Thursday, August 14, 2025
Epaper
Home Highlightsගාසා යුද ගිනි මැද ඇවිළෙන කුසගිනි

ගාසා යුද ගිනි මැද ඇවිළෙන කුසගිනි

by Thanushika

යුද්ධය ලොව කිසිදා කිසිදු තැනෙක සිදුනොවිය යුතු වුව ද මේ මොහොත වනවිට ද ලොව රටවල් ගණනාවක යුද ගැටුම්ය. වෙඩි හඬ, මිසයිල පියාඹන අතර බෝම්බද පිපිරේ.

ඒවායේ අනෙක් කෙළවර ඇත්තේ ජීවිතයක් නැතිනම් ජීවිත සිය ගණනක් හෝ දහස් ගණනකි. මිනිසා මිනිසාට එරෙහිව නැඟීමේ යුද වියරුවේ ප්‍රතිඵල ලෙස උණ්ඩයෙන් මෙන්ම දින සති ගණනාවක් බත් හැන්දක්, රොටියක්, පාන් පෙත්තක් වතුර පොදක් නැතිව හාමතට වැටීමෙන් විකසිත වන්නටත් පෙර මුකුලිත වන මල් කැකුළු ද සිය දහස් ගණනකි. මැදපෙරදිග ගාසා තීරයේ මිහිකතට පවා දරාගැනීම අසීරු මේ ඛේදවාචකය දරුණු ලෙස සිදුවෙමින් තිබේ.

එය කොතරම් ද යත් ගාසා තීරය යනුවෙන් ඇසෙන විටම අපේ සිහියට නැඟෙන්නේ යුද්ධයයි. ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුදගිනි ඇවිළෙන්නේ දැනට දශක අටක් පමණ තිස්සේය. එහි අක් මුල් සියක් වසකටත් එපිටට දිවෙයි. 2023 ඔක්තෝබර් මාසයේ දී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රාහාරයත් සමඟ යළි ඇවිළ ගිය යුද ගිනි මෑතක ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සමඟ දරුණු ඛේදවාචකයකට හැරී තිබේ.

ගාසා තීරයේ සියලු සැපයුම් මාර්ග ඊශ්‍රායල් හමුදා පාලනයට නතුව පවතින අතර ආහාර, ඖෂධ ආදී කිසිවක් එහි යැවීමට අවසර නැත්තේ ඒවා හමාස් සංවිධානය අතට පත්වනු ඇත යන සැකය හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, රතුකුරුස සංවිධානය සහ ජාත්‍යන්තර මානුෂීය සහන සේවා සංවිධාන කිහිපයක්, ගාසා තීරයේ ක්‍රියාත්මකව සිටිය ද ආහාර අහේනිය සාගතයක් බවට පත්ව මානුෂීය ඛේදවාචකයක් ලෙස දිග හැරෙමින් තිබිය දී එම ප්‍රයත්න පමණක් කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැති බව පැහැදිලි කාරණයකි. ගාසා තීරයේ කාන්තාවන් හා ළමුන්ගේ ජීවිත අන්ත අසරණය.
දින ගණන් කුසට හරි අහරක් නොලැබ නිරාහාරව සිටීමෙන් දුර්වලව සිටින ඔවුන් අතර සහනාධාර බෙදා දීමේ දී ඇතිවන්නේ විශාල තදබදයක් මෙන්ම කලබලකාරී තත්ත්වයකි. එවිට ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ද කරනු ලබන්නේ වෙඩි තැබීම නම් , එය කොපමණ අවාසනාවන්ත තත්ත්වයක් ද ? එසේ වුවද සිදුවන්නේ එය බව මානුෂීය සේවා සපයන කණ්ඩායම් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කරයි. එවැනි අවස්ථාවල දි මියගිය කුඩා දරුවන් ද දහස් ගණනකි.

