වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලේඛකයා පවතින්නේ පාඨකයා මතයි
ලියන්නියක හෝ ලියන්නෙකුවීම අසීරුය. මන්ද එය පාඨක හදවත් වැලඳගත යුතුය. එමෙන්ම ඇතුළු හදවත විවර කරන්නාක් බඳුය. මේ කියන්න යන ඇයත් ආදරණීය හදවත්, අකුරු අතර අතරමං කරවන අකුරු ගළපන ලියන්නියක්.
ඇය චින්තනී අමරසිංහ. දබරැල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයෙන් ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ඩිප්ලෝමා පාඨමාලාව ද හදාරමින් සිටින ඇය ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සහකාර මූල්‍ය අධ්යක්ෂ වශයෙන් සේවය කරයි.
නිතර සාහිත්‍ය කෘති නිර්මාණකරණයේ යෙදෙන ඇය පසුගියදා කෘති දෙකක් රචනා කර තිබුණා. එකම අවුරුද්දක පොත් දෙකක් කියන්නෙ අංකුර ලියන්නියකට ලේසියකින් සැබෑ කරගන්න බැරි අරුමැසි හීනයක්. මේ ඒ හීනයට ඇය අකුරු ගැළපූ සැටිය.
"2024 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිකුත් කළ පොත් දෙකක් තමයි "මිමෝසා ඇවනිව්" සහ "ඩැෆඩිල් ටෙරස්" කියන්නෙ.
මිමෝසා ඇවනිව් ගැන කියනවා නම් ඒක තමන්ගේ ජීවිතය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් විදේශගත වූ ශ්‍රී ලාංකික ගැහැනු ළමයෙකුගේ ජීවිතය සම්බන්ධ කතාවක්. ඇය එහිදී නැවතත් ගොඩනැඟීම් සහ බිඳවැටීම්වලට ලක් වෙනවා.
මානසිකව ගොඩනැඟෙන්නට ආකර්ෂණ නීතිය සහ ධනාත්මක සිතුවිලි ප්‍රායෝගිකව බලපාන ආකාරය ගැනත් සාකච්ඡා කරමින් පොතේ කතාව ඉදිරියට ගලා යනවා.
ඩැෆඩිල් ටෙරස් ගත්තාම ඒක මගේ ලිවීිමේ ශානරය සහමුලින්ම වෙනස් කළ පොත විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ෆැන්ටසි කියන ශානරයට අයත් වෙනවා. එහිදී කතාව සම්පූර්ණයෙන්ම ගොඩ නැඟෙන්නෙ මනඃකල්පිතව.
ඔබ කෙටි කාලයක් තුළ කෘති බොහෝ ප්‍රමාණයක් ලියූ කෙනෙක්..
මම 2020 වර්ෂයේ මගේ මුල්ම කෘතිය වන සංසාර්යා නිර්මාණය කරමින් තමයි මේ ක්ෂේත්රයට ප්රවිශ්ට වෙන්නෙ. එතැන් සිට 2024 සැප්තැම්බර් වන විට කෘති 10ක් ලියා අවසන් කර තිබෙනවා.
සංසාර්යා, දුඹුරු වීදුරු ඇස්, මිඩ් මාර්ච්, චිමිනි කෝපි, නිල්මල් පිපුණු පපුවක්, අරුණෝද මාත්‍රා, මතක කඳු, තිත් යට කොමා වශයෙන්.
මේ සියලු කතාවල ප්‍රධාන වශයෙන් ප්‍රේමය ගැන කතා කරන්නෙ. නමුත් ප්‍රේමයට සමගාමීව මම සමාජයේ තැනින් තැන තියෙන මා කතා කළ යුතුයි කියලා හිතන ගැටලු ගැන සඳහන් කරනවා.
ලේඛකයා සහ පාඨකයා අතර තිබෙන සම්බන්ධය ඔබ දකින්නේ කොහොමද?
දැන් ලේඛන කලාව පිළිබඳ සිතද්දී එයත් සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ලේඛකයා සහ පාඨකයා ඉස්සර නම් හමුවුණේ අකුරු අතරින්. දැන් එහෙම නෙමෙයි. ඔවුන් සමාජ මාධ්‍ය හරහා ලේඛකයාව දකිනවා අගයනවා වගේම විවේචනයත් ප්‍රතික්ෂේප කිරීමත් සිදු කරනවා. සමහර අවස්ථාවලදි පාඨකයා අපි ලියන දේවලින් අපිව මනිනවා.
නමුත් ලේඛකයාත් පාඨකයාත් දෙදෙනාම සාමාන්‍ය මිනිසුන්. එකිනෙකාගේ මනෝභාවයන් පොත් අතරින්ම කියවා ගන්න අපහසුයි.
ඒත් ලේඛකයා පවතින්නේ පාඨකයා මතයි. තමන් ලියන දේ කියවීමට කැමති පාඨකයා වෙනුවෙන් යම්කිසි ධනාත්මක පණිවුඩයක් හැම වෙලාවෙම ලබා දීමේ වගකීම ලේඛකයා අත තියෙන දෙයක්.
ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැනත් පුංචි ඉඟියක් දුන්නොත්?
මේ වසරේ ඉදිරියට ප්‍රකාශයට පත්වෙන්න තියෙන නවකතාව සීනුනදී . ඊට අමතරව "චාලි පුංචි හාවා" නමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම නිකුත්වීමට නියමිත ළමා කතන්දර මාලාවක පළමු කොටස වන "කැරට් පාරාදීසය" නිකුත්වීමට නියමිතයි.