වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තිරිසන් ලොවින් මිදී තව්තිසා දෙව්ලොවේ ඉපදුණු බලු පැටියාගේ කතාව
සැඩහිරු හැමදාමත් වගේ අහස් තලය මත පායාවිත් තිබුණා. දෙපා පොළොවෙහි තබන්නටවත් නොහැකි තරමට පොළොව රත්වී තිබුණා. කුසගින්නෙන් පිපාසයෙන්, ප්‍රියයන්ගෙන් හා ප්‍රිය දෙයින් වෙන්වීමෙ දුකිනුත් අතිශයින්ම පීඩිත වූ අඹුසැමි යුවළක් තම එකම පුත්‍රයා සමඟ ජීවිතය සොයාගෙන කටුක මාර්ගයක ගමන් ගනිමින් සිටියා.
මේ ලොව්තුරා බුද්ධෝත්පාදයට පෙර යුගය. අජිත ( වජ්ජි) ජනපදය තුළ අහිවාතක නම් මහා වසංගතයක් පැතිරී ගියා. ජීවිතය ඉල්ලා හඬා වැලපෙන ලෙඩුන්ගෙන් හා මළසිරුරුවලින් ඒ රාජ්‍යය පිරී ගියා. වසංගතයෙන් මිදී ජීවිතය රැකගන්න යැයි සිතා ජීවිත ආශාවෙන් සියල්ල හැරදා පැමිණි ගමනකුයි මේ. කොසඹෑ නුවර කරා එන මාර්ගයේම තමන්ගෙ එකම දරුවාත් ඔවුනට අහිමි වුණා. පුතුත් කුසගින්නෙන්ම අසරණව මියැදුනා. කෝතුහලිකත් කාලිත් ඒ ශෝකයෙන් තවතවත් වියැළී ගියා. දින ගණනාවකට පස්සෙ එක් උදෑසනක නිල්ල පිරුණු පෙදෙසක ගම්මානයක ගොපලු නිවසක් මේ දෙදෙනාට මුණගැසුනා. කුස පොත්ත පිට පොත්තට ඇලිලා. කුසගින්න තරම් ගින්නක් වෙන කොහිද? දින ගණනාවක් හාමතෙන් පිපාසයෙන් සිටි ඒ පිරිස ගොපලු ගෙදරින් කන්න දෙයක් ඉල්ලා බැගෑපත් වුණා.
එදා ගොපලු නිවෙසේ ධේනු මංගල්‍යයක්. පිරිස හරි රසට ගිතෙල් කිරිබත් උයල තිබුණා. බොහොම අනුකම්පාවෙන් ආගන්තුක පිරිසට සංග්‍රහ කරන්නට වුණා. ගොපලු ගෙදරින් දෙදෙනාටම ඇතිවෙන්න ගිතෙල් යොදා පිසූ කිරිබත් ආහාර පිණිස ලැබුණා. හැමෝම එකටමයි ආහාර ගත්තෙ.
නිවෙස් හිමියාගේ මැස්ස යට සුරතල් බැල්ලක් නිදා උන්නා. ගොපල්ලා හරිම ආදරයෙල් ලොකු කිරිබත් පිඬක් බැල්ල ආහාර ගන්නා භාජනයට දමා දුන්නා.
කෙලෙස්බර මිනිස් හිත හරිම සංකීර්ණයි. පුදුමාකාරයි. බඩගින්නෙ දිනගාණක් පීඩා විඳිමින් පැමිණි කෝතුහලිකට තමන් කමින් සිටියදීත්, ගොපල්ලා බැල්ලට දැමූ කිරිබත් ටිකටත් පුදුම ආශාවක් ඇතිවුණා. ' මේ තරම් රසවත් ආහාර නොඅඩුව ලබන්න තරම්, මට වඩා මේ බැල්ල කොයිතරම් වාසනාවන්තද? ' ඔහුට සිතුනා. බිරිය කාලි, පමණ දැන ආහාර ගත් නමුත් කෝතුහලිකට ආහාර ගැන්මේ සීමාවක් තිබුණේ නෑ. ආහාර දිරවගන්න බැරිව රාත්‍රියේම මරණයට පත්වෙලා බැල්ලගේ ආහාරයට ලෝභ වූ පවින් ඒ බැල්ලගේම කුස පිළිසිඳ ගැනීමත් සිදු වුණා.
