CV එක අවුල් නම් තත්ත්පර 30න් හැමදේම නැති වේවි

ජුනි 3, 2024

 

දැන් ඒ ලෙවල් ඉවරවෙලා, එහෙම නැතිනම් කැම්පස් ෆයිනල් කිට්ටු වෙලා, රස්සාවකට එහෙම යන්නද හිතාගෙන ඉන්නේ? අලුතෙන්ම රස්සාවකට යන්න හිතන කෙනෙක්ට තියෙන ජොබ් එක මාරු කරන්න හරි අවශ්‍යම වෙන දෙයක් තමයි හොඳ CV එකක් හදාගන්න එක. ඉස්සර නම් ඉතින් CV එකක් හදනවා කියන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඕපන් කරලා තියෙන කොලිෆිකේෂන් ටික ලියාගෙන ලියාගෙන යන එකනේ. ‍ෙකාමියුනිකේෂන් එකකට ගිහින් රස්තියාදු වෙච්ච කාලයක් අපේ ඉතිහාසයේ තිබුණා ඔයාලට මතක ඇති.

 

හැබැයි දැන් කාලේ එහෙම නෙවෙයි. දැන් කාලේ CV එකක් හදනකොට ඒ වගේ බේසික් ලෙවල් එකකට වඩා පොඩ්ඩක් හිතන්න ඕනෙ. මොකද, ඉන්ටර්වීව් එකකට යනකොට අපේ CV එකේ තියෙන කොලිටි එකත්, අපිට රස්සාව ලැබෙන්න හොඳ හේතුවක් වෙනවා. අපි රස්සාවට ඇප්ලයි කරන තැන අපේ CV එක කියවන්නේ තත්ත්පර ගාණක් ඇතුළත වෙන්න පුළුවන්. හැබැයි ඒ CV එකේ කොලිටි එකෙන් ලබාදෙන ඉම්ප්‍රෙෂන් එක මුළු ඉන්ටර්වීව් එකටමත් වැදගත් වෙනවා. ආන්න ඒ නිසා තමයි, කොලිටි CV එකක් හදාගන්න එක වැදගත් වෙන්නේ.

 

CV එකක් හදාගන්න ගියහම හිතන්න ඕනෙ කාරණා තියෙනවා. නිකම්ම අපේ තොරතුරුයි, විභාගවල ප්‍රතිඵලයි, ඉස්කෝලෙ කරපු ක්‍රීඩායි ටයිප් කරලා, ඒක CV එකක් කියලා යවන එක දැන් යල් පැනලා තියෙන්නේ. ඊට වඩා, කොලිටි CV එකක් හදාගන්න එකෙන්, තමන්ගේ ප්‍රොෆෙෂනල්කම ගැන සෑහෙන්න දේවල් කියවෙනවා. අන්න ඒ නිසා, අපි බලමු, හොඳ කොලිටි CV එකකට වැදගත් වෙන තවත් කාරණා කීපයක් ගැන!

 

පිළිවෙළ හරියටම

 

හැමවෙලාවෙම CV එක තියෙන්න ඕනේ කිරි සුදු වගේ හරිම පැහැදිලිව. එක ගොඩේ වාක්‍ය ටයිප් කරලා කැඳ හැලියක් වගේ තිබුණොත් කාටද මේක බලන්න හිතෙන්නේ. මේකට අපිට ඕනෙ ඕනෙ විදිහේ ෆොන්ට් වර්ග භාවිත කරන්නත් බැහැ කියලා මතකේ තබා ගන්න. මොකද මාළු කඩේ බෝඩ් ලෑල්ලේ තියෙන ෆොන්ට් එක මේකට ගන්න බෑනේ. ඒ නිසා වෘත්තිමය වශයෙන් පිළිගන්න ෆොන්ට් වර්ගයක් භාවිත කරන්න. Arial හෝ Calibri වැනි ෆොන්ට් වර්ගයක් භාවිතා කරනවා නම් වඩා හොඳයි. ඊළඟට අකුරුවල සයිස් එක. CV එකකට පොල් ගෙඩි සයිස් අකුරු දාලාත් බැහැ කූඹි අඬු වගේ අකුරු දාලත් බැහැ. CV එකකට 10-12 අතරේ ෆොන්ට් සයිස් එකක් තමයි හරි යන්නේ. මේ කොහොම වුණත් අන්තිමට බලන්න ඕනෙම දේ තමයි ටයිප් කරපුවා හරිද කියන එක.

