Thursday, August 14, 2025
Epaper
Home Highlightsමොරටුව සරසවිය උත්කර්ෂයට නැංවූ ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය

මොරටුව සරසවිය උත්කර්ෂයට නැංවූ ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය

දකුණු ආසියාවටම එකයි

by Thanushika

ඉටි රූ කෞතුකාගාරයක් පිළිබඳ අත්දැකීම අපට තරමක ආගන්තුක වූවකි. ශ්‍රී ලාංකේය ඉතිහාස වංශකථාවේ තවත් වටිනා සලකුණක් තබමින් මහනුවර ඉදි වූ ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය පසුගිය දිනෙක විවෘත කරන ලදී. මෙය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් වන ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ සංකල්පයක් මත ඉදිවූවකි.

මහනුවර රාජධානියේ ප්‍රධාන චරිත

මහනුවර රාජධානියේ විසූ ප්‍රධාන චරිත පාදක කරගනිමින් ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වන පරිදි මෙය නිර්මාණය කර ඇති අතර එහි ඇඳුම් ආයිත්තම් නිර්මාණයේදී මොරටුව විශ්වවිද්‍යාලය ඉතිහාසගතවන දායකත්වයක් ලබා දී තිබේ.

පසුගිය වසරේ මැද භාගයේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාව වෙතින් ලිපියක් යොමුවූයේ මහාචාර්ය විරාජිනී සහ මහාචාර්ය ගයාත්‍රී යන දෙපොලව ඇහැළේපොළ කෞතුකාගාරයේ පිළිම නෙළීමේ විශේෂ තාක්ෂණික කමිටුවට සම්බන්ධ කරගන්නා බැවින් ඔවුන්ව ඒ සඳහා මුදා හරින ලෙසයි. බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යංශය මඟින් සාදා ගන්නා ලද මෙම කමිටුවේ ප්‍රධානියා වූයේ දියවඩන නිලමේ තුමන් ය.

අදාළ චරිතයට අනුව නිවැරදි ලෙසම ඉටි පිළිමය නෙළීම හා ඓතිහාසික යුගයට අයත් සෞන්දර්යාත්මක ඇඳුම් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ඇති ප්‍රධානම අංගයන් දෙක විය. මෙම අංගයන් දෙක ගහට පොත්ත මෙන් එකිනෙක බැඳුණු එකක් විය. කලාකෘතියේ නියම ස්වභාවය ඉස්මතු වන්නේ එම අංගයන් දෙක එකිනෙක ගැළපුණු විටයි.

පිළිම 35න් 18 ක්ම

මෙම ඉටි රූ කෞතුකාගාරයේ පිළිම 35ක් ඇති අතර ඉන් 18කම ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුත්ත පැවරුණේ මෙම මහාචාර්යවරියන් දෙපළටයි. ඉටි රූප සෑදීමට නොයෙකුත් අංගලක්ෂණ එකතු කිරීමේ සිට සියලුම කර්තව්‍යයන් සඳහා පර්යේෂණාත්මක තොරතුරු පාදක විය.

මෙහිදී මහාචාර්ය විරාජිනී තම පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා පාදක කරගත්තේ කෝට්ටේ යුගයේ රාජකීය ඇඳුම්වලින් නිරූපණය වූ සන්නිවේදනාර්ථයි. මහාචාර්ය ගයාත්‍රී තම පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා පාදක කරගත්තේ මහනුවර යුගයේ ඇඳුම්ය. ඔවුන් දෙපළ මෙම අවස්ථාව සඳහා නම් කෙරුණේ ද ඒ අනුවයි. මහනුවර යුගයේ ඇඳුම් පිළිබඳ වාස්තවික අධ්‍යයනයක් කොට එක් එක් රජවරුන් පිළිබඳ, ඔවුන් භාවිත කළ රෙදි හඳුනාගෙන, මැසූ ක්‍රම හඳුනාගෙන එම චරිතයට ගැළපෙන ඇඳුම අන්දවන්නට අවශ්‍ය විය. මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා සහ නිපැයුම් ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී මෝස්තර නිර්මාණ ශිල්පි ප්‍රබෝද් මුණසිංහ ඇඳුම් නිර්මාණය කිරීමේ කර්තව්‍යයට මුලපිරීය.

පළමුවන විමල ධර්මසූරිය රජතුමා, සෙනරත් රජතුමා, දෙවන රාජසිංහ රජතුමා, දෙවන විමල ධර්මසූරිය රජතුමා, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා, ශ්‍රී විජය රාජසිංහ රජතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, රාජාධි රාජසිංහ රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කුසුමාසන දේවිය, වෙන්කත රංගමාල් බිසව, ඇහැළේපොළ කුමාරිහාමි, ඇහැළේපොළ ටිකිරි කුමාරි, ලෙව්කේ රාල, විනිසුරු ඒ

.සී.ලෝරි, සර් රොබට් බ්‍රවුන්රිග්, රොබට් නොක්ස්, සර් ජෝන් ඩොයිලි යන 18 දෙනාගේ ඇඳුම් නිර්මාණය වූයේ ඒ අනුවයි.