සැමියා මළ ශෝකයෙන් කාලිය හඬා වැලපුණා. අසරණ ඇයට ගොපලු නිවෙසේම අනුකම්පාවෙන් නවාතැන් ලැබුණ. ටික දවසකින් බැල්ලත් හරි ලස්සන පැටවෙක් බිහිකළා. ගොපලු නිවෙසෙ අයවත්, කාලිවත් කවදාවත්ම දැනගත්තෙ නෑ මේ උපන්නේ කෝතුහලිකයි කියො. කොයිතරම් අපේම අය කෙලෙස් හේතුවෙන් අපි ගාවම තිරිසනුන් වෙලා උපදිනව ඇද්ද? දිවැසක් නොමැති නිසා ඒ කිසිවක් නොදැන අවිද්‍යා වසඟව අපි ජීවත් වෙනවා ඇද්ද ? බලු පැටවා හරි ලස්සනයි. ගෙදර හැමෝම ඌට ආදරෙයි. මේ මොකුත් නොදැනම ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා.
ඒ කාලේ උතුම් පසේ බුදුන් වහන්සේ නමක් මේ ගොපලු නිවෙසට පිඬුසිඟා වැඩියා. ගොපලු ගෙදර හැමෝම කරුණා මෛත්‍රී පිරුණු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ගුණයෙන් දෙවැනි වන පසේ බුදුන් වහන්සේට අතිශයින්ම පැහැදුණා. ගොපලු ගම ආසන්න වනයේම වස්වාසය කරවා ගත්තා. බොහෝම ගෞරවයෙන් උපස්ථාන කළා. කාරුණික පසේ බුදුන් වහන්සේත් හැමදාම දානය වළඳද්දි මේ සුරතල් බලු පැටවට බත් පිඬක් දෙනවා. ඒ නිසා ටිකෙන් ටික බලු පැටවාත් පසේ බුදු පියාණන් වහන්සේට බොහෝම හිතවත් වුණා. තිරිසන් සතුන්ට මිනිසුන්ට වාගෙ ගති දෙකක් නෑනෙ. මුළු හදවතින්ම පසේ බුදු පියාණන් වහන්සේට බලු පැටවා ළෙන්ගතු වුණා. සමහර වෙලාවට දානෙ වෙලාවට වනාන්තරයට ගිහින් පසේ බුදු පියාණන් වහන්සේ වඩමවාගෙන එන්නෙත් මේ සුනඛයා. දානෙ සූදානම් කියලා අඟවන්නෙ බඩ පෙන්වමින් උඩුබැලිව නිදාගෙන. ඒවගේම පසේ බුදු පියාණන් වහන්සේගේ ආරක්ෂාව ගැන සුනඛයා හරීම සැලකිලිමත්.
නිතරම පසේ බුදු පියාණන් වහන්සේව වනසතුන්ගෙන් ආරක්ෂා කරන්න සතර දිශාවටම බුරනවා. සතුන් සර්පයින් දුටුවම බුරබුරා පසේ බුදු පියාණන් වහන්සේව ආරක්ෂා කරනවා. බොහොම ආදරෙන් වලිගය වනමින් මඟ පෙන්වනවා. ඉදිරි කකුල් නවලා හිස නමලා පසේ බුදු පියාණන් වහන්සේට වන්දනා කරනවා. බලන්න තිරිසන් හිතක වුවත් ආර්ය උතුමන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වන අපූරුව. කාලය ගෙවිල ගියා. වස් කාලය නිම වුණා. ගොපලු පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරලා පසේ බුදු පියාණන් වහන්සේ ඒ වනය අතහැර වෙනත් ගන්ධමාදන පර්වතයට වැඩම කළා.
