතුමා, ශෙනුක්ගේ දෙමවුපියන්ට තරයේ අවවාද කරන්නට වුණා.
ජංගම දුරකතනය, ලැප්ටොප් ආදී නවීන තාක්ෂණයෙන් හෙබි සන්නිවේදන උපකරණ නිසා පවුල නමැති සංකල්පය අද වන විට බිඳ වැටී තිබේ. රාත්‍රී කෑම මේසයේදී පවුලේ සැවොම එක්ව කතාබස් කරමින් අදහස් හුවමාරු කරමින් ගතකළ කාලය අද වන විට බිඳ වැටී තිබේ. එදා අම්මගේ තුරුළේ නික්මෙන සුවඳ, තාත්තගෙන් නික්මෙන සුවඳ වෙන් වෙන්ව හඳුනාගනිමින් ඒ සුවඳ විඳිමින් උණුසුමට තුරුලු වෙමින් ඉන්න පුදුමාකාර ලෝබ කමක් තිබුණේ. අද දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය සමඟින් මේ දේවල් දරුවන්ට අහිමි වෙලා. දරුවෝ බොහෝ දුරට උත්සාහ කරන්නේ තනිවෙන්න. පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීමත් මෙහි එක් ප්රතිඵලයකි.
අවාසනාවක මහත කෙසේද කිව්වොත් කාර්ය බහුල බව මධ්‍යයේ ලැබෙන පුංචි විරාමයක දී දෙමවුපියන් පවා සිටිනුයේ තම ජංගම දුරකතනය අතැතිවයි.
මේ නිසා දරුවන්ට ඇහුම්කන් දීමට මාපියන්ට කාලය නැත. දරුවන්ට ඇහුම්කන් නොදීම බොහොමයක් ගැටළුවල ආරම්භයයි. දරුවන්ට ඇහුම්කන් දීමෙන් ඔවුනගේ ජීවිතවලට ඔවුනටත් හොරා ම සමීප විය හැකියි. දියණියට මවක්, පුතකුට පියෙක් මිතුරියක මිතුරෙකු මෙන්, සිටී නම් වෙනත් සිතකට එබී බලන්නට දක්වන කැමැත්ත පවා ඈතට යාවී.
උදේ හවස දෙමාපියන් නමඳිමින් ලබන ආශිර්වාදය දරුවකුගේ ජීවිතයට අතිශය වැදගත් වූවකි. අද වන විට මවට පියාට වඳින ගාථාව පවා දරුවන් දන්නේ දැයි යන්න ගැටළුවකි.
ස්මාර්ට් දුරකතනයට හුරු දරුවන්ගෙන් නැවත එය ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.දරුවන්ගේ සිත තළා පෙළා බලහත්කාරයෙන් ගන්නට සිදුවේ. ආක්රමණශීලීබවින් වැඩි දරුවෝ මාපියන් සමඟ කලහකාරී තත්ත්ව ඇති කරගනියි. අවවාද කරන්න කරන්න ඒවා නොපිළිගනිමින් කටගහන්න සිතයි.ඇතැම් දරුවන් මාපියන්ට අත උස්සන්න පවා පෙලඹෙයි. ඔන්ලයින් ක්‍රමයත් ටිකෙන් ටික ඈත්වන නිසා දරුවන්ට ජංගම දුරකතන තිබීම අත්‍යවශ්‍ය නැත.ජංගම දුරකතන සමඟින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ගෙවනුයේ අතිධාවනකාරී දිවි පෙවෙතකි. ඉවසීමක් ඇත්තේම නැත. එදා රූපවාහිනියෙන් ටෙලි සිතුවමක් නැරඹුවත් එහි ඉතිරි කොටස නරඹන්නට සතියක්ම ඉවසාගෙන සිටිය යුතුයි.පෙම්වතුන් පෙම්වතියන් පවා එක් දිනකදී හමුවී කතිකා කරගත් පරිදි ඊළඟ දිනයේදී හමුවේ. ඒ දිනය තෙක් ඉවසා සිටීමට සිදුවේ.වර්තමානයේ ජංගම දුරකතනයක් සමඟින් උදේ ඇරඹි කතාබහ සවස් කාලය වනවිට නිරුවත් පින්තූර හුවමාරු කර ගන්නා තරමටම වේගවත්ය.
ඇතැම් දෙමාපියන් තම ජංගම දුරකථනවලින් නිල් චිත්‍රපට නරඹයි. දරුවන් මාපියන් ගේ ජංගම දුරකතන රැගෙන එහි ඉතිහාසය (history) ගෙන ඒවා නරඹා පාසල් පැමිණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නටත් උත්සාහ කරයි. මෙය කෙතරම් ඛේදවාචකයක් ද? දරුවන් පමණක් නොව දෙමවුපියන් පවා වැටී ඇති තත්ත්වය ඇත්තේ කොතැනකද? දරුවන් පමණක් නොව මවුපියන් පවා සිටිනුයේ විකෘති මානසිකත්වයකයි.