 

 

හරි එඩිට් එකක්

 

මෙන්න මේක කොලිටි CV එකක් හදන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනෙ දෙයක්. දැන් අපි හිතමු අපි ආටිකල් එකක් ලියනවා කියලා. ලියලා ඉවර වුණු ගමන් ඒක අදාළ කෙනෙක්ට යවනවද? නෑනේ. ඒ වෙනුවට අපි කරන්නේ ඒකට හොඳ එඩිට් පාරක් දෙන එක. තව පාරක් කියවලා, එඩිට් කරලා, අනවශ්‍ය තැන් අයින් කරන එක සහ වෙනත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් එකතු කරන එක. CV එකක් හදනකොටත් එහෙමයි. වැඩිමනත් දේවල් එකතු කිරීමටත් වඩා, CV එකක් හදනකොට මුලින්ම ලියන්න ඕනෙ ඔක්කොම ඇතුළත් කරලා, ඊට පස්සෙ අනවශ්‍ය දේවල් කපලා කොටලා එඩිට් කරන එක කරන්නම ඕනෙ දෙයක්. මොකද, ගොඩක් වෙලාවට අපේ CV එකක අනවශ්‍ය දේවල් තියෙන්න 90% ක ඉඩක් තියෙනවා.

 

මොන ටයිප් CV එකක් ද?

 

කොලිටි CV එකක් හදනවා නම්, මුලින්ම අවබෝධකර ගන්න ඕනෙ මොන විදිහේ CV එකක්ද හදන්න අවශ්‍ය වෙන්නේ කියන එක. එක්කෝ ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන්ස් කාලවකවානු අනුක්‍රමණයක් එක්ක හදන CV එකක් වෙන්න පුළුවන්. ඒක තමයි බොහොම ප්‍රකට වර්ගය. නැතිනම් functional CV එකක් හදන්න පුළුවන්. එහෙම CV එකකදී අවශ්‍ය ජොබ් එකකට වැදගත් වෙන අපේ හැකියාවන් සහ දක්ෂතාවයන් තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි ඒ ඇරෙන්න, ගොඩක් වෙලාවට වැදගත් වෙන අනික් CV වර්ගය තමයි උඩ කියපු CV වර්ග දෙකේම මිශ්‍රණයක් විදියට එකතුවෙලා හැදෙන CV එකක්. විශේෂයෙන්ම තමන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයනකොට, එහෙම නැතිනම් තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රය මාරු කරනකොට එහෙම functional CV එකක් ගොඩක් ගැළපෙනවා. එහෙම නැතිනම් ඔය කියපු මික්ස් CV එකක් වුණත් ගැළපෙනවා. දැන් ඔය කියපු වර්ග ඇරෙන්න, යම් කිසි ජොබ් එකකට හරි එහෙම නැතිනම් ක්ෂේත්‍රයකට හරි ඉලක්කගත වුණු CV එකක් හදන්නත් පුළුවන්. ඒකේ වෙන කිසිම දෙයක් නෑ, අපි ඉලක්ක කරගත්තු දේට අදාළ කොලිෆිකේෂන්ස්, ස්කිල්ස් තමයි මූලික වෙන්නේ.

 

ඉන්ටරෙස්ට්ස් මොනවද?

 