අහිංසක සුනඛයා පසේ බුදු පියාණන් වහන්සේ දෙසම බලා සිටියා. වෙන්වීමේ වේදනාව දරාගන්න බැරි වුණා. තිරිසනුන්ගේ ආදරය හරිම අවංක ආදරයක්. අවංක බැඳීමක්. පසේ බුදු පියාණන් වහන්සේ නොපෙනී යත්ම සුනඛයා ශෝකයෙන් ළය පැළී මරණයට පත්වුණා. පසේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇතිවූ ආදරභක්තිය නිසා තිරිසන් ලොවින් මිදිලා තව්තිසා දෙව්ලොව ඉපදුනා. පසු බුදු පියාණන් වහන්සේව ආරක්ෂා කිරීමට සිතා බිරීමේ පිනින් යොදුන් ගනන් පැතිරෙන මහා දිව්‍යමය හඬක් එතුමාට ලැබුණ. එයින් ඝෝෂක දිව්‍ය රාජයා යැයි දෙව්ලොව ප්‍රසිද්ධියට පත්වුණා.
දිව්‍යමය ක්‍රීඩාවෙ ඇලුනු සමහර දෙවිවරු ආහාර ගැනීම අමතක කරනවා. පින හා ආයුෂ ඉතිරිව තිබුණත් එවිට ආහාරක්ඛය වශයෙන් දෙව්ලොවින් චුත වන්නට සිදුවෙනවා. ඝෝෂක දිව්‍ය පුත්‍රයාත් එසේ කෙටිකලකින් චුත වී කොසඹෑ නුවර නගර සෝභිනියකගේ කුස පිළිසිඳ ගෙන මෙලොවට බිහිවුණා. පිරිමි දරුවෙක් නිසා නගර සෝභිනිය වූ අම්මා විසින් දරුවාව කැලයට විසිකර දැමුවා. නමුත් පෙර පසේ බුදු පියාණන් වහන්සේ ආරක්ෂා කළ පිනින් බිළිඳාට වනසතුන්ගෙන් කිසිදු කරදරයක් සිදු වුණේ නෑ.
දරුවා දුටු ගම්වැසියෙක් ඉතාම ආදරයෙන් ඔහු තම නිවෙස ගෙනගියා.
ඔය අතරෙ කොසඹෑ නුවර සිටුතුමාට පුරෝහිතතුමා මුණගැසුනා. ඒ දවස්වල සිටුතුමාගේ බිරිඳ දරුවෙකු ප්‍රසූත කරන්නට ළංව ගර්භිණීවයි උන්නෙ. සිටුතුමා පුරෝහිතතුමාගෙන් අද දවස කොහොමදැයි ඇසුවා. පුරෝහිතතුමා තිථි කරණ නක්ෂත්‍ර ගැණ බලා අද උපන් දරුවෙක් මෙනුවර අගසිටු වන්නේයැයි අනාවැකියක් පවසා සිටියා. සිටුතුමා සිතුවෙ එසේනම් අද තම බිරිඳට පුතු ලැබෙන්නට ඇතැයි කියා. නමුත් එසේ නොමැති බව දැනගත් ඔහු පිරිස යවා එදවස උපන් පිරිමි දරුවෙකු සිටීදැයි නුවර පුරා සොයා බැලුවා. අර දරුවා පිළිබඳව දැන කහවනු දහසක් දී බලෙන්ම දරුවා තමා සතු කරගත්තා.
