ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙකුටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවන ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති.
ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor Door, තරුණී, ලේක්හවුස්, කොළඹ – 10.
නිතර අත්ල රස්නෙයි
ප්රශ්නය
මම 38 හැවිරිදි තිදරු මවක්. රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරමි. මාගේ අත්ල නිතර අධික උණුසුමකින් යුක්තයි. අත්ලට නිතර දහඩිය ද දමයි. එය කුමක් හෝ රෝගයක් ද? නැතිනම් රෝග ලක්ෂණයක් ද? එසේත් නැතිනම් සාමාන්‍ය තත්ත්වයක් ද?
පිළිතුරු
අපි හැමෝගෙම අත්ලේ දහඩිය ග්‍රන්ථි පිහිටලා තිබෙනවා. එබැවින් අත්ලේ කිසියම් තෙතමනයක් සහිත උණුසුමක් තිබීම සාමාන්‍ය දෙයක්. ශරීරයේ Apocrine සහ Eccrine කියලා දහඩිය ග්‍රන්ථි දෙවර්ගයක් තිබෙනවා. Apocrine ග්‍රන්ථි මඟින් protein හා fatty acid සහිත ඝනකම් දහඩිය පිට කරනවා. එහිදී ඇතැමෙක්ගේ දහඩිය අත්ලෙන් පිටවන අතර ඇතමෙක්ගේ එසේ නොවී අත්ල දැඩි උණුසුම්බවකින් පවතිනවා.
මෙම තත්ත්වය කුඩා කාලයේදී සිට හෝ යොවුන් වියේදී ඇති වෙන්න පුළුවන්.
අධික ලෙස දහඩිය දැමීම සාමාන්‍ය දෙයක් වුණත් ඇතැමෙක්ට මෙය පීඩාවක් ගෙන දෙන්නක් විය හැකියි. පාසල් සිසුන්ට නම් මෙය ඉතා අපහසු තත්ත්වයක්. අකුරු ලියනවිට පොත් තෙත් වීම, පෑන ලිස්සන්නට පටන් ගැනීම ආදිය නිසා ඔවුන් අධික මානසික පීඩනයකට ලක් වෙනවා.
අනිත් දේ තමයි එවැනි තත්ත්වයකින් පීඩා විඳින අය, කෙනෙකු මුණගැසුණු විට ඔවුන්ට අතට අත දීමට හෝ ඔවුන්ව ඇල්ලීමට පසුබට වෙනවා. මේ හේතු නිසා මොවුන් සමාජය ඉදිරියේදීත් යම්කිසි අපහසු තත්ත්වයකට පත් වෙනවා. අධික ලෙස දහඩිය දමන උණුසුම් අත් සමහර වෙලාවට අධික සීතලකින් යුත්ක වෙනවා. දෙඅතෙහි සම රැලි වැටුණු ස්වභාවයක් දැකිය හැකියි. ඒ නිසා හොඳින් වතුර බීම ඉතා වැදගත්. පීඩාවක් ලෙස දැනෙනවානම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
*****************
බඩ පිපුම රෝගයක් ද?
ප්රශ්නය
24 හැවිරිදි මා නිතර බඩ පිපීමේ රෝගයෙන් පීඩා විඳිමි. මෙය සාමාන්‍ය තත්ත්වයක් බව වැඩි දෙනෙක් පවසන නිසා මම එතරම් එය ගණන් නොගතිමි. නමුත් මෙය මහත් පීඩාවක් ගෙන දෙයි. ඇත්තෙන්ම මෙය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවේ ද?
පිළිතුරු
ඇතැමෙකුට මේ ආකාරයේ බඩ පිපුණු ලක්ෂණයක් බඩේ ගෙඩියක් ඇතිවිටද බඩේ වතුර පිරී ඇති ඇතිවිට ද දැනීමට ඉඩ තිබේ. නිශ්චිත වශයෙන් මෙය දැනගන්නට නම් වෛද්‍ය නිර්දේශය මත යොමුවිය යුතු පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර ක්‍රමවේදයන් තිබේ. කෙසේ නමුත් නිරන්තරයෙන්ම බඩ පුරවා දැමීමේ තත්ත්වය ඔබට පවතී නම්, වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව බොහෝ විට තෙල් මිරිස්, සහිත ආහාරවලට මඳ විරාමයක් ලබාදෙන්න. මේ තත්ත්වයෙන් පීඩා විඳින්නන් එවැනි ආහාර ගත්විට එය තවත් වර්ධනය විය හැකියි.
මුඛයෙන් හෝ ගුද මාර්ගයෙන් මෙම බඩේ පිරුණු වාතය ඉවත්ව ගිය පසු යම් පහසුවක් දැනුණත් බඩේ වාතය පුරවා දැමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව හා උගුරට එන සුලු ස්වභාවයත් බඩ පිපීමේ රෝග ලක්ෂණ වේ.
මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු කිහිපයකි. ඒ අතර ක්ෂණික ආහාර වර්ග බහුල ලෙස ආහාරයට ගැනීම, ආමාශයෙන් ආහාර පිටවීම ප්‍රමාද කරන ආහාර සංඝටක ගැනීම ඉන් ප්‍රධානයි. ආමාශයේ ආහාර මිශ්‍රණ බොහෝ කාලයක් රඳා පවතින විට ඒ මඟින් වායු නිෂ්පාදනය වීම වැඩි විය හැකිය. එමෙන්ම ඔබ කුමක් හෝ රෝගයකට ඖෂධ ලබා ගන්නේ නම් එම ඖෂධ ද මෙයට හේතුවක් විය හැකියි. වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ප්‍රතිකාර ලබා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ.
උපදෙස්,
කායික රෝග විශේෂඥ වෛද්‍ය එච්.ඩී. විජේසිංහ