‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග්‍රහය තුළින් 2010 පාඨකයන් අතරට පැමිණ “සෙංකොට්ටං, අපොයියාව, මාණික්කාවත” නවකතා තුළින් සිය ගමන් මඟ හෙළි පෙහෙළි කරගනිමින් සහෘද පාඨක සිත් සතන් තුළට සොබාදහම මුසුකරගත් නැවුම් අත්දැකීම් සම්භාරයක් ආදරණීයව ප්‍රකාශ කළ නවකතාකරුවා ඔහුයි. ඔහුගේ ‘මැයි මාර ප්‍රසංගය’ නවකතාව අතිශයින්ම ජනාදරයට පත්ව තිබියදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟ කළ සොඳුරු කතාබහකි මේ.
අතිශය සුන්දර චමත්කාරජනක පරිසරයක ඔබ ගත කළ ජීවිතයේ මුල් අවධිය ගැන සිහිපත් කළහොත්?
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නගරාසන්නයේ මස්ඉඹුල ගම ගොවිතැන මූලික කරගත්තු මිනිසුන් ජීවත් වුණු ප්‍රදේශයක්. එහි පරිසරය ගැන කියද්දී සුන්දර චිත්‍රයක් වගේ ලස්සන ගමක මම හැදෙන්නේ. කලාව ගැන අදහසක් ඇතිවෙන්නෙත් වෘත්තීය වශයෙන් නැති වුණත් කලාවම මූලික වුණු නිෙවසක් සහ ගම්මානයක් තුළ මට ජීවත්වෙන්න ලැබුණු නිසා. මගේ තාත්තා ගොවිතැන් වැඩ කළා. පතල් වැඩ කළා. කුලීකරුවෙක් හැටියට. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු ගමේ සියලුම කලා කටයුතු කළ කෙනෙක්. මඟුල් මඩු, පිරිත් මණ්ඩප, තොරණ ආදියේ සියලු සැරසිලි කටයුතු කඩදාසි හෝ ගොක්කොළවලින් නිර්මාණය කළා. මගේ ජීවිතය සකස් වෙන්නේ ඔහුට අනුව. ඔහු ඒවායේ කැටයම් කපනකොට යකඩ කටු තිය තියා මිටියකින් ටක් ටක් ගාලා ගහන කොට එන ශබ්දය කුඩාම කාලෙ ඉඳලා රිද්මයක් හැටියට සටහන් වුණා මගේ ජීවිතේට. ඒ වගේම මගේ තාත්තා පතල්වල වාඩි ගහගෙන පිරිසක් එක්ක එළිවෙනතුරු සින්දු කියනවා. ඒ අතරින් අපේ තාත්තාගේ ගී හඬ තමයි වැඩියෙන්ම ඇහෙන්නේ. ඒ අතර මගේ කිරි අම්මත් කවියත් එක්ක ජීවිතේ ගත කරපු කෙනෙක්. යම්කිසි තාලයක් මුමුණමින් ඇය හැම වැඩ කටයුත්තක්ම කළේ. වෙන වරප්‍රසාද මට නැති වුණත් කලාකාමී හිත් තියෙන අය මට දකින්න ලැබුණා.
පාසල් ජීවිතය තුළ මම අදක්ෂ ළමයෙක්. පන්තියේ පිටුපසම පේළියේ ඉඳලා පන්ති කාමරේ දැකපු මනෝ චිත්‍රයක් මට තියෙන්නේ. මට අවුරුදු 9 – 10 වෙද්දි මම කල්පනා කළේ කිරි අම්මට වඩා කවි දන්න, තාත්තට වඩා කලාව දන්න කෙනෙක් වීමට. ඔවුන් අබිබවා යෑමට මට වුවමනා වුණා.
කවියෙක්, නවකතාකරුවෙක් දක්වා ඔබේ පැමිණීම සිදුවන්නේ…..
