දුගියන්ට ධනවතුන්ට සේ පින්කම් ක ළ නොහැකි ද?

පෙබරවාරි 19, 2024

 

අතීතයේ දඹදිව අසයිහ නම් සිටුවරයෙක් සිටියේය. එතුමා ඉතා ගුණවත් අයෙකු විය. නුවර සතර දිශාවේ දන්හල් ඉදිකරවා දුගීමගී, යාචක පිරිසටත්, ශ්‍රමණ බමුණන්ටත් නිරතුරු දානය පිරිනැමීය. ඉතා උත්කර්ෂවත් අන්දමින් බොහෝ කලක් මේ දන් දීම සිදුවිය. ප්‍රමාණ කළ නොහැකි තරම් පිරිසකගේ කුසගිනි නිවා බොහෝමයක් පිං රැස්කර ගැනීමට සිටුතුමාට හැකිවිය. එතුමා මරණින් මතු තව්තිසාවේ දිව්‍ය රාජයෙකුව උපන්නේය.

සිටුතුමාගේ දාන ශාලාවකින් දිනපතා තම කුස පුරවා ගන්නා වියපත් හිඟන මිනිසෙකු සිටියේය. දුගීව වැරහැලි හැඳ සිටියත් ඔහුට කරුණාබර හදවතක් තිබිණි. සියතින් සිත්පුරා දන් දී පිං රැස්කර ගන්නට ඔහුට හැකියාවක් නොමැති වුවත් පින් සිතෙහි අඩුවක් ඔහුට නොවීය.

තමාගෙ කියා කිසිවක් නොමැති ඔහු දුර බැහැරින් පැමිණෙන සියලු දුගී මගී යාචකයන්ට අඬගසා මහ සිටුතුමාගේ දාන ශාලාව ඇති දිශාව පෙන්වීය.
"එන්න එන්න අපේ මහ සිටුතුමාගේ දාන ශාලාව අන්න අර දිශාවෙ තියෙන්නෙ. ඇතිපුරා කෑමබීම තියෙනවා. කුසපුරා කන්න පුළුවන්. බඩගින්නෙ ඉන්න එපා, ඒ පැත්තට යන්න.."
කියමින් හැම දෙනාවම ඒ දිශාවට යොමු කළේය.

වියපත් වෙලා උන්නු ඔහු ටික දවසකින් මරණයට පත් විය. ගතකළ දිවිය කොයිතරම් දුක්බර එකක් වුවත්, මරණින් මතු ඔහු උපන්නෙ භූමාටු දේවතාවෙක් වෙලා. අවුරුදු අනූ ලක්ෂයක් පමණ ආයුෂ ඇතිව උපන් ඔහුගේ විශේෂත්වයක් තිබුණි. එම විශේෂත්වය තමයි දේවතාවාගේ දකුණු අත සිතූ පැතූ සම්පත් ලබාදෙන බලයකින් යුක්ත වුණා. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් සිහිකොට දකුණත දිගුකළ විට ඒ පැතූ සියලු දෑ ඔහු ඉදිරියේ පහළ වුණා.
මෙයට හේතුව වුණේ කුසගින්නෙ විඩාපත්ව පැමිණෙන අසරණ මිනිසුන්ට කුසපුරවා ගැනීම සඳහා සතුටින් අතදිගු කර දාන ශාලාව පෙන්වීමේ පින.

කිසිම මුදලක් වැය නොකර මහත්ඵල ලබාදෙන උතුම් පිනක් ඔහු කරගෙන තිබුණි. බොහෝ දෙනෙක් සිතා සිටින්නෙ ධනය දේපළ නොමැතිව පිංකම් කරන්නට බැහැයි කියලා. නමුත් ඒක එතරම් නිවැරැදි දෙයක් නෙමෙයි. පින බලවත් වෙන්නෙ වියදම් වූ මුදල වැඩි වූ විට නෙමෙයි , සිතේ කුශල චේතනාව බලවත් වූ විටයි.

අප්පස්මෙකෙ පවෙච්ඡන්ති
බහුනෙකෙ නදිච්ඡරෙ,
අප්පස්මා දක්ඛිණා දින්නා
සහස්සෙන සමං මිතා.

යනුවෙන් මච්ඡරී සූත්‍රයේ සඳහන් වෙනවා. එයින් අදහස් වන්නෙ,

" දුගියෙකු විසින් තමන්ට ඇති ස්වල්පයකින් දානයක් දේ ද, එය ධනවතෙකු දහසක් වැයකොට දෙන දානයට සමාන වේ" යන්නයි.

