රිබන් රෝස මලක චමත්කාරය

ජූලි 28, 2025

මැහුමට, ගෙතුමට, අත්කමට දෑත් හුරුකරන තරුණී මැහුම් ගෙතුම් හා නුග සෙවණ සුසංයෝගයෙන් අද අපි ඔබට තිළිණ කරන්නේ Surprise Rose Flower Bouquet එකක් සාදා ගන්නා අන්දමයි.

මෙවැනි Surprise Bouque අද වෙළෙඳපොළේ ඕනෑ තරම්. එහෙත් ඒවායේ මිල ඇතැම් විට දැරිය නොහැකියි. එබැවින් මෙවැනි නිර්මාණයක් කිරීමේ හැකියාව හා වටිනාකම ඔබට දැනෙනු නොඅනුමානය.

මේ මල් කලඹ ඔබේ ආදරණීයන් පුදුම කිරීමට සහ වටිනා ත්‍යාගයක් ඒ ඇතුළේ සඟවා දීමට යොදා ගත හැකියි. එසේම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමටද ඔබට මාර්ගෝපදේශයක් වනු ඇත.

(Surprise Rose Flower Bouquet) එක මෙහෙම හදමු

 

අවශ්‍ය ද්‍රව්‍ය -

* අඟලක් පළල රිබන් යාර 20ක් (මල් 20ක් සාදා ගැනීමට එක මලකට එක යාරයක් අවශ්‍ය වේ.)

* බාබක්‍යු ස්ටික්ස් 20ක්

* රෙජිෆෝම් හෝ ප්ලාස්ටික්, කාඩ්බෝඩ් හෝ පෙට්ටි 2ක් (දුරකථනක් හෝ චොකලට් හෝ වෙනත් ඔබේ තිළිණය රැඳවීමට)

* මල් කලඹ එතීමට අලංකාර දවටනයක් (wrapping paper)

* ග්ලූ ගන් සමග ස්ටික්ස්

* කතුරක්

* සෙලෝටේප්

* මලේ වර්ණවලට අදාළ ඩස්ට්

නිර්මාණය සාදන ආකාරය

 

පළමුව මල් පෙති සාදා ගන්න. එක මලකට පෙති 15ක් අවශ්‍ය වේ.

එක මල් පෙත්තකට සෙන්ටිමීටර් 8ක් පමණ දිගකින් යුතු රිබන් කොටසක් කපා ගන්න.

 

රිබන් කොටස්වල කොන් නවා ග්ලූ ගන් එකකින් අලවා ගන්න.

 

ඉන්පසුව මෙම මල් තවත් අලංකාර කර ගැනීමට රිබන් මල උඩට ගම් දමා පින්සලකින් මලේ උඩ කොටසේ ගා ගන්න.

 

* ඒ සමඟම අපි තෝරා ගන්නා මලේ වර්ණයටම සමාන දිලිසෙන කුඩු මල මතට ඉසින්න.

* දැන් ගම්වලට ඇලවුණ දිලිසෙන කුඩු ටික අැරෙන්න අනෙකුත් දිලිසෙන කුඩු ටික ඉවත්කර ගැනීමට මල පහළට කර ගසන්න.

 

* මල් ටික වේළෙන්න තබා ගන්න. ඉන්පසුව එක මලක් ගෙන අනෙකුත් මලක් එම මල වටා තබා ගන්න. ඉන්පසු බාබක්‍යු ස්ටික්ස් ටික අල්ලා සෙලෝටේප් එක අාධාරයෙන් වටේ ඔතා ගන්න.

 

* මෙම මල් අතරට ඔබට තවත් අලංකාර කර ගැනීමට නම් බේබිබ්‍රෙත්, පබළු වැනි ඕනෑම විසිතුරු දෙයක් දමා සොලෝටේප් එකකින් ඔතා ගන්න.

 

ඉන් පසුව මල් සියල්ලම මල් කලඹක් සේ සිටින ලෙස දවටනයකින් (Wrapping Paper) අලංකාර ලෙස සකසා ගන්න. අවසානයට රිබන් බෝ එකක් ඔතා තවත් හැඩකර ගන්න.

 

උපදෙස් -

අත්කම් නිර්මාණ ශිල්පීනී

රුවන්ති මහේෂිකා