සිටුතුමාගෙ අදහස් වුණේ තමන්ට දුවෙකු ලැබුණොත් මොහුව විවාහ කරදෙන්න. එසේ නොවී පුතෙකු ලැබුණොත් අගසිටු වීමට පින් ඇති මේ දරුවා මරා දමන්නටයි. දින කිහිපයකින් සිටු බිරිඳ බිහිකළේ පුත් කුමරෙක්වයි. එදා සිට සිටුතුමා අලුත උපන් පුතු වෙනුවෙන් හදාගත් දරුවා මරා දමන්නට සැලසුම් කළා. මොහු ජීවත් වුනොත් තමන්ගේ පුතුට සිටු තනතුර නොලැබෙතැයි සිටුතුමා බිය වුණා.
පළමු වර මේ බිලිඳාව ගවරැළේ ගවයින් පිටත්වන දොරටුවේ මැදින් දැම්මෙව්වා. නමුත් මහ ගවයා විසින් මේ දරුවා වටකොට කකුල් තබා ආරක්ෂා කළා. ඒ දුටු ගොපල්ලා දරුවා පුත්‍ර ස්නේහයෙන් නිවසට ගෙනගියා. කරුණුදත් සිටුතුමා නැවත මුදල් දී දරුවා ගෙන්වා ගත්තා. දෙවන වර ගැල් පන්සීයක වෙළඳ කණ්ඩායමක් පිටත්වන තැන ඒවාට යට වී මැරෙන්න මාර්ගයෙ දැම්මෙව්වා. නමුත් ඉදිරියෙන්ම ගිය ගැලෙහි ගවයා දරුවා කෙරෙහි සෙනෙහසින් ඉදිරියට නොයා සිටියා. එයට හේතු සොයා බැලූ සාත්තු නායකයා දරුවා දැක පුත්‍ර ස්නේහයෙන් නිවසට ගෙන ගියත් සිටුතුමා නැවතත් පෙරසේම මුදල් දී බිලිඳා ගෙන්වා ගත්තා.
ඊළඟට දාසියක් අතට බිළිඳා දී වනසතුන්ට ආහාර වන්නට අමුසොහොනේ මිනී අතර දම්මවනු ලැබුවත් එළුදෙනක බිළිඳාට සෙනෙහසින් කිරි පොවන්නට පටන් ගත්තා. ඒ දුටු එළුහිමියා බිලිඳාව දරු සෙනෙහසින් ගෙනගියා.
දරුවා නැවත ගෙන්වාගත් සිටුතුමා සොරු හෙළා මරණ සොරපව්වෙන් පහතට ළදරුවා දැම්මෙව්වත් පෙර පසේ බුදුන් ආරක්ෂා කළ පිනෙන් ඔළිද වැල්ගාලක් මත සුවසේ පතිත වුණා. ඒ දැක නළකාර නායකයා විසින් දරුවා සෙනෙහසින් රැගෙන ගියා.
සිටුතුමා නැවතත් මුදල් දී දරුවා මාලිගයට ගෙන්වා ගත්තා. කාලෙත් එක්කම දරුවන් දෙදෙනාම වයසින් වැඩෙන්නට වුණා. කටහඬේ විශේෂත්වය නිසාම ඝෝෂක යන නාමයත් ඔහුට ලැබුණා.
