Thursday, August 14, 2025
Epaper
Home Highlightsෆේස්බුක් ලයික්ස්වලින් ජීවිතය මනින්න එපා

ෆේස්බුක් ලයික්ස්වලින් ජීවිතය මනින්න එපා

ගැහැනු දරුවෙක් කියන්නේ තව ජීවිත ගණනාවක් උපද්දවන කෙනෙක්. ඒ නිසා මේ ජීවිතය ලයික්ස්, කමෙන්ට් මත තීරණය කරන්න එපා.

by Thanushika

අන්තර්ජාලය කියන්නේ අමුතු තැනක්නේ. අන්තර්ජාලය කිව්වම කාටත් මුලින්ම මතක් වෙන්නේ සෝෂල් මීඩියා. මොකද අද ජීවත් වෙන හැමෝම ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවන්නේ සෝෂල් මීඩියා ඇතුළේ. ඒ නිසා අවුරුදු 15 ඉඳලම දැන් ඉන්නේ සෝෂල් මීඩියා එක්ක අතරමං වුණු තරුණ පරම්පරාවක්. ඉතින් මේ තරුණ පරම්පරාව ලෝකය දකින්නේ ඒ ඇහෙන්. හරි විදිහට ලෝකය දකින්න නම් ඉන් එහා ලෝකය ගැන හිතන්නම ඕනේ. ජීවිතය දිනන්න, ගොඩයන්න, නැඟිටින්න හරිම වෙලාව ඇවිත් කියලා හිතන්න මේ මොහොතත් ඇති.

මේ ලෝකය ඉස්සරහට යන්නේ කාන්තාව නිසා. ඉදිරි පරම්පරාවට උපත දෙන්නේ ඇයයි. ගැහැනු දරුවා කවදාහරි දවසක පවුලක මවක් වෙනවා. තව දරුවන් බිහි කරන චරිතයක් වෙනවා. හැබැයි ඉස්සර ගැහැනියයි දැන් ගැහැනියයි සංසන්දනය කරලා බැලුවොත් දැන් ගැහැනිය ඉන්නේ සෝෂල් මීඩියා තුළ අතරමං වෙලා. එයා ජීවිතය හොයන්නේ සහ එයාගේ සාර්ථකත්වය හොයන්නෙ එයාට ලැබෙන ලයික්ස් ගාණෙන්, කමෙන්ට්ස්වලින්. සින්තටික් ලෝකෙකට පරම්පරාව ගිහිල්ලා.

ඉගෙන ගත්තොත් වාහන ගන්න, ගෙවල් ගන්න පුළුවන් කියලා හිතලා ගොඩ යන අයත් ඉන්නවා. හැබැයි වැඩිදෙනෙක් තාවකාලික ආකර්ෂණය සහ තාවකාලික ආදරයනේ මේ සෝෂල් මීඩියා ඇතුළේ හොයන්නේ. ඉතින් සෝෂල් මීඩියා එකට බැණලා වැඩක් නැහැ. තරුණ දරුවන් ෆේස්බුක් එක ජීවිතය කරගෙන ප්‍රධාන වටිනාකම් නැති කරගන්න එපා.

දැන් සෝෂල් මීඩියා කියන එක මිනිස්සුන්ගේ ජීවිතවල ස්වභාවය මනින මිනුම් දර්ශකයක් වෙලයි තියෙන්නේ. මම කැතයි, මම කළුයි. ඒ නිසා ෆිල්ටර්ස් දාගෙන මම ලස්සන වෙන්න ඕනේ, සුදු වෙන්න ඕනේ, කියලා ලෝකෙට වෙනස්ම ප්‍රතිරූපයක් පෙන්වන්නයි උත්සාහ කරන්නේ. ඒක බරපතළ ඛේදවාචකයක්. පරිණත බුද්ධියකින් ඉන්න අය නම් මේ විදිහට හැසිරෙන්නේ නැහැ. සමහර අම්මලා ඉන්නවා සෝෂල් මීඩියා එක ඇතුළේ තම දරුවන්ව ටික්ටොක් එකේදී මුදා හරිනවා. මාස 6ක දරුවෙක්ව ඒ දරුවගේ කැමැත්තකින් තොරව වීඩියෝ එකක් කරලා මෙහෙම දැම්මාම ඒ දරුවා ලොකු වෙලා ඒක දකිද්දි ඒකට කැමැත්තක් නැත්නම් ඇයි අම්මා මේ විදිහට ලෝකයටම මාව පෙන්නුවේ කියලා ඇහුවොත්, ඒ අම්මට කියන්න දෙයක් නැති වෙනවා නේද?