මගේ පළමු කවි පොත “හිරුත් හිම පියල්ලක” 2010 ඒක හුඟාක් කතාබහට ලක්වුණා. මිනිස්සු හොයන්න ගත්තා කවුද මේ මස්ඉඹුල කියන්නේ කියලා. දීර්ඝකාලීනව පත්තරවලට කවි ලියලා ලබා ගත්තු අත්දැකීම් එක්ක තමයි කවි පොත රචනා වුණේ. කවිය අපට හරි ළඟයි. අපේ ගමේ බීපු මිනිහෙක් වුණත් කවි කියනවා. මගේ දෙවැනි කවි පොත “ඇහිපියන් ඇහැරිලා” 2012 රචනා කළා. නවකතාකරුවෙක් වෙන්න මට සිහිනයක් තිබුණේ නැහැ. මට අත පොවන්න බැරි දෙයක් හැටියටයි මම ඒක දැක්කේ. ඒක මහා දැවැන්ත දෙයක් විදිහට පෙනුණා. මුතු කිරිල්ලි ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරද්දී මට පෙනෙන්න ගත්තා ටෙලිනාට්‍යවල තියෙන පරිහානිය. මට එකපාරට ආපු අදහසක් තමයි වෙනස් විදිහේ තිර නාටකයක්, සමාජමය කතාවක් ලියන්න ඕනෑ කියලා. ඒ අදහසට අනුව තිර නාටකයක් ලිව්වා කොටස් හයක් විතර ලිව්වට පස්සේ ඒක නවකතාවකට හැරෙව්වා. “සෙංකොට්ටං” නවකතාව 2012 දී නිර්මාණය වුණේ ඒ ආකාරයට. ඒ නවකතාව ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. සම්මාන හුඟක් ලැබුණා.
“මාණික්කාවත” ප්‍රබන්ධ කතාව 1880 – 1980 දක්වා කාල පරාසයක දිවෙන නවකතාවක්. එය ඔබට සමීප සමාජ පරිසරය සමඟ බැඳුණු කතාවක් නේද?
“මාණික්කාවත” මට ටිකක් සමීපයි. “සෙංකොට්ටං” වුණත් එහෙමයි. සබරගමු ජන ජීවිතය ගැන “සෙංකොට්ටං”වලට කළ හැදෑරීම් ගොන්නක් තිබුණත් ඒකට අවශ්‍ය වුණේ ටිකයි. මම හිතමින් හිටියා මගේ ප්‍රදේශයේ ඉතිහාසය, මම දන්නා පරිසරයේ ඒ ගහ කොළ, ඒ ජන ජීවිතය මුල් කරගෙන කතාවක් ලියන්න ඕනෑ කියලා. ඒක දැවැන්ත කතාවක්. වසර සියයක් පුරා දිවෙන පරම්පරා හතරක කතාවක්.
ඒ කතාව තුළින් ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණා.
ඒ කතාව තුළින් ටෙලිනාට්‍යයක් කරන්න පුළුවන් කියලා හිතුවේ නැහැ. ඒක රූප මාධ්‍යයට ගන්න අමාරුයි. ඇත්තටම ඒක අභියෝගයක්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එහි නිෂ්පාදකවරයා ෂාහීම් මවුජුඩ් ඒ අභියෝගය භාරගත්තා. විශාල පිරිවැයක් යොදලා ඒක නිර්මාණය කළා. ඒ වගේම සුදත් රෝහණ අධ්‍යක්ෂවරයාගේ දක්ෂකම හා කැපවීම මත ඒ ටෙලිනාට්‍යය සාර්ථක කරගන්න පුළුවන් වුණා. එහි තිර නාටකය රචනා කළේ මම.
වයස් භේදයකින් තොරව අවධානයට ලක් වෙමින් තිබෙන ‘මැයි මාර ප්‍රසංගය’ නවකතාව පිළිබඳ සඳහන් කළොත් . . . .
‘මැයි මාර ප්‍රසංගය’ ටිකක් වෙනස් කතාවක්. එහි මූලිකයා වෙන්නේ ‘සමිධ’ කියලා වර්තමානයේ තරුණයෙක්. සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස්. ඒ වෙනස්කම නිසාත් භාෂා භාවිතයේ වෙනස්කම් නිසාත් හුඟක් ජනප්‍රසාදයට පත්වුණා. අදටත් කතා කරන පොතක් බවට පත්වෙලා තියෙනවා. සම්මාන ගොඩක් ලැබුණා. ඒ පොත ඇතුළේ මගේ ජීවිතයේ අත්දැකීම් මාත්‍රයක් ඇතුළත් වෙලා තියෙනවා. මම ලියන්නට සිතමින්, සිහින දකිමින් ඉන්න කාලේ හමුවුණු කෙනකුගේ අත්දැකීමක් බලපා තියෙනවා. වෙනස් විදිහේ ආදරයක්. එහි ආකෘතිය හදාගන්න එක මට අභියෝගයක් වුණා. අවසාන වශයෙන් බලද්දි හැමෝම ඒ නවකතාව සෙනෙහසින් වැලඳ ගත්තා. ඒක මට අප්‍රමාණ සතුටක්. ඒක නවකතාවකින් නතර නොවී මා මූලික වී කළ ගීතයක් හා තවත් ගීත පහළොවක් පමණ නිර්මාණය වෙලා තියෙනවා. චිත්‍ර නිර්මාණ, ඇඳුම් මෝස්තර ආදියත් නිමෙවලා තියෙනවා. පොදු මිනිසුන්ගේ ආදරය පිළිබඳ සංවේදීතාව තුළ මිනිස්සු හොයන සංවේදී ලෝකයක් තියෙනවා. ඒක හමුවුණාම මිනිස්සු ඒකට සංවේදී වෙනවා.