දැන් කාලේ CV එකක් හදනකොට දාන්න පුළුවන් දෙයක් තමයි, තමන් ගැන පුද්ගලික විස්තර ටිකක්. ඒ කියන්නේ තමන්ගේ ඉන්ටරෙස්ට්ස් මොනවද, තමන් විවේක වෙලාවක් තියෙනකොට කරන්න කැමති දේවල් ටිකක්. හැබැයි මතක තියාගන්න, එතනදී ලියන්න ඕනෙ “මම ෆිල්ම්ස් බලන්න ආසයි”, “පොත් කියවන්න ආසයි” වගේ දේවල් නෙවෙයි. ඊට වඩා, අපි ඉල්ලුම් කරන ජොබ් එකට ගැළපෙන විදියේ ඉන්ටරෙස්ට්ස් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදියට අපි ලයන්ස් ක්ලබ් එකේ නැතිනම් වෙනත් ක්ලබ් එකක් සාමාජිකයෙක් නම්, එහෙම නැතිනම් ගමේ තරුණ සමිතියේ ලේකම් විදිහට වැඩ කරනවා නම්, අන්න ඒක ඉන්ටරෙස්ට් එකක් විදිහට ගළපලා ලියන්න පුළුවන්. පොදුජන වැඩ කරන්න කැමති නම්, ඒ වගේ දෙයක් වුණත් ලියන්න පුළුවන්. නිකම් ඉන්න වෙලාවට පත්තරේකට ලිපි එහෙම ලියනවා නම් ඒවත් ලියන්න පුළුවන්. මතක තියාගන්න, CV එක කියවන මනුස්සයාට අපි ගැන පර්සනල් ලෙවල් එකේදී වුණත් දැනගන්න අවශ්‍ය වෙන්නේ ජොබ් එකේ විෂයය පථයට අදාළ කාරණා විතරයි. ඒ නිසා ජොබ් එකට ආදාළ ස්කිල්ස් හරියටම දාන්න.

 

වැදගත්ම දේවල්

 

‍රැකියාවකට අවශ්‍යම දේ තමයි අධ්‍යාපනය. ඉගෙන ගත්ත පාසලේ ඉඳලා උපාධිය දක්වා විශ්වවිද්‍යාලවල නම් වර්ෂ හරි අනුපිළිවෙළට ඇතුළත් කරන්න. පාඨමාලා වුණත් හරිම පිළිවෙළට සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ සේවා අත්දැකීම්. ඒ කිව්වෙ Work Experience ඇතුළත් කරනකොට පුළුවන් තරම් අයදුම් කරන රැකියාවට අදාළව ඔයාට තියෙන අත්දැකීම් එකතු කරන එක වැදගත්. ඒ වගේම තමයි ඒවා එකතු කරන අනුපිළිවෙළ. අත්දැකීම් ඇතුළත් කරන්න ඕනෙ අන්තිම රැකියා ස්ථානයේ ඉඳල මුල්ම රැකියා ස්ථානයට වෙනකම් අනුපිළිවෙළටයි. මොකද අවසාන experience එක  තමයි අලුත් තනතුරට සලකා බලන්න වැඩියම වැදගත් වෙන්නෙ. 

ඒ තනතුරට අදාළව තියෙන experience ලියනව වගේම තමයි ඒව සවිස්තරව ලියන එකත් හුඟක් වැදගත්. මේ වැඩේ හුඟක්ම ලේසියි රැකියා ඇබෑර්තුව තියෙන දැන්වීමේ ඒ කිව්වෙ Vacancy Advertisement එකේ අලුතෙන් බඳවාගන්න තනතුරේ Job Description – JD එකත් දාලම තියෙනවනම්. එකට අනුව ඔයාට තියෙන සුදුසුකම් ගළපලම ලියන්න පුළුවන්. මොකද ඔබ ගුරු වෘත්තියකට ඉල්ලුම් කරන කෙනෙක් නම් ෂොප් එකක වැඩ කරපු එකක සේවා පළපුරුද්ද පෙන්නුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට ජයග්‍රහණ ලබාගෙන තියෙනවනම් ඒවත් සඳහන් කරන්න පුළුවන්.

තමන්ගේ නම, ගම, උපන් දිනය, දුරකථන අංකය වගේ ඇතුළත් වෙන්න අනිත් කරුණු ගැන නම් අපේ අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

ඒ වගේම තමයි ඔයාගෙ LinkedIn ගිණුමක්, වෙබ් ලිපිනයක් එහෙම තියෙනවනම් ඒවත් මේ Contact Details කියන කොටස යටතේ ඇතුළත් කරන්න. ඒව ලකුණු වැඩිවෙන්න හේතු වෙන්න පුළුවන්.

