පසුගිය සතියේ මම සීතා ගැන යමක් ලීවේ දරුවන් විසි කිරීම සම්බන්ධ කරගෙනය. එහෙත් එහි ප්‍රධාන ධාරාව නම් සීතා යනුවෙන් සමාජය මූර්තිමත් කරන්නේ කුමක්ද යන්නයි. සීතා යනු ගැහැනුන්ට පර්යාය පදයක් ලෙස සමාජය සලකන්නට පුරුදු වී ඇත. පවිත්රත්වය, පතිභක්තිය වැනි බොහෝ සදාචාර සම්මත වෙනුවෙන් සීතා පරමාදර්ශයකි. පවිත්රත්වය පැවතිය යුත්තේ ගැහැනු තුළ පමණ ද? පතිභක්තිය තිබිය යුත්තේ ගැහැනු තුළ පමණ ද? පිරිමියා ගැහැනියගේ විශ්වාසය රැකිය යුතු නොවේද?
සීතා පිළිබඳ සිද්ධිය පමණක් සැලකූ විට පවා ඇගේ පවිත්රත්වය තහවුරු කිරීමට ඇයට ගින්නට පනින්න යැයි රාමා කියයි. ඇය පිරිමි යුද්ධයක ගොදුරකි. ඇය සිදු වූ කිසිවක නිර්මාණකරුවකු නොවේ. එය ඇයට සිදු වූ අපහරණයකි. ගහෙන් වැටුණු මිනිසාට ගොනා අනින්නා සේ ඇයට අවසානයේ ගින්නට පැන පවිත්රත්වය සංකේතවත් කිරීමට සිදුවීම පුරුෂ මූලික සමාජයක නිර්ණායක අනුව හැසිරීමට සිදුවීම පිළිබඳ උදාහරණයකි. ඇගේ පවිත්රත්වය නැති වූවා නම් එසේ වන්නේ ඇගේ වරදින් නොව ඇය දූෂණයට ලක් වීමෙන් යැයි සිතීමට තරම් බුද්ධියක් එම සමාජය සතු වූයේ නැත. සතුරාගේ බිරිය පැහැරගෙන ඒම, දූෂණය කිරීම එවැනි යුද්ධයක ඇති විය හැකි සාමාන්‍ය දේවල්ය. එහෙත් එසේ යථාර්ථවාදයකින් තොරව ඇයට ගින්නට පැන පවිත්රත්වය සංකේතවත් කිරීමට සිදු වේ. එවැනි වීර කාව්‍ය ආඛ්‍යානයක යථාර්ථවාදයක් බලාපොරොත්තු වීම දුෂ්කර වුවද එම කතා අපට පවසන්නේ එම සමාජයේ පැවති සදාචාර නිර්ණායකයන්ය. ගත වූ කාලය තුළ රාමාගේ පවිත්රත්වය කිසිවකු විමසුවේ නැත.
අද ද එසේමය. පවිත්රත්වය විමසන්නේ ගැහැනියගේ පාර්ශ්වයෙන් පමණි. පිරිමින්ට නාගෙන ගෙට පැමිණිය හැකිය. පිරිමියා කරන එම වරදම කරන ගැහැනියක වෛශ්‍යාවක ලෙස සැලකීමත්, සමහර විට පිරිමියා එසේ කරන විට පොරක් හෝ වැඩකාරයෙක් ලෙස සැලකීමත්, මෙම සදාචාර සම්මතයේ ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයට දෙයාකාරයකට බලපාන ආකාරය පිළිබිඹු කරයි. සමාජය පුරුෂ මූලික වීමේදී පිරිමියාට අවශ්‍ය පරිදි ගැහැනිය හැසිරවීමට හැකිය යන උපකල්පනය ගැහැනු – පිරිමි දෙපාර්ශ්වයම දැරීම එම ක්රමයේ ලක්ෂණයකි. ගැහැනිය, පිරිමියා සතු දේපළකි. ඇය අවශ්‍ය පරිදි පරිහරණය කිරීමට පිරිමියාට අයිතිය ඇත.
පිරිමි කුමන ගැහැනියක සමඟ සම්බන්ධතා පැවැත්වුවද බිරියට එය ප්‍රශ්න කළ නොහැකි අතර, ප්‍රශ්න කරන බොහෝ විට ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වේ. අතින් පයින් පහරකෑමට ලක් වීම මෙන්ම ප්‍රශ්න කරන ගැහැනියගේ හඬ, නිහඬ කිරීමට හිංසනය ආයුධයක් සේ බොහෝ තැන්හි භාවිත වේ. විවාහයට පෙර ද විවාහයෙන් පසු ද ගැහැනියගේ පවිත්රත්වය පමණක් සමාජයේ ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම ප්‍රශ්න කරති. මෙය සීතා මොඩලයයි. මෙය කොයිතරම් අසාධාරණදැයි යළිත් සිතා බැලිය යුතුය.
පවිත්රත්වය නම් සමාජ සම්මතයක් පවතිනවා නම් එය ගැහැනු – පිරිමි දෙපාර්ශ්වයටම පැවතිය යුතුය.
සංජීවනී රූපසිංහ
ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය
කැලණිය විශ්වවිලය