අගහිඟකම් ඇති අයෙකු දෙන කුඩා දානය හෝ ඉතාම ශ්‍රද්ධාවෙන් , සිතේ සතුටින් අවබෝධයෙන් සිදුකරන්නේ නම් එහි ආනිසංස අප්‍රමාණ වේ. එය ඉතා උසස් පිංකමකි.

අසරණ සතෙකුට බත් පිඬක් දන් දීමට මහා ලොකු වෙහෙසක් ගත යුතු නැත. එම දානයත් අවබෝධයක් ඇතිව සතුටින් කරන්නේ නම් උසස් පිනක් බවට පත්වේ. ආහාර ගෙන අවසන්ව ඉඳුල් වතුර ටික පණුවන් ආදී සතුන්ට ආහාරයක් වේවායි සිතා ගවර වළකට හෝ දමන්නේ නම් එයද භවයන් සියයකට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන පිනක් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට තිබේ. එසේ තිබියදී දුප්පත්ව සිට පිංකම් කරන්නට නොහැකියාවක් කොහිද?

අනෙක් අතට පිංකම් කළහැකි එකම ක්‍රමය දන්දීම නොවෙයි. ශ්‍රී සද්ධර්මය තුළ දස පුණ්‍යක්‍රියාවක් පෙන්වා දී තිබේ.

ඒවා නම්,

1.දානය
2.ශීලය
3.භාවනාව
4.අපචායන
5.වෙය්‍යාවච්ච
6.පත්තිදාන
7.පත්තානුමෝදනා
8.ධම්මසවණ
9.ධම්ම දේශනා
10.දිට්ඨිජ්ජුකම්ම
යනු ඒ දහයයි.

දානයට වඩා ඉතා උසස් ආනිසංස ගෙන දෙන පිංකම වන්නේ සිල් රැකීමයි. එයට මුදල් වැය වන්නේ නැත. සසර පුරා මහාභෝග සම්පත් ඇති ධනවතෙකු වීම, සීලයක් රැකීමෙන් ලැබෙන එකම එක ආනිසංසයකි.

අපචායන යනු ගරු කළ යුත්තන්ට ගෞරව දැක්වීමයි. එදිනම මැරී අපාගත වන්නට සිටි චණ්ඩාල මැහැල්ලක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම නිසා අපායෙන් මිදී දෙව්ලොව උපන් බව චණ්ඩාලී විමාන වස්තුවේ සඳහන් වේ. මට්ටකුණ්ඩලී දෙව්ලොව උපන්නේ ඔත්පලව මරණාසන්නව සිටියදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිතින් නමස්කාර කිරීමේ පිනිනි. වෙය්‍යාවච්ච යනු උතුමන්ට වැඩිහිටියන්ට වතාවත් හා උපස්ථාන කිරීමයි. එය ද පින්සිත් ඇති ඕනෑම කෙනෙකුට කළ හැකි උසස් පිනකි.

මිළිඳු රජතුමා ඉතා නුවණැතිව මහ රජෙකුව උපන්නේ විහාර මළුව ඇමඳූ කසළ ටික බැහැර දැමීම යන එකම පිංකම නිසාවෙනි. මෙම වෙය්‍යාවච්ච පිංකම් පුරා මඝ මානවක තුමා ශක්‍ර දිව්‍ය රාජයාව ඉපිද සසර පුරාත් අප්‍රමාණ සම්පත් ලැබීය.
තමන් කළ පින අන්‍යන්ට අනුමෝදන් කිරීම පත්තිදානයයි. අනුන් කළ පිංකම් දැක සතුටු වීම හෙවත් අනුමෝදන් වීම පත්තානුමෝදනා පිංකමයි.

දුගී අයෙකු ධනවතුන් සිදු කරන මහා පිංකම් දැක සාදු කියමින් සතුටින් එම පිං අනුමත කරන්නේ නම් එය පින් අනුමෝදන් වීමයි.එයින් එම මහා පිංකම්වල කොටස් කාරයෙක් බවට තමාත් පත්වේ. සසර පුරා බොහෝ ආනිසංස ලැබේ.

