Thursday, August 14, 2025
Epaper
Home කෙටි කතාවලොකු තාත්තා

ලොකු තාත්තා

කෙටිකතාව (02 කොටස)

by Thanushika

දිනක් ලොකු තාත්තා ආ විටෙක ඔංචිලි පදින්නට ආසා බව මම පැවසීමි. ලොකු තාත්තා මගේ අතින් අල්ලාගෙන නි‍ෙවසට තරමක් නුදුරින් වූ ළමා උයනට ගියේය. ළමා උයනකැයි කීවද එහි වූයේ ඔංචිල්ලා දෙකකුත්, මලකඩ කෑ සීසෝවකුත් පමණි. ඒ වනවිටත් ළමුන් දෙදෙනෙක් ඔංචිල්ලා පදිමින් හුන් බැවින් මම ඔංචිලා දෙක බැඳ තිබූ යකඩ කණුවට පිටදී බලා උන්නෙමි. ටික වේලාවකින් එක් ළමයෙක් බැස ගිය අතර මම ඊට ගොඩවීමි.

හිතේ හැටියට පදින්නට ඉඩක් නොවූයේ වැඩිහිටියකු පැමිණ “දැන් මදෑය මේ ළමයටත් පොඩ්ඩක් දෙන්න.” යැයි කියමින් මා එයින් බැස්ස වූ බැවිනි. එවේලේ ලොකු තාත්තා උන්නේ ගුණදාස මාමා සමඟ කතාවක පැටලීය. මම දිව ගොස් ලොකු තාත්තාගේ අතේ එල්ලුණෙමි. “මහ උන්නේ විපරීතවලට අපරාදේ උඹල විඳවනවා.” මා දෙස ද බලමින් ගුණදාස මාමා පැවසීය. “යන්නම් ගුණදාස අයියේ” කියමින් ලොකු තාත්තා මගේ අතින් අල්ලාගෙන පිටත් විය. වදනකුදු නොදොඩමින් ආ ඔහු අතරමගදී පීටර් මාමාගේ කඩකෑල්ලට ගොඩවී ලණු කැරලි දෙපොටක් මිලට ගත්තේය. නි‍ෙවසට ආපසු පැමිණි පසු මිදුලේ කෙළවර තිබූ අඹ ගසේ මට ඔංචිල්ලාවක් බැඳ දුන් අතර නැවත කිසි දි‍ෙනක මා කැටුව නි‍ෙවසින් පිටතට ගිය වගක් මට මතක නැත. ලොකු තාත්තා දවල් බතෙන් පසු අම්මා සමඟ කතාබහෙන් පසුවන අතර ඔහු නැවත නික්ම යන්නේ සවස තේ වේල ද භුක්ති විඳීමෙන් අනතුරුවය. සවස තේ මේසයට කිතුල්පැණි යහමින් දැමූ වැලිතලප පිඟාන ද නොවැරදීම ඇත්තේ ඒ ද ලොකු තාත්තාගේ ප්‍රියතම අහරක් වූ බැවිනි.

ලොකු තාත්තා හදිසියේ රෝහල්ගත කර ඇති බවට ගුණදාස මාමා ආරංචිය ගෙනෙන විට මම පාසලේ දහවැනි ශ්‍රේණියේ උන්නෙමි. “හාට් ඇටෑක් එකක්ලු. තාම කතා කරන්න දෙන්නෙත් නෑ.” රෝහලට ගොස් පැමිණි අම්මා කීවාය. අප නි‍ෙවසට පැමිණි ඇතැම් දිනවල ඉඳහිට ඇතිවෙන පපුවේ ඇවිලිල්ලක් පිළිබඳ ඔහු කී බවක් මගේ සිහියට නැඟෙයි. “බෙහෙතක් ගත්ත නම් නේද හොඳ” අම්මා පැවසූ විට “මෙයා දොස්තර නෝනෙක් වුණාම ගන්න බැරියැ.” කියූ ඔහු මදෙස බලා සැහැල්ලු සිනාවක් හෙළුවේය.

“පුතේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.” අම්මාගේ වචන වෙනදාට වඩා බර බව මට දැනුණි. ඇය මහා දිග කතාවකට මුලපිරීමට වදන් ඇහිලුවාය. “අපි හිතුවෙම එයාගේ අම්මා කවදහරි කැමැත්ත දෙයි කියලා. එයාට හිටියෙත් අම්මා විතරමයි. ඒ අම්මව තනි කරලා අපි ළඟට එන්න කියන්න තරම් හයියක් මට තිබුණේ නෑ. දැන් අම්මටත් සෑහෙන වයසයි. අම්මා කියාගෙන ගියාය. “ඔයාගේ කටින් තාත්තා කියලා අහගන්න වාසනාවක් නොතිබ්බට එයා අපිට කිසි අඩුවක් කරේ නෑ.” මගේ හිත පතුළේ ඇලවුණේ ඒ වචන ටික විතරයි. “එයා මට කිව්වෙ කවදාවත් ඔයාට මේක නොකිව්වට කමක් නෑ කියලා.” අම්මා පහතට නැමී ගවුම් වාටියේ කඳුළු හංගා ගත්තාය. පසුදා සවස ලොකු තාත්තා බැලීමට රෝහලට යන ගමනට මා ද එක් විය. වරකට එක අයකුට පමණක් රෝගියා ළඟට යාමට අවසර දී තිබූ බැවින් අම්මා එනතුරු මම කොරිඩෝවේ තිබූ අත් පුටුවකට බරවීමි. මා ලොකු තාත්තාගේ අසලින් සිට ගත්තේ කුමක් කරම්දැයි නිනව් නොමැති ලෙසකිනි.

හිස දෙපසින් වූ මැෂිම්වල රටා ඉලක්කම් වරින්වර වෙනස් වේ. කිසිදු හැලහොල්මනක් නොමැතිව ඔහු නිසලව වැතිර සිටී. ඔහුගේ දකුණතේ ඇඟිලි මගේ අතින් අල්ලා ගනිමින්ම මම ඔහුගේ කනට ළංව සෙමින් ආමන්ත්‍රණය කළෙමි. ඔහුගේ පියවුණු ඇස් අගිස්සෙන් හීනි කඳුළක් කඩා වැටුණු අතර ඒත් සමඟම ඒ අතැඟිලිවල සියුම් චලනයක් මගේ අතට දැනුණි. එදා ආපසු නි‍ෙවසට එනතෙක්ම අම්මාත්, මාත් අතර වදනක්වත් හුවමාරු වුණේ නැති තරම්ය. පසුදින උදෑසන අම්මා රෝහලට යන විට ලොකු තාත්තාගේ ඇඳ හිස්ව තිබුණි. මතක වස්ත්‍ර පූජා කර පැන් වඩන්නට තරම් වරම් නොලැබූ අම්මාටත්, මටත් කළ හැකි වූයේ ඔහු වෙනුවෙන් පින් පිරීම පමණකි.

තවත් විසිපස් වසරක ඇවෑමෙන් අද වන විට මට කරාපිටිය වෛද්‍ය පීඨයට අනුබද්ධව සේවය කිරීමට ඉඩහසර ලැබී ඇත. ගාල්ල – උඩුගම මාර්ගයට යාබදව මිලට ගත් කට්ටි ඉඩමක තැනූ අපේම නි‍ෙවසක් අම්මාත්, මාත් නිත්‍ය පදිංචියට තෝරාගත් අතර අද මගේ ජීවිත පොතේ තාත්තා නම් වූ පිටුවක් ද ඇත. ලොකු තාත්තා එදවස මගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ඉදිරියෙන් ඔහුගේ නම යොදමින් අපේ ජීවිතවලට කැළලක් ඉතිරි නොකළ බව මා දැනගත්තේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීම සඳහා ජාතික හැඳුනුම්පත සැකසීමට උප්පැන්න සහතිකයේ පිටපතක් බාර දුන් දාය. වසරක් පාසා ගාල්ලේ වැඩිහිටි නිවාසයට දෙන දානයේ පුණ්‍යානුමෝදනාව නොඅඩුව ඔහු වෙත ලැබෙනු ඇත. අදටත් දැඩි සත්කාර ඒකකයේ රෝගියකුට ප්‍රතිකාර සිදුකරන සෑම මොහොතකම මගේ සිත ඒ අතීත මතක තුළ යළි යළිත් කිමිදේ. මරණාසන්න රෝගියකුගේ පංචේන්ද්‍රියේ සංවේදන එකින් එක ගිලිහෙද්දී ඇසීමේ සංවේදනය ගිලිහෙන්නේ අවසානයටම බව අද මා දන්නේ මෙතුවක් උගත් වෛද්‍ය ශාස්ත්‍රයට අනුවය. එදා මා ඔහුගේ කනට ළංව “තාත්තේ” යැයි ආමන්ත්‍රණය කළ බවත් ඒ ඇමතුම ඔහුට නිසැකවම ඇසුණු බවට ඔහු කඳුළකින් ප්‍රතිචාර දැක්වූ බවත් අදටත් මා පමණක්ම දන්නා රහසකි.

නිමි

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?