ක්‍රීඩාවෙන් ලැබෙන පදක්කම්වලට වඩා වටිනා දෙයක් මට ලැබෙනවා

දෙසැම්බර් 4, 2023

ගඟක් හැඩවෙන්නේ රිද්මයට ගලා යන සුන්දරත්වයටය. අපගේ ජීවිතය ද ගඟක් සේ හැඩ වූ තරමටම සුන්දරය. එවැනි රිද්මයක් ඇති ජීවිතයක් හිමිකර ගන්නට ජීවිතයට සැමවිටම සතුට ළඟා කරගත යුතුමය. එහෙත් බොහෝදෙනෙකු තම ජීවිතය විඳිමට වඩා විඳවීම නිසා ඉතාම අමිහිරි ජීවිත අත්දැකීමක් ලබයි. මෙවැනි අමිහිරි අත්දැකීම් ගැන අසන්නට අප දකින්නට සැමවිටම අකැමැතිය. සැබැවින්ම එයින් අපගේ ජීවිතයට ද කිසිම උද්දීපනයක් හිමි නොවෙයි. මෙවැනි අමිහිරි අත්දැකීම් අතුරින් ජීවිතයේ සුන්දරත්වය සොයා ගිය ආදර්ශවත් චරිත අප අතර වෙයි.

කඩවත අමා ප්‍රේමතිලක.... ඇය තම ජීවිතයේ සුන්දරත්වය හිමිකරගත් වාසනාවන්ත දිරිය කාන්තාවකි. ඇය තම ජීවිතයේ සුන්දරත්වය සොයා යමින් අපේ රටට කීර්තියක් හිමිකරදීම ඉතාම වටිනා කටයුත්තකි. අමා ප්‍රේමතිලක වයස අවුරුදු 38ක ආදරණීය මවකි. එපමණක් ද නොවෙයි ඇය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙසින් වගකීම් රාශියක් දරයි. මේ සියල්ලටම වඩා ඇයගේ සුවිශේෂත්වය වන්නේ දහසක් රාජකාරි හා වගකීම් මැද ක්‍රීඩාව තුළින් අප රටට ගෙන දුන් කීර්තියයි. රන්, රිදී, ලෝකඩවලින් පිරි ඇයගේ එම ජයග්‍රහණ සියල්ලම හිමිකරගෙන ඇත්තේ විශාල කැපවීමකිනි. ඒ කැපවීම හා ධෛර්යයෙන් රැගෙන ආ ඇයගේ එම ජයග්‍රාහී ජීවිතාවර්ජනය තුළ බොහෝ දේ සටහන් වෙයි. ජීවිත අත්දැකීම් තුළින් ඇය ලැබූ එම ක්‍රීඩා ජයග්‍රහණ ගැන අපට සඳහන් කළේ ඉතාම වටිනා අදහස් ගොන්නක් ඒ කතාවට එකතු කරමිනි.

“මම මුලින්ම ක්‍රීඩාවට යොමු වුණේ පාසල් කාලයේදී. මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී තමයි මම පළාත් මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගත්තේ. හැබැයි අධ්‍යාපන කටයුතු නිසා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සම්පුර්ණ කාලය යොදවන්න අවස්ථාවක් නැති වුණා. ඉන්පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හැදැරුවා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය අවසන් කළා. මගේ පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟම මට මහ බැංකුවේ රැකියාව හිමිවුණා. මේ කාලය තුළ මට ක්‍රීඩාව වෙනුවෙන් යොමුවීමට අවස්ථාව ලැබුණේ ඉතාම අඩුවෙන්.

හැබැයි මම මහ බැංකුවේ සේවයට එක්වීමත් සමඟ රාජකාරී වශයෙන් විශාල වගකීමක් පැවරුණා. ඒ විතරක් නොවෙයි. මවක් ලෙස පවුලේ වගකීමක් තිබුණා. ඉතාම අවිවේකී ඒකාකාරී වූ ජීවිතයේ පුංචි වෙනසක් වෙනුවෙන් පැය කිහිපයක් ක්‍රීඩාවට යොදවන්න තීරණය කළේ මගේ මානසික, ශාරීරික සෞඛ්‍ය දෙකම ගැන හිතලා. ඒ පුංචි පැය කිහිපය මගේ ජීවිතය හුඟාක් වෙනස් කළා. මගේ සැඟවිලා තිබුණු හැකියාවට නැවත පණ දෙන්න පුළුවන් වුණා. මහ බැංකුව නියෝජනය කරමින් මට ක්‍රීඩා ජයග්‍රහණ රැසක් හිමිකර ගන්න ලැබුණා. එයින් නතර වුණේ නැහැ. මට ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලවල් රැසකට සහභාගී වෙන්න අවස්ථාව උදා වුණා. පසුගිය දා අවසන් වූ ආසියානු ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා තරගය සුවිශේෂිතයි. ඒ තරගය සඳහා රටවල් 29ක් සහභාගී වුණා. එම තරගාවලියේදී දුර පැනීමේ තරගයෙන් මට රන් පදක්කමක් හිමි කරගන්න හැකි වුණා. ඊට අමතරව තුන් පිම්ම හා මීටර් 400 තරගයෙන් රීදි පදක්කම දිනා ගත්තා. මීටර් 400ය4 සහය දිවීම හා මීටර් 100ය4 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ලබාගැනීමට හැකිවීම මගේ ක්‍රීඩා ජීවිතයේ විශාල ජයග්‍රහණයක්.

මේ තරගයට පෙර මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග රැසකට සහභාගිවීමට අවස්ථාව ලැබුණා. මැලේසියාව, පිලිපීනය වැනි රටවල් රැසක සංචාරය කිරීමට මට අවස්ථාව හිමි වුණා. මට සහභාගී වෙන්න ලැබුණු තවත් විශේෂිත තරගයක් තමයි ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රවීණයන්ගේ තරගාවලිය. ඒ තරගයෙන් මම රන් පදක්කම් 3ක් සහ රිිදී පදක්කමක් හිමි කරගත්තා. මගේ මේ සෑම ජයග්‍රහණයක්ම ලබාගත්තේ ක්‍රීඩාවට තිබෙන කැමැත්ත හා ආශාව නිසයි. මට පැවරී තිබෙන රාජකාරිය අතර දවසේ පැය කිහිපයක් පුහුණුවීම තුළින් තමයි මම මේ සෑම ජයග්‍රහණයක්ම හිමිකර ගත්තේ. ඒ ජයග්‍රහණ සියල්ලේම ගෞරවය මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන පුහුණුකරු අයි.එම්. රණසිංහ මහතාටත් හිමිවිය යුතුයි. ඇත්තටම මේ ක්‍රීඩා කිරීම තුළින් මට ලොකු පිළිගැනීමක් නැති වුණාත් එයින් ලබා ගන්නා ආත්ම තෘප්තිය හා අත්දැකීම හරිම වටිනවා. ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමෙන් එහි දී හමුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ඇති අවස්ථාව, ඒකකාරී ජීවන රටාවෙන් මිදී ක්‍රීඩා කිරීමට ලැබෙන කාලය මට විශාල පන්නයරක්. මට මේ ලබන ජයග්‍රහණ සඳහා කිසිම ඇගැයීමක් හෝ අගය කිරීමක් නොලැබුණත් ඒ ලැබෙන සතුට හරිම ප්‍රබලයි. එයින් මගේ ජිවිතයට විතරක් නොවෙයි මුළු පවුලටම විශාල ආශීර්වාදයක්.“