ජංගම දුරකතනය වෙනුවට දරුවා කැමතිම දෙයක් දීමෙන්, එනම් නිවසේ ඉඩකඩ පහසුකම් ඇත්නම් දරුවා කැමැත්තක් දක්වන්නේ නම් සුරතල් සතකු ගෙනැවිත් දීම දරුවාගේ මානසිකත්වය ඉහළින් තබාවි. දරුවන් සමඟ හැකිතරම් කාලය ගත කරන්න. දෙමව්පියන් දරුවන්ටත් දරුවන් දෙමවුපියන්ටත් හැකි තරම් විවෘත අන්දමින් කටයුතු කරන්න. දරුවන්ට තම තම නිදන කාමරවල දොරවල් වසා තැබීමට කොහෙත්ම අවස්ථාව සලසා දෙන්න එපා.
දරුවන් නිහඬව ම කාලය ගත කරනවා නම්, පැත්තකට වී සිටී නම්, හැමවිටම තනි වී සිටින්නට උත්සාහ කරයි නම්, ඇස් රතු වී ඇත්නම්, ජංගම දුරකතනයේ ඕනෑවටත් වඩා සිටීනම් මේ හැම දෙයක්ම පිළිබඳ සැලකිල්ලෙන් සිටින්න. අයිස් මත්ද්‍රව්‍ය මේ වන විට පාසල් දරුවන් බිලිගන්නා මත් රකුසකු බවට පත්ව හමාරයි. පිරිමි දරුවන් පමණක් නොව ගැහැනු දරුවන් පවා මේ සඳහා ඇබ්බැහි වී සිටින අයුරු පුදුම සහගතය.
දරුවන් සම්බන්ධයෙන් වගකීම පාසල මතම පමණක් පටවා නිහඬව සිටීමට නොහැකියි. දරුවන් වැඩිම කාලයක් ගත කරන්නේ නිවෙස සමඟයි.
දරුවන් ඇසුරු කරන මිතුරු මිතුරියන් කවුරුන්ද ඔවුන් කවර තරාතිරමේ අය ද, ඒ අයගේ මාපියන් කවුරුන්ද මේ ආදී දේ ගැන සෙවිල්ලෙන් සිටීම ඉතාම වටී. දරුවන් හොඳම යාළුවා යැයි කියනා මිතුරා ගේ දෙමාපියන් එතරම් යහපත් අය නොවන්නට පුළුවනි. ඔවුන් දරුවන් නොමනා දේ කෙරෙහි පොලඹවන්නට පුළුවනි.
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ දරුවන්ටත් මිතුරු සමාගම් පිළිබඳව සෙවිල්ලෙන් සිටින්නට උපදෙස් දෙන්න. ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ හඳුනාගත් මිතුරු මිතුරියන් සමග දෙවනුව සම්බන්ධ වන්නේ වට්ස්අප් මඟිනි.ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්අප් හැකර්ලා ලෙස කටයුතු කරන්නට ඉහළ තාක්ෂණික දැනුමක් ඇති දරුවන් පුරුදුව සිටී. මොවුන් මිතුරු මිතුරියන් ලෙස පෙනී සිටිමින් බ්ලැක්මේල් කරන්නට පටන් ගනී. එක් දරුවකුට එවැනි කෙනෙක් බිය වැද්දූවේ ඩේටා කාඩ් දමන ලෙසයි. දෙමාපියන්ට මේ ගැන පැවසීමට නොහැකිව අසරණ වන දරුවන් සිටී. පසුගිය දිනෙක බණ්ඩාරගමින් වාර්තා වූයේ එවැනි දරුවකු එල්ලා මැරුණු බවයි. සූරා දැමූ ලක්ෂ ගණනක ඩේටා කාඩ් ඔහුගේ ඇඳ යට තිබී හමුවිය.
මේ සියල්ලකම ප්‍රතිඵලය අනාගතය භාර ගැනීමට සිටින දරුවා විකෘති මානසිකත්වයෙන් යුතු අයෙකු වීමයි. හැකි පමණින් දරුවාට ළංවන්න. ඔවුන්ට ආදරය කරුණාව සෙනෙහස දක්වන්න. මේවා සිතේ තබාගෙන සිටියාට පලක් නැත. ඒ අයට දයාව, කරුණාව පාද්දී එය දැනෙන්න හරින්න. හැකි පමණින් ඔවුන්ගේ ජීවිතවලට ළංවන්න.
උපදෙස්:
ඉරංගා ප්‍රේමතිලක
පෞරුෂ වර්ධන උපදේශිකා