ලෝක මවුකිරි දීමේ මාසය සෑම වසරකම අගෝස්තු මාසයට යෙදී තිබේ. රටවල් 170කට අධික සංඛ්‍යාවක් එය සමරනු ලැබේ. “මවුකිරි දීමට මුල්තැන – තිරසර සහාය නිසැකව” මේ වසරේ තේමාවයි.
ලොව අමෘතමය පානයක් වෙත්නම් ඒ මවුකිරි පමණමය. මේ අසමසම පානය තොල ගාන සිඟිත්තා නීරෝගි දරුවකු ලෙසින් ජාතියට දායාද වනු ඇත. මවුකිරි යනු අලුත උපන් බිලිඳු සඳහා ස්වාභාවිකවම නිමැවූ අසමසම පෝෂණීය ආහාරයයි.
නමුත් මවුකිරි හුදෙක් ආහාරයක්ම නොවේ. එය බිලිඳුන් රෝගවලින් ආරක්ෂා කරන වටිනා ප්‍රතිදේහ සපයන අතර බුද්ධි වර්ධනය කරයි.
උපතින් පසු පළමු පැය තුළ මවුකිරි දීම ඉක්මනින්ම ආරම්භ කළ යුතුයි.
ජීවිතයේ පළමු මාස 6 (දින 180) මවුකිරි පමණක් ලබාදිිය යුතුවේ.
වයසට නිසි අමතර ආහාර සමඟ දරුවාට අවුරුදු දෙකක් හෝ වැඩි කාලයක් මවුකිරි දිය යුතුවේ.
බෝ නොවන රෝගවලින් දරුවා මෙන්ම මව ද ආරක්ෂා කරයි. (පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා)
මව සහ දරුවා අතර මනා සබඳතාවක් ඇති කරයි.
ආර්ථිකයට සහනයක් ගෙන දෙයි. එය පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයටද දක්වන මහඟු සත්කාරයකි.
මවුකිරි දීම මවකට තනිවම කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා පාර්ශ්ව කිහිපයකගේම දායකත්වය අවශ්‍ය වේ.
පියා සහ පවුලේ වැඩිහිටියන්ගේ දායකත්වය ඒ අතරින් සුවිශේෂී වේ. පියාට මවගේ සිත සතුටින් තැබීමට පුළුවනි. සිත සතුටින් තිබියදී කිරි ගලා ඒම වේගවත් වේ.
ගුඩුස් යැවීමට, දරුවා නළවා ගැනීමට, දරුවාගේ නැපි මාරු කිරීමට පියා දක්වන දායකත්වය අතිශය වැදගත් වේ. මේ සමඟින් දරුවා සහ පියා අතර මනෝ සබඳතාව ද වැඩිදියුණු වේ.
අපේ සමාජය සංස්කෘතිකමය වශයෙන් ද මවුකිරි දීම ඉතා හොඳ දෙයක් ලෙස අගය කරයි. පොදු ස්ථානයකදී වුවද මවක් දරුවෙකුට කිරි දෙද්දී එය උතුම් කර්තව්‍යයක් ලෙස සලකයි.
රැකියාව කරන ස්ථානය
අපේ මවුවරු බොහොමයක් රැකියා කරන අයයි. අදාළ මාතෘ නිවාඩු මවට ලබාදිය යුතුයි. මවට කිරි දෙවීම සඳහා සහ ගබඩා කිරීම සඳහා සහන සැලසිය යුතුයි. දෙවූ කිරි නිවසට ගිය පසු දරුවාට දිය හැකියි.
රැකියාවේ නියැළෙන හෝරා කිහිපයේදී කිරි දෙවීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වන්නේ මවගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට එය රුකුලක් වන නිසාය.
මවුකිරි දීමට සූදානම් වන්නේ දරුවා උපදින්නටත් පෙර සිටය. මවුකිරි සම්බන්ධයෙන් පවත්වන සැසිවලදී ගර්භිණි මවට මවුකිරි සඳහා පවත්වන පුහුණුව අතිශය වැදගත් එකකි.
ඒ ඒ පැය ගණන්වලට අනුව නොව, කිරි ලබාදිය යුත්තේ දරුවාට අවශ්‍ය වේලාවටයි. ඒ පිළිබඳ මවට හොඳ අවබෝධයක් තිබිය යුතුය.
මවුකිරි දීම සොබාදහමෙන් ලැබුණු දෙයකි. ඒ ගැන ඇයි මේ තරම් කතාබහ කියලා කෙනකුට හිතේවි. මවුකිරි දීම සාර්ථකව කළ යුත්තකි. ඒ පිළිබඳ දැනුම්වත් වීමක් තිබීම මවකට අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නොමැති වූ විට ශ්‍රාවය වන කිරි ටික නිසි ලෙස දරුවාට නොලැබී යනු ඇත.