රජතුමන් අයිති යුගයේ විලාසිතාව යථාර්ථයක් බවට පත් කිරීමේ දී විශ්වසනීය තොරතුරු ත්‍රිමාන රූපයක් බවට පත්කිරීමේ විශේෂඥ දැනුම ලබාදීම මේ මහාචාර්යවරියන් අතින් සිදුවිය.

මහනුවර යුගයේ රාජධානි සමයේ රජවරුන්, රැජනියන් ඇඳ ඇත්තේ පිටරටින් තානාපතිවරුන් තෑගි ලෙසට දුන් අතිසුඛෝපභෝගී රෙදි පිළිය. මධ්‍යම පළාතේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සංජීවනී අමරතුංගගේ මඟ පෙන්වීම යටතේ එහි වගකීම දැරුවේ සංවර්ධන නිලධාරි ගීතිකා ප්‍රනාන්දු හරහා මීට බෙහෙවින්ම සමාන රෙදි පිළි වියන්නට විය.

විශේෂයෙන්ම නුවර යුගයටම ආවේණික වූ රාජකීය විලාසිතාවන් වූ කලිසම්, මන්ත, කබා හා සුවිශේෂී වියන ලද රෙදි නැවත එලෙසින්ම ප්‍රතිනිර්මාණයට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිණි. ඉතිහාසය සූක්ෂමව පිරික්සමින් සැබෑ තොරතුරු මත පදනම්ව නුවර යුගයේ රාජකීය විලාසිතා සම්බන්ධ මෝස්තර ප්‍රතිනිර්මාණය කිරීමේදී කණ්ඩායම් දෙකක දැඩි කැපවීම මෙයට ඉවහල් විය.

හාරගම, හුරිකඩුව, මාවතුර, දූල්වල, පෙරිහිල්වත්ත, හිඳගල, දන්තුරේ, බෝමුරේ, දොඩම්වල, කල්‍ෙපිටිය, රත්මල් කඩුව, හේවවිස්ස, කපුලියද්ද යන මධ්‍යස්ථානයන්හිදී රෙදි පිළි විවීම සිදුවිණි.

මහාචාර්ය ප්‍රියංකා විරාජිනී මැදගෙදර කරුණාරත්න

ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පේෂකර්ම සහ ඇඟලුම් ඉංජිනේරු අධ්‍යයන අංශයේ විලාසිතා සහ නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධි පාඨමාලාවේ වසර 20 පමණ සිට කටයුතු කරන්නීය.

මහාචාර්ය ගයාත්‍රී මධුභාණී රණතුංග

මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂකර්ම හා තාක්ෂණික අධ්‍යයන අංශයේ විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධි පාඨමාලාවේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය.

ස්වර්ණමය අවස්ථාවක්

ඇහැළේපොළ ඉටි රූ කෞතුකාගාරයේ මෙම කර්තව්‍යය ඔවුන්ගේ ජීවිතවලට ස්වර්ණමය අවස්ථාවක් ගෙන දෙන්නක් විය. එසේම එය හැරවුම් ලක්ෂයක් ද විය. ඉටිවලින් නෙළූ පිළිම රැගත් මෙවන් කෞතුකාගාරයක් මෙරට පමණක් නොව දකුණු ආසියාතික රටවලටම ආගන්තුක එකක් වෙයි.

රටේ සමස්ත ප්‍රතිරූපය ලෝකය හමුවේ කලඑළි බසින සැබෑ ඓතිහාසිගත රාජකීය විලාසිතා ප්‍රතිනිර්මාණය වී ඇති ඇහැළේපොළ කෞතුකාගාරය ඉදිරි අනාගතය සඳහා කළ කදිම ආයෝජනයකි. එක් පසෙකින් සංචාරක ආකර්ෂණය උද්දීපනය සිදුවන අතරම, සැබෑ ඉතිහාසය අනාගත පරපුරට පිරික්සීම සඳහා නිමැවූ නුවර යුගයේ රාජකීය විලාසිතා පිළිබඳ විද්‍යාගාරය බවට මෙම කෞතුකාගාරය අනාගතයේ පත්වනු නොඅනුමානය.

විශේෂ ස්තුතිය: මහාචාර්ය ප්‍රියංකා විරාජිණී මැදගෙදර කරුණාරත්න හා මහාචාර්ය ගයාත්‍රී මධුභාණී රණතුංග

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?