සිටුතුමා ඝෝෂක මරවන්නට තවත් සැලසුමක් ක්‍රියාත්මක කළා. වළං තනන්නාට පෝරණු දල්වන දවසේ කපා මරා පුලුස්සන්නයැයි අල්ලස් දී පසුදින ඝෝෂකව ' වැඩ අවසන්ද අසා එන්න' යැයි ඔහුවෙත පිටත්කර යැව්වා. ඒත් යහළුවන් සමග ක්‍රීඩා කරමින් පැරදී සිටි සිටුපුතා, ' අයියේ මං ඔය ගමන යන්නම්., මං වෙනුවට ක්‍රීඩා කර මාව දිනවා දෙන්න'යි කියා කුඹලා වෙත පිටත්ව ගියා. කුඹලා දරුවා කපා මරා පුලුස්සා සිටුතුමාට පණිවිඩය යැව්වා. සිටුතුමාම පුදුම සතුටක් සැනසිල්ලක් දැනුණා. නමුත් සවස ඝෝෂක මාලිගයට පැමිණෙන අයුරු දුටු සිටුතුමාට අදහාගත නොහැකි වුණා. සිදු වූ දේ දැන වෛරයෙන් හා ශෝකයෙන් කෑමොර දෙන්නට පටන් ගත්තා. මෙතරම් විපතකට පැමිණුනත් ඝෝෂකව මරාදමන අදහස සිටුතුමා අතහැරියේ නෑ. ගම්සීයක අයබදු ගෙවන්නෙකුට 'මේ ලිපිය ගෙනෙන්නා මරාදමන්න' යැයි ලිපියක් ලියා ඝෝෂක අතම එහි යවනු ලැබුවා.
අතරමඟ ආහාර ගැනීමට හිතවත් සිටු නිවෙසකට ගිය විට එහි සිටි සිටු කුමරිය එම ලිපිය දැක අනුකම්පාව උපදවා ' මේ ලිපිය ගෙනෙන්නා සිටු කුමරියට විවාහ කර දෙන්න' යනුවෙන් වෙනත් ලිපියක් ලියා යැවීමෙන් එම සිටු කුමරිය හා විවාහ වන්නටත් ජීවිතය ආරක්ෂා වන්නටත් කුමරුට භාග්‍යය හිමිවුණා.
ඒ සිටු කුමරිය ඝෝෂක කුමරු කෝතුහලිකව සිටි භවයේ කාලි නමින් ඉපිද සිටි ස්ත්‍රියමයි. පසේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කළ පිනින් සිටු කුමරියකව ඉපිද සිටියා.
කාලය ගතවෙද්දි මහ සිටුතුමා වෛරයෙන් රෝගීව ඔත්පල වුණා. අධික වෛරයෙන් ඝෝෂක ගෙන්වාගෙන මැරීමට සිතා පණිවිඩ එව්වත් සිටු කුමරිය ඔහුට යන්නට නොදී නවත්වා ගත්තා.
මහ සිටුතුමා ඉතාමත් මරණාසන්න වූ පසු ඝෝෂක සමඟ සිටුතුමා බැහැදකින්නට සිටු කුමරියත් පිටත්ව ගියා.
පණ අදිමින් සිටි සිටුතුමා අවට අය සමඟ 'මොහුට මාගෙ ධන සම්පත් නොදෙන්න' යැයි අමාරුවෙන් පවසන්නට පටන් ගත්තත් කුමරුගේ පිනින් නොදෙන්න වෙනුවට කියවුනේ දෙන්න යන වචනයයි. සිටුකුමරිය මොහු තවත් කතා කළහොත් වන්නේ නපුරකියි සිතා පපුව මත හිස තබමින් වැලපෙන්නට පටන් ගත්තා. ඒ අතරතුරේම මහ සිටුතුමා මරණයට පත්වුණා.
පෙර පිනෙන් යමක් ලැබෙන්නට තිබෙනවා නම් කාටවත්ම එය වළක්වන්න පුළුවන් වෙන්නෙ නෑ.
අවසානයේදී මහ සිටුතුමාට වෙනත් දරුවෙකු නොමැති නිසා කෝටි ගණන් වූ මහා ධනයට ඝෝෂක කුමරු එකම හිමිකරුවා බවට පත් වුණා. රජතුමා විසින් ඔහුව කොසඹෑ නුවර මහ සිටුතුමා නමින් සිටු සේසත් නංවනු ලැබුවා.
පින් කිරීම ඉතාම වටිනා දෙයක්. එබැවින් දෙලොවම සැප සැලසෙන පිනටම සිත නැඹුරු කරන්න.
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