Thursday, August 14, 2025
Epaper
Home කලා ලොවරංගනයේ නිම්වළලු අතික්‍රමණය කළ සංගීතා

රංගනයේ නිම්වළලු අතික්‍රමණය කළ සංගීතා

by Thanushika

90 දශකයෙන් පසු ලාංකේය සිනමාවේ සංකීර්ණ හා අභියෝගාත්මක චරිත රැසකට රංගනයෙන් දායක වෙමින් එකී චරිත විශිෂ්ට ලෙස නිරූපණය කළ රංගන ශිල්පිනියන් අතර සංගීතා වීරරත්නට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

1991 දී රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම්‘ චිත්‍රපටයෙන් හා පුරා කියා සිනමා රංගනයට පිවිසෙන ඇය මේ වන විට චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇත. එම චිත්‍රපටවල චරිත නිරූපණයන් අතර බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’, උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුභාර්යා’, වසන්ත ඔබේසේකරගේ ‘දොරකඩ මාරාව’, එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘සප්ත කන්‍යා’, ප්‍රසන්න විතානගේ ගේ ‘පවුරු වළලු’, බූඩි කීර්තිසේනගේ ‘මිල්ලේ සොයා’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාර්කටින්’ ආදී චිත්‍රපටවල ඇගේ රංග කාර්යයන් වෙසෙසින් කැපී පෙනිණි. එකිනෙකට වෙනස් වූ එකී චරිතවල ගතිකත්වයන් හා ළය මානයන් සියුම් ලෙස හඳුනාගන්නට සංගීතාට හැකි වී ඇති බව ඒ රංග කාර්යයන් සාක්ෂි දරයි.

බෙනට් රත්නායකගේ ‘අස්වැසුම‘ චිත්‍රපටයේ මැණික් ගලක් හිමි කරගන්නට යන පුරුෂයන් කිහිප දෙනෙකුගේ හිංසනයට මැදිව වරෙක ඊට ගොදුරු වෙමින් ද, තවත් විටෙක ඊට එරෙහි වෙමින් ද දිවි හිමියෙන් සටන් කරන ගැහැනියක ලෙස ඉතා අසීරු චරිත නිරූපණයක යෙදෙන්නට සංගීතාට සිදුවූ අතර එය සාර්ථක ලෙස ජයගන්නට ඇය සමත් වූයෙන් චරිතාංග නිළියක ලෙස සංගීතා වීරරත්න කැපී පෙනෙන්නට වූවාය.

උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුභාර්යා’ චිත්‍රපටයේ සංගීතාගේ රංගනය අතිශය ප්‍රශස්ත මට්ටමක තිබුණි. එහි තේජා ලෙස සංගීතාට නිරූපණය කරන්නට සිදුවූයේ හැම අතින්ම අභියෝගාත්මක චරිතයකි. විටෙක අතිශය ශෘංගාරාත්මක වූත්, අනුරාගී වූත් හැඟීම් මුදාහැරීමට මෙන්ම තවත් විටෙක කෝපය, ද්වේෂය හා වෛරය මුදා හරිමින් අති බිහිසුණු ලෙස හැසිරෙන තේජා නමැති ගැහැනියකගේ භූමිකාව නිරූපණය කිරීම අභියෝගයක් වන්නේ සමස්ත සමාජයේ සුචරිතවාදීන්ගෙන් ඊට එල්ල වන විරෝධයට ද මුහුණ දෙන්නට වන බැවිනි.

රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට චිත්‍රපටයක අන්තර්ගත පුවතට අදාළ සිදුවීම් සහ අවස්ථා අනුව සහ චරිතයේ ස්වභාවය අනුව සිප වැලඳ ගැනීම් මෙන්ම ලිංගික ජවනිකාවලට පෙනී සිටින්නට සිදුවීම ස්වභාවිකය.