මවුකිරිවල අගය මව හොඳින්ම දැන සිටිය යුතුය. මවක් සුවිශේෂී කාරණයක් මත මිසක කිසි විටෙක ආදේශක කිරි වර්ගයක් දීමට කොහෙත්ම පෙළඹිය යුතු නැත.
ළදරු මිතුරු රෝහල්
මෙවැනි රෝහල් සියයක් පමණ මෙරට තිබේ. මේ රෝහල්වල පූර්ව ප්‍රසව සායන ක්‍රියාත්මක වේ. සායනවලදී මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලවලදී ද දැනුම්වත් කිරීම් සිදුවේ. මෙම රෝහල් වෙතින් ළදරු හා මාතෘ සෞඛ්‍ය කෙරෙහි මනා අවධානයක් යොමුවේ.
දරුවා ලැබෙන්නට රෝහල්ගත වූ විටදී සිටින පූර්ව ප්‍රසව වාට්ටුවලදී දරුවා පියයුර කෙරෙහි යොමු කරන ආකාරය, දරුවා අල්ලන අන්දම, පියයුර අල්ලන අන්දම… ආදී සියලු දේ පිළිබඳ හොඳ දැනුම්වත් බවක් මවුවරුනට ලබා දේ.
දරුවා ඉපදී හැකි ඉක්මනින් මවට දරුවාට කිරිදීම සඳහා ලබාදේ. මෙහිදී මුලින්ම ලැබෙන කිරි හෙවත් කොලෙස්ට්‍රම් දරුවාට මෙමිහිපිට ලැබෙන අනගි ඔසුවකි. දරුවාගේත් මවගේත් සමට සම ගැටීම මෙහිදී සිදුවේ. මව පසු ප්‍රසව වාට්ටුවලට යොමුවේ. සායනවල කියාදුන් දෑ ප්‍රායෝගිකව අත්විඳින්නට සිදුවන්නේ මේ මොහොතේ සිටය. මවුකිරි දීමේදී විවිධ ගැටලුකාරී තත්ත්වවලට මවකට මුහුණ දෙන්නට සිදුවේ. ඇය සාමාන්‍ය කාන්තාවක් වුවත් ඒ මොහොතේ සිටිනුයේ ප්‍රසූත වේදනාව ලබා ඉතා අසීරු තත්ත්වයකයි.
දරුවාට කිරි දීම සඳහා මවගේ මනස සූදානම් කිරීමේ වගකීම රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරට ගනු ලබයි. කිරි පෙවීම සම්බන්ධව ඇති ගැටලු ඔවුන් හඳුනාගනී. රෝහල්ගතව සිටියදී මේ සඳහා හෙද නිලධාරිනියන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගෙන් අවශ්‍ය උපදෙස් ලැබේ. ඒ මවුකිරි කළමනාකරණ ඒකකය හරහායි. එක් එක් මවගේ පියයුරුවල හැඩය අනුව, දරුවාගේ බර අනුව දරුවා පියයුරට සම්බන්ධ කරවන ක්‍රම එකිනෙකට වෙනස් විය හැකියි.
රෝහලින් නික්ම ගිය පසු මවට තම දරුවාට මවුකිරි පෙවීම සම්බන්ධව ගැටලු ඇත්නම් නැවත මවුකිරි කළමනාකරණ ඒකකයට පැමිණ උපදෙස් ලබා ගත හැකියි. නැතහොත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා අදාළ දැනුම්වත් වීම් ලබා ගත හැකිය.
මවුකිරි දීම සම්බන්ධව එදිනෙදා මතුවන සරල ගැටලු සඳහා පිළියම් මවුකිරි කළමනාකරණ ඒකකය ට දුරකතන ඇමතුමක් දීමෙන් ද ලබාගත හැකිවේ.
කාන්තාවක් මවක් වූ පසු ලබන සුන්දරතම අත්දැකීම නම් මවුකිරි ලබාදීමයි. මෙය එක්තරා අන්දමක අභියෝගයකි. එම අභියෝගය තනිව ජය ගන්නට නොහැක. රෝහලේ දී නම් රෝහල් කාර්ය මණ්ඩලයේත් නිවෙසේදී නම් නිවෙසේ සිටින සෙසු සාමාජිකයන්ගේත් සහාය නිරන්තරයෙන්ම අවශ්‍ය වේවි.
උපදෙස් :
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
සන්ධ්‍යා දොළුවීර
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නව ජන්ම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ
නෙත්මිණී තේනුවර