“මම ලස්සනයි. මගේ ඇඟේ තියෙන අවයව ටික ලස්සනයි. මේක පෙන්නලා ලොකු පිරිසක් මට ආකර්ෂණය කරගන්න පුළුවන්” කියලා හිතන අදහස ඇතිවන්නේ හෝ “මම ඉතාම අවලස්සනයි. මට කොහෙ ගියත් දෙයක් කරගන්න බැහැ හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙනවා.” කියලා ඉතාම සෘණ ආකල්ප ඇති කරගන්නේ මේ වයසෙදි.

මම ශිෂ්‍යත්වේ සමත් වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තේ. එහෙම ලොකු ලස්සනක් තිබුණු කෙනෙක් නෙවෙයි. මම සුදු නැහැ. තලෙළු සමක් තිබුණේ. පාසලේදී වගේම ගොඩක් තැන්වලදී “අර ඩාර්ක් ගර්ල්” කියලා තමයි මං ගැන ආමන්ත්‍රණය කරලා තිබුණේ. දැන් කාලයේ ළමයෙක්ට එහෙම වුණොත් වෙන්නේ ළමයා උපරිම මානසිකව වැටිලා එයාගේ ඉගෙනීමත් කඩාකප්පල් කරගන්නවා. ලස්සනට ගිය එයාගේ ජීවිතය එතැනින් ඉවර කරගන්නවා. එයා එයාව සසඳන්නේ සෝෂල් මීඩියා එකේ දකින අනිත් අය දිහා බලලා. මට ගොඩනඟා ගන්න පුළුවන් දේවල් මොනවද? උපතින් ලැබුණු රූපය පිරිසුදුව, ලස්සනට පවත්වාගෙන යන්නේ කොහොමද? මම මගේ කුසලතා තව දියුණු කරගන්න කොහොමද කියන එක ගැනයි හිතන්න ඕනේ. “මට ඕනේ සමාජයේ ආකර්ෂණය නෙවෙයි, සමාජයේ පිළිගැනීම සහ ගෞරවය” කියන එක තමයි දරුවකුට ඔළුවට දාන්න ඕනේ.

පවුලේ අයගෙන් සහ මගේ ජීවිතයට එකතු වෙන අයගෙන් ආදරය ලැබුණාම ඇති කියලයි මම හිතන්නේ. හිතමු මම සිනමා තාරකාවක්, ගායිකාවක් වෙලා මම පොදු වස්තුවක් වුණොත් ඒ විදිහේ පොදු ආදරයක් ලැබෙන එක හොඳයි මගේ වටිනාකම වැඩි කරගන්න. නමුත් පෞද්ගලික ජීවිතයක් ගෙවන කෙනෙක්. පොදු ආදරයක් ලබා ගන්න කලින් පවුලේ ආදරය දිනාගන්න ඕනේ.

සෝෂල් මීඩියා ඇතුළේ හාර්ට් ගන්න ද මම ජීවත් වෙන්න ඕනේ? ඒ හාට් ගන්න එක මත නම් තරුණ දරුවෝ ජීවිතය ප්ලෑන් කරන්නේ ඒක බරපතළ මානසික ඛේදවාචකයක්. සෝෂල් මීඩියා ඇතුෙළ් ලයික්ස්, හාර්ට්ස්, ෆිල්ටර්ස් කියන්නේ කෘත්‍රිමව නිර්මාණ කරන ලද්දක්. නැතුව ඇත්තක් නෙවෙයි. දැන් හැමෝගෙම තියෙනවා ඇත්ත ප්‍රතිරූපය සහ සමාජ මාධ්‍ය ප්‍රතිරූපය කියලා දෙකක්. අපේ කාලයේ ඔහොම දෙකක් තිබුණේ නැහැ. අපිට තිබුණේ එකයි. දැන් සමාජ මාධ්‍යවල සැරිසරන අය ශරීරයේ ඕ‍ෙන් අවයවයක් විවෘත වුණාවේ කියන තැන ඉන්නවනේ. මොකද ඒකට ලැබෙන කමෙන්ට්ස්, ලයික්ස් ගණන සතුටක්. ඒක වයස් භේදයකින් තොරව මානසික ඇබ්බැහි වීමක් බවට පත්වෙලා.