කුසගින්න දරාගත නොහැකිව පාන් පෙත්තක්, පිටි ටිකක් ලබාගැනීමට පොදිකන අතර වෙඩි උණ්ඩයකට ගොදුරු වන්නට සිදුවීම කොපමණ ඛේදනීය ද ? මෙසේ මියයන කාන්තාවන් හා ළමුන්ගේ මරණවලට වගකිවයුතු වන්නේ හමාස් සංවිධානය බව පවසමින් ඊශ්‍රායලය තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. කවර පාර්ශ්වයක් අතින් සිදුවුවද මේ යුදගැටුම්වල වින්දිතයන් බවට වඩාත් පත්ව ඇත්තේ ළමුන් හා කාන්තාවන්ය.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත කාර්යාංශයේ අලුත්ම වාර්තා දක්වන පරිදි, ගාසා තීරයේ සෑම ළමුන් පස්දෙනෙක්ගෙන් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙති. මේ ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතී. එම කාර්යාංශයේ කොමසාරිස් ජනරාල් පිලිප් ලෂාරිනී පසුගිය දිනෙක පැවසුවේ,
” ගාසා තීරයේ ජීවත්වන මිනිස්සු ජීවත්වෙනවා හරි මියගොස් හරි කියල කියන්න බෑ. මොකද , එහි දී දැකිය හැකිවන්නේ ඇවිදින මළමිනී.” යනුවෙනි. ජාත්‍යන්තර මානුෂීය සහන සේවා කණ්ඩායම් 100කට වඩා ගණනක් අනතුරු හඟවන්නේ , ගාසා තීරයේ දරුණු සාගතයක් ඇතිව තිබෙන බවයි. ඊශ්‍රායලය සියලු සැපයුම් මාර්ග වසා දමා තිබිය දී කුසගින්න දරුණු අර්බුදයක් බවට හැරී තිබේ. අවහිරයකින් තොරව ගාසා තීරයට ප්‍රවේශ විය හැකි පරිදි, මානුෂීය සහන සේවා කණ්ඩායම්වලට ඉඩදෙන ලෙස කොමසාරිස්වරයා ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ, ගාසා ජනගහනයෙන් විශාල පිරිසක් කුසගින්න හේතුවෙන් මියයාමේ අවදානමක් ඇති බව පවසමිනි.”මේ මිනිස්සු ‘සමූහ වශයෙන්’ මියයාවි. මේ ගැන කියන්න ඊට වඩා වෙනස් වචනයක් මා දන්නේ නෑ. මෙය මිනිසුන් විසින්ම ඇතිකළ විනාශයක්.” එසේ පැවසුවේ, WHO ප්‍රධානි ටෙඩ්‍රොස් අද්නන් ගෙබ්‍රියේසස්. ඉන් ඔහු අදහස් කළේ මෙය ස්වභාවික ආපදාවක ප්‍රතිඵලයක් නොව මානව ක්‍රියාවක ප්‍රතිඵලයක් බවයි. ගාසා තීරයේ බොහෝ කඩසාප්පු හිස්ව පවතින අතර, භාණ්ඩ සුළු වශයෙන් හෝ ඇති තැන්වල ද ඒවායේ මිල අධිකය.

දරු තිදෙනෙකුගේ මවක වන හැනා B.B.C ය සමඟ පවසා තිබුණේ , දවසින් දවස අලුත් ප්‍රශ්න උද්ගත වන බවය. ” මං මගේ ඇහින්ම දැක්කා පුංචි දරුවො තැන් තැන්වල කුණුබක්කි හාරා අවුස්සමින් කන්න මොනවා හරි තියේද කියලා හොයනවා.”

අට මස් වියැති දරුවෙක්ගේ මවක වන තහානි පවසා ඇත්තේ පැයෙන් පැය ජීවිතය අල්ලාගෙන සිටීම දුෂ්කර වෙමින් ඇති බවය. ” මගේ දරුවා තවමත් අලුත් පලතුරක රස මොන වගෙද කියලවත් දන්නේ නෑ…”
ඈ පවසන්නේ වේදනාවෙනි.

“ආධාර බෙදද්දි ඒවා ගන්න යනවා කියන්නෙ මරණයට අත වැනීමක්. ඒත් කරන්න දෙයක් නෑ. පවුලේ අය බඩගින්නෙන් පෙළෙද්දි නිකම් බලාගෙන ඉන්න බෑ. අපි මැරෙන්නත් පුළුවන්. ඒත් වෙන කරන්න දෙයක් නෑ.”

ඇතැමෙක් එසේ කියද්දි තවත් අයෙක් කියන්නේ මෙවැන්නකි. “ආධාර ගන්න ගිහින් වෙඩිකාලා මැරෙනවට වඩා මේ කූඩාරම් වලම අපි කන්න නැතිව මැරිලා ගියාවෙ…” ඇතැම් ගැබිනි මවුවරු තමනුත් කුසගින්නේ සිටිමින් ඒ දුකම විඳින්නට දරුවන් බිහිකරන්නේ කුමටදැයි අසමින් ළතවෙති.