එවකට තරුණ නිළියක ලෙස සංගීතා ඒ අභියෝගය භාරගෙන බහුභාර්යා චිත්‍රපටයේ තේජාගේ චරිතය සතු සියලු ගතිලක්ෂණ විශිෂ්ට ලෙස නිරූපණය කළ නමුත්, චිත්‍රපටය තිරගත වූ අවස්ථාවේදී එම රංගනයට එරෙහිව නැගුණු සුචරිතවාදී රැල්ල නිසා සංගීතාගේ රංගනයේ ප්‍රශස්ත බව කතා කරන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.

විවාහක පුරුෂයකු සමඟ පැවැත්වූ ලිංගික සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන දරුවකු දඩමීමා කරගෙන එම පුරුෂයා පසුපස යමින් මුදල් ගරා ගන්නා තැ‍රැව්කාරියක ලෙස තේජා අවසානයේ මුහුණ දුන්නේ ‘දඩයම’ චිත්‍රපටයේ රත්මලී මුහුණ දුන් ඉරණමකට සාපේක්ෂ ඉරණමකටය. වරෙක තේජාගේ අභියෝග හමුවේ කෝපාවිෂ්ට වන විවාහක පුරුෂයා විසින් පදවාගෙන යන වාහනයෙන් එළියට ඇද දමන අවස්ථාවත්, මහ පාර මැද ඇදවැටෙන ඇය වාහනයේ දොරට හසු වූ සාරිපොට ඔස්සේ වාහනය සමඟ පාර දිගේ ඇදී යන අවස්ථාවත්, වාහනය තුළ ගමන් ගනිද්දී විවාහක පුරුෂයා සමඟ බහින්බස්වන අවස්ථාවත් අපට ‘දඩයම’ චිත්‍රපටයේ රත්මලී සිහියට නංවයි. නමුත් එහිදී සංගීතා තේජාට ආවේණික වූ ගතිලක්ෂණ සතර අභිනයෙන්ම පිළිබිඹු කරමින් එම චරිතයේ අනන්‍යතාව රැක ගන්නට සමත් වෙයි.

එම දුෂ්කර රංගනයේදී ශෘංගාරාත්මක අවස්ථාවලදී සංගීතාගේ මුහුණේ ඇඳුණු අනුරාගී ඉංගිතයන් මෙන්ම අකාරුණික ලෙස පුරුෂයා පසුපස හඹා යමින් ඔහුටත්, ඔහුගේ බිරියටත් එල්ල කරන අභියෝගවලදී මුහුණේ මැවුණු කෝපාග්නියේ කිරණ ඇගේ දෑසෙන්, දෙතොලෙන් පිටවනුයේ වෙඩි උණ්ඩ මෙනි.

‘පවුරු වළලු’ චිත්‍රපටයේ අසම්මත ප්‍රේමයක් හමුවේ සිය මවට මුහුණදෙන්නට සිදුවූ සමාජ අපවාදයන් නිසා තම විවාහය ද අත්හැර දමන්නට සිදු වූ දියණියකගේ භූමිකාවට සංගීතා පණපොවන්නේ ද සියුම් ලෙස එම චරිතයේ ගතිලක්ෂණ මැනවින් ග්‍රහණය කර ගනිමිනි.

ඉහත සඳහන් සංකීර්ණ චරිත නිරූපණයන් කරන අතරම විනෝදාත්මක සිනමාව තුළ සැහැල්ලුවෙන් දුවපැන ඇවිදින චරිත ද නිරූපණය කරමින් පොදුජන ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට ද සංගීතා සමත්වීම ද විශේෂත්වයකි. දඟකාර බටහිර නිළියක සිහිගන්වන කෙළිලොල් මෙන්ම හැඟීම්බර මුහුණක්, දිදුලන දෑසක්, සිනාසෙන විට වළගැසෙන දෙකොපුලක් සහිත දේහ ලක්ෂණ ද සංගීතා සතු වීම තුළින් එකී විනෝදාත්මක සිනමාව තුළත් ඇයට සිත් සේ පිනුම් ගසන්නට හැකි වූ බව පෙනේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?