ආදරය පිළිබඳ ඔබේ හැඟීම මොකක්ද?
මට ආදරය පිළිබඳ දැනෙන අදහස්ම තමයි මගේ කෘතිවලින් කියැවෙන්නේ. ප්‍රේමයේ මූලික ගුණාංග මගේ කෘතිවලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රේමය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳ මා දරන අදහසට ප්‍රතිවිරුද්ධව කිසිවක් මා කියලා නැහැ. ‘මැයි මාර ප්‍රසංගය’ පමණක් නොවෙයි අනෙක් හැම කෘතිවලමත් එහෙම තමයි. කුමන හෝ ප්‍රේමයක් පිළිබඳ සැඟවුණු උත්තේජනයක් තියෙනවා.
කාන්තාවෝ, යෞවන යෞවනියෝ, දරුවෝ විවිධ තරාතිරම්වල අය මට ආදරය දක්වනවා. ඔවුන් ආදරය කරන්නේ මගේ සිතුවිලිවලට. ඒක හැම සාහිත්‍යකරුවකුටම අඩු වැඩි වශයෙන් තියෙනවා.
‘මැයි මාර ප්‍රසංගය’ නවකතාව සිනමාවට ප්‍රතිනිර්මාණය කිරීම ඔබ විසින් සිදුකරනවා.
ඒක ලොකු අභියෝගයක්. සිනමාව ගැන කියවා ලබාගත් දැනුමක් මට තිබුණා. ඉස්සර අපේ තාත්තා පොළට ගියාම නොවැරැදීම සරසවිය පත්තරේ ගේනවා. ඒක මුළු සතිය පුරාම කටපාඩම් වෙනකම්ම කියවනවා. මම වෘත්තීයමය වශයෙන් සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කර තිබුණත් සහය අධ්‍යක්ෂවරයෙක් වීම අධ්‍යක්ෂණයට ඒ තරම් පිටිවහලක් වන්නේ නැහැ. මෙහි තිර නාටකය සකස් කරද්දී එහි මූලික හැඩතල සකස් කරගන්න චාලක රණසූරිය හවුල් කරගත්තා. මෙහි තිබෙන සියුම් මානසික ඝට්ටනය මතුකර ගැනීමට උත්සාහ කළා. මෙය ගැටුම් සහිත කතාවක් නෙවේ. ඕනෑම ප්‍රබන්ධයක සිනමා හැඩයක් තියෙනවා. ඒක තමයි අප හොයාගත්තේ. එය සාර්ථකද යන්න මා දන්නේ නැහැ.
ජීවිතය දෙස ආපසු හැරී බලද්දී ඔබට දැනෙන දේ මොකක්ද?
අපේ ජීවිතවල මුල ගත්තම අග හිඟකම්වලින් පිරුණු ජීවිතයක් අපට තිබුණා. අපිට අධ්‍යාපනයෙන් ඉදිරියටම යන හීනයක් තිබුණේ නැහැ. කුමන හෝ රැකියාවක් කර ජීවත් වෙන්න තමයි හිතුවේ. කොහොම වුණත් කලාවේ කොහේ හරි තැනකට යන හීනේ නම් මා තුළ තිබුණා. මගේ මවුපියෝ ගැන, විශේෂයෙන්ම අම්මා ගැන මට ලොකු ගෞරවයක් තිබෙනවා. දරුවෝ සතුටු වෙන විදිහට කටයුතු කරන්න අම්මා කොයිතරම් මහන්සි වෙන්න ඇතිද? කොයිතරම් බඩගින්නේ ඉන්න ඇතිද කියලා මට දැන් කල්පනා වෙනවා.
මා විසින් හිතේ ඇතිකරගත් ධෛර්යය, කැපකිරීම් ආදිය නිසා අද මේ කතා කරන තැන දක්වා මම ඇවිල්ලා තියෙනවා. තව හිතට දැනෙන නිර්මාණ තුන හතරක්වත් කළොත් හොඳයි කියලා හිතනවා. මගේ ගමන දිහා ආපහු හැරිලා බලද්දී තද ඝන වැහි වලාකුළක් දෙකට පළාගෙන ආ වැස්සක් වගෙයි.