2024 වසරේ නොවැම්බර් මස නිකුත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ( UNHRC) වාර්තාවලට අනුව, ගාසා තීරයේ සිදුව ඇති මරණවලින් 70%ක්ම කාන්තාවන් සහ ළමුන්. ඒ , කාන්තාවන් 44% ක් සහ ළමයින් 26%ක් වශයෙනි.
මාස දෙකක කාලයක් තිස්සේ සටන් විරාමයක් පවතිද්දී ගාසා තීරයට ආහාර හා ඖෂධ රැගෙන යාමට මානුෂීය ආධාර සපයන සංවිධානවලට අවසර ලැබිණි. මේ වනවිට ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ” ගාසා මානුෂීය පදනම (GHF) ” පිහිටුවීය. UNHRC වාර්තා දක්වන පරිදි , ගතවූ දෙමසක කාලයේ එලෙස ලැබෙන ආහාර ආධාර ලබාගැනීමට ගොස් 1000ට වඩා මියගොස් ඇති අතර ඉන් 750කට වඩා මරණ වාර්තා වූයේ, GHF කඳවුරු ආශ්‍රිතවය. 300ක් පමණ වන සෙසු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති හා අනෙකුත් සහන කණ්ඩායම්වල කඳවුරු ආශ්‍රිතව මියගිය අයයි.

මෙලෙස සිදුවන වෙඩි තැබීම් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දේ.
එසේ වුවත්, ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වන්නේ හමාස් සංවිධානය සිවිල් වැසියන් පලිහක් ලෙස යොදාගෙන ඇතැයි පවසමිනි. එබැවින් මේ මරණවලට වගකිවයුතු වන්නේ ද ඔවුන් බව ඊශ්‍රායලයේ මතයයි.

UN Women හි විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ, කාන්තාවන් හා ගැහැනු ළමයින් මිලියනයක් පමණ සාගතය, හිංසනය මෙන්ම අපයෝජනය නිසා අසරණව සිටින බවය. ” ඇස් ඉදිරිපිටම දරුවන් මිය යනවා. තවදුරටත් මේක වෙන්න දෙන්න බෑ. ස්ථිර සටන් විරාමයක් අවශ්‍යයි.” යනුවෙන් ඈ පවසා තිබිණි.

ගාසා තීරයේ කාන්තාවන් හා ළමුන් 28000ක් පමණ මේ හේතු නිසා මියගොසිනි. සතියකට ළමුන් 50ක් වත් කුසගින්න, මන්දපෝෂණය හේතුවෙන් ජීවිතය අත් හරිති.පසුගිය දිනවල පැය 48කදී එවැනි මරණ 33ක් වාර්තා වී තිබිණි.

ගාසා තීරයේ දරුවන්, තමන්ට ස්වර්ගයට යාමට ඉඩදෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලා සිටින බව ඇතැම් විදෙස් මාධ්‍යවල පළවිය. ඒ , ස්වර්ගයේ ආහාර අහේනියක් නැතැයි ද කුසගින්නේ සිටින්නට සිදුනොවේ යැයිද ඔවුන් විශ්වාස කරන බැවිනි. තත්ත්වය මෙතරම් දරුණු වන අතර ඊශ්‍රායලය මේ සංඛ්‍යාලේඛන පිළිගැනීමට ද සූදානම් නැත. ඔවුන් ඒවා ප්‍රතිකේෂ්ප කරනුයේ ඒවා ලබාගන්නේ හමාස් පාලනය යටතේ ඇති සෞඛ්‍ය අංශවලින් බව පවසමිනි.

මේ, කුසගින්න නිසා පමණක් නොව දරුවන් හාමතේ මියෙනු බලා සිටින්නට ද සිදුවීමෙන් කම්පනයට පත් පියෙකුගේ වදන් ය.

“අපි මේ කූඩාරම්වලම බඩගින්නෙ මැරෙයි. ආධාර ගන්න ඒවා බෙදන තැන්වලට යනවා කියන්නෙත් මරණය සොයායාමක්. අපේ දරුවො රෑට නින්දට යන්නෙ බඩගින්නෙ. මෙහෙම තව වැඩිකලක් අපි ඉන්න එකක් නෑ , අපි මැරෙයි. මුළු ලෝකයම අපේ දරුවො, අපි වෙනුවෙන් මැදිහත් වෙයි , අපිව බේරාගනීවි කියලා අපි බලාගෙන ඉන්නවා…”

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?