එක තැනක ඉඳලා පොතක් කියවන්න, පාඩම් කරන්න තරම් දැන් අයට සංයමයක් නැහැ. දැන් කාලේ අයට ඕනේ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. ඉස්සර වගේ ලියුමක් ලියලා, ඒ ලියුමට කවියකුත් ලියලා ඒකට උත්තර එනකම් ඉන්න තරම් දැන් ඉවසීමක් නැහැනේ. ආදරය කරද්දි වුණත් ඉතාම හදිස්සියි. මැසේජ් එක යවන්නෙත් කෙටියෙන්. ඒකට උත්තරය ඉක්මනින් ආවේ නැත්නම් කේන්ති යනවා.

විදේශිකයන් හරිම නිදහස් කිව්වට ඔවුන් අනිත් අයගේ වචනවලට ඉතාම ගරු කරනවා. “අනෙක් කෙනාගේ මානසික සෞඛ්‍යයට මම බාධාවක් නම් මමම අයින් වෙන්න ඕනේ.” කියලා අයින් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කාගෙවත් මත රඳා පවතින්නේ නැහැ. “මම ගන්නේ හරි තීරණයක් ද? ඒකෙන් ඇතිවන ප්‍රතිවිපාක මමම දරාගන්නවා.” ඒක තමයි බටහිර රටවල සංස්කෘතියේ ශක්තිමත් බව. හැබැයි මෙහෙ එහෙම නැහැ. අපි අවුරුදු 18 වෙනකම් ඇස් දෙක වගේ දරුවෝ ටික හදලා ඒකෙන් පස්සෙත් ඒ ළමයින්ට තනියම වැඩක් කරගන්න බැහැ. මේ දරුවෝ අම්මලා, තාත්තලාගෙන් කාලා බීලා සෝෂල් මීඩියා එකේම ඉඳලා, එයා යන්න ඕ‍ෙන තැන දන්නෙත් නැහැ, කරන්න ඕනෙ දේ තේරෙන්නෙත් නැහැ. කසාදයක් බඳින දවස වෙනකොට එයා මෝරලා නැහැ හරි තීරණ ගන්න. ගන්න තීරණවල හොඳ, නරක දරාගෙන ඊළඟ පියවරට යන්න තරම් මානසිකව ශක්තිමත් නැහැ. පසුගිය කාලයේ සියදිවි නසා ගත් ගොඩක් දරුවන් අම්මලා තාත්තලගේ ප්‍රශ්න නිසා නෙවෙයි එහෙම කරගෙන තියෙන්නේ. ටීචර් බැන්නා. හොඳම යාළුවා තරහ වුණා. පෙම්වතා වෙන කෙනෙක් එක්ක යාළු වුණා. ඒ වගේ දේවල්වලට. එච්චර බොළඳ සහ ඉවසීමක් නැති තැනට ගැහැනිය පත් වුණොත් මුළු පවුලක්ම විනාශ වෙන්න පුළුවන්.

ගැහැනු දරුවෙක් කියන්නේ තව ජීවිත ගණනාවක් උපද්දවන කෙනෙක්. ඒ නිසා මේ ජීවිතය ලයික්ස්, කමෙන්ට් මත තීරණය කරන්න එපා. තමන්ගේ වටිනාකම් සහ හැකියාවන් දියුණු කරගනිමින් මේ ගමන කල්පනාවෙන් ඉදිරියට යන්න.

 

 

උපදෙස්

ගෝලීය කාන්තා සවිබලගැන්වීමේ පදනමේ

පවිත්‍රා අමන්දි කුලසිංහ

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?