 

 

පොඩ්ඩක් ක්‍රියේටිව්

 

දැන් අපි කලිනුත් කිව්වනේ ගොඩක් වෙලාවට අලුත් CV එකක තමන්ගේ හැකියාවන්, කුසලතා එහෙමත් දානවා කියලා. හැබැයි එතැනදී වුණත්, CV එකේ වෙන තැනකදී වුණත් අපි ලියන වචන කොයි තරම් සුලභද කියන එකත් අපි නිකමට හිතලා බලන්න ඕනෙ. උදාහරණයක් විදියට ගත්තොත්, hardworking, teamplayer වගේ වචන ඕනම CV එකක හොයාගන්න පුළුවන්. හැබැයි අපිට බැරිද ඒ වගේ හරිම සුලභ, හැම CV එකකම තියෙන හින්දම මෙලෝ රහක් නැහැයි කියලා හිතෙන වචන අතඇරලා, වඩාත් නිර්මාණශීලී විදිහට ඒ අදහසම ලබාදෙන්න. ඕනෙ නම් මේකට පොඩි ගූගල් සර්ච් උදව්වක් ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ සැබෑ ජීවිතයේ දේවල්වලින් උදාහරණ අරගෙන දාන්නත් පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, ලීඩර්ෂිප් කොලිටීස් තියෙනවා කියලා දානවට වඩා, තමන් කුමන හෝ ක්ලබ් එකක් ප්‍රසිඩන්ට් කියලා දාන එකේ ලොකු බරක් තියෙනවා!

 

රෙෆරන්ස්

 

සාමාන්‍යයෙන් අපි CV එකක් හදනකොට රෙෆරන්ස් දානවනේ. ගොඩක් වෙලාවට රෙෆරන්ස් විදිහට දානවා මීට කලින් කරලා තියෙන ජොබ්ස්වල හිටපු බොස්ලගේ කන්ටැක්ට්ස් කොහොමත්. එතකොට, අපේ ජොබ් එක්ස්පීරියන්ස් ගැන දැනගන්න ඒ ජොබ් එකේ බොස් කෙනෙක්ට හරි මානව සම්පත් අංශයට හරි කතා කරලා අහගන්න පුළුවන්. ඒ ඇරෙන්නත් සමහරු තව රෙෆරන්ස්ලා දෙන්නෙක්ව විතර CV එකට දානවා. ඒකේ අවුලක් නෑ. හැබැයි අපි ඇත්තටම CV එකකට රෙෆරන්ස් විදිහට දාන්නේ කවුද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනෙ. සමහරු දානවා පන්සලේ ලොකු හාමුදුරුවන්ව. ඒක ලොකු අවුලක් නෑ පළමුවෙනි ජොබ් එකට වගේ යනවා නම්, ඒ ඇරෙන්න තමන් පන්සලට සම්බන්ධ ගමේ පොදු කටයුතු එහෙම කරලා තියෙනවා නම්. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව දාන එකෙත් අවුලක් නෑ, තමන් පළමුවෙනි ජොබ් එකට නම් යන්නේ. හැබැයි එහෙම නැතිනම්, අපි රෙෆ්‍රීලා විදියට දාන්න ඕනෙ, අපිට තියෙන ප්‍රොෆෙෂනල් කැපෑසිටි එක ගැන ප්‍රොෆෙෂනල් අදහසක් ලබාදෙන්න පුළුවන් මනුස්සයෙක්ව. එහෙම නැතුව ගමේ ඉන්න ලොකුම මුදලාලිව හරි, ගමේ ඉන්න ලොකුම ජොබ් එක කරන කෙනාව හරි CV එකට දාලා වැඩක් නැතිවෙයි. 

 

කොච්වර වැඩ කිඩ දාලා හැදුවත් මේ CV එක බලන්න ගන්නේ තත්ත්පර 30යි. ඒ තත්ත්පර 30 තුළදි ඔයාගේ CV එකේ තියන වැදගත්ම දේවල් කැප්චර් වුණේ නැහැ කියන්නේ ඔයාගේ ඒ හීනයත් හීනයක්ම විතරක් වෙනවා කියන එක. ඔයාගේ CV එක බලන කෙනාව තත්ත්පර 30න් පුදුම කරන්න නම් හරිම විදිහට හරි ප්‍රමිතියට CV හදන්නම වෙනවා. ඒ නිසා මේ කරුණු ගැන හරි අවබෝධයෙන් CV එක හදන්න.

 

උපදෙස් - The Intelligentz Global පුද්ගල සංවර්ධන සහ උපදේශන ආයතනය