ධනවතුන්ගේ මහා පිංකම් දැක " ඔවුනට මෙන් අපට පිංකම් කිරීමට ධනය කොහිදැයි" දුක් වීම අකුශලයකි. එසේ නොකොට අනුන් කරනා පින දැක සාදු කියා සතුටින් අනුමෝදන් විය යුතුය.
ධර්මය ශ්‍රවණය කිරීම අටවැනි පිංකමයි. මෙලොව පරලොව දෙලොවම දියුණුවට හේතුවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගයයි. බණ ඇසීම් මාත්‍රයෙන් පමණක් එම ජීවිතය තුළදීම සමහරු මහා ධනවතුන් බවට පත් වී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඉගෙනීමෙන් මෙලොව ජයගත හැකි මඟත්, පරලොව ජයගත හැකි මගත් දෙකම දැනගත හැකිය.

තමා ඉගෙන දැනගත් ධර්මය අන්‍යන්ටත් කියා දීම ධර්ම දේශනා නම් නවවැනි පිංකමයි.
කෙටියෙන් හෝ යමෙකුට ධර්ම උපදෙසක් දෙන්නට හැකිනම් එය මෙලොව ඇති සියලු දන් පරදා දිනන උසස්ම දානයයි.

චක්‍රාවාටය පුරා ලොව්තුරා ,පසේබුදු ,මහ රහත් උතුමන් වහන්සේලා අනන්ත ප්‍රමාණයක් වඩාහිඳුවා චතුමධුර පාත්‍ර පුරවා පුජා කිරීමේ මහා පිනටත් වඩා ධර්ම දේශනා පින උසස් හා බලවත් බව ධම්මපද අටුවාවේ දක්වා තිබේ.
දස වැනි පිංකම දිට්ඨිජ්ජුකම්මයයි. එනම් තමන්ගේ අවබෝධය පැහැදිලි ඍජු එකක් කරගැනීමයි. එය නිර්වාණය පිණිස ඉතා උපකාරී වේ.

"අප දුප්පත් ය. අපට පිංකිරීමට ධනය නැත. අප පිං කරන්නේ කෙසේද ?" ආදී ලෙස යමෙකුට සිතෙන්නේ ධර්මය නොදන්නා කම නිසයි. ඉහත දස පුණ්‍ය ක්‍රියාවන් ගෙන් බොහෝමයක් සිදු කිරීමට ධනවත් වීම හෝ දුගී වීම අදාළ නොවේ.

මේ පිංකම් කිරීමට සුදුසුම කාලයයි. ක්ෂණ සම්පත්තිය සහිත බුද්ධෝත්පාද කාලයේ කරන පිංකම්හි ආනිසංස බොහෝ ඉහළය.
පෙර අන්තර් කල්පයේ අවුරුදු විසිදහසක් පුරා මහා දන් දුන් අංකුර රජතුමා තව්තිසා දෙව්ලොව උපත ලබා සිටියේය. ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ඉන්දක නම් සිඟන්නෙක් තමාට ධනවත් නිවසකින් ලැබෙන බත්පිඬ අනුරුද්ධ මහ රහතන් වහන්සේට බෙදන්න යැයි කියා තමන් කුසගින්නේ සිටියේය. ඔහු ද මැරී තව්තිසාවෙ දිව්‍ය රාජයෙකුව ඉපදිනි.

අවුරුදු විසිදහසක් සිල්වතුන් ගුණවතුන් නැති අබුද්ධෝත්පාද කාලයේ දන්දුන් දේවතාවාට වඩා ආනුභාවයෙන් හා සැපයෙන් ඇතුළු කාරණා හතකින් එකම බත් හැන්දක් දුන් ඉන්දක දේවතාවා බබළමින් අනෙක් දේවතාවාව අබිබවා සිටි බව ධර්මයේ සඳහන් වේ.

එබැවින් අබුද්ධෝත්පාද කාලයේ රජවරුන් දුන් මහා දන්වලටත් වඩා අද වර්තමානයේ දුගියෙකු සිතේ ශ්‍රද්ධාවෙන් එකම භික්ෂුවකට දෙන දානය වුවද ඉතාම උසස් බව වටහා ගත යුතුය.

ගෙවී යන්නේ දිනයක් දිනයක් පාසා අප ලැබූ උතුම් මිනිසත් භවයේ ආයු කාලයයි. එබැවින් අපට හැකි පමණින් පිං කිරියවත් පුරමින් ධර්මාවබෝධය සාක්ෂාත් කිරීමට වෙරදැරීම නුවණැත්තන් විසින් අප්‍රමාදීව කළ යුතුය.