ඔබේ පුංචි පුතාගෙ දුවගෙ පළමු කඩඉම් විභාගය පසුගිය දා අවසන් වුණා. පුංචි මනසට දැනෙන මේ නිදහස වචනයෙන් කියන්න බැරි තරම්. ලද විවේකයේ දී මනස නිදහස් කරන, සතුට විනෝදය පිරි ප්‍රායෝගික වැඩසටහන් සඳහා සහභාගි කරවීම ආදරණීය මවකගේ වගකීමක්. ඒ සඳහා අරුත්බර විනෝද චාරිකාවක් වුව කදිම අත්වැලක් සපයාවි.
කොහොම නමුත්
ළමයිත් එක්කාසු කරගෙන කොහෙහරි යන්න කියල හිතාගෙන හිටියට කොහෙද ඉතින් වෙලාවක්? දුරබැහැර පළාතක ඉන්නවා නම් කොළඹ නෑයෙක් බලන්න ඇවිත් හරි, එහෙම නැත්තම් චාරිකාවක් විදිහට හරි කොළඹ බලන්න නම් එන්නම ඕනෙ.
මේ ගමනේදී බලන්නම ඕනි තැන් මොනවද? අපි ටිකක් ඒ ගැන හොයා දැන ගනිමු.
ග්‍රහලෝකාගාරය
ග්‍රහලෝක, තාරකා ගැන සජීවීව ඉගෙන ගන්න ග්‍රහලෝකාගාරය තරම් වෙන තැනක් ඇත්තේ නැහැ. ග්‍රහලෝකාගාරය දිනකට දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා. එකක් උදේ 10 අනික හවස 2. සතියේ දිනවල නම් උදේ දර්ශන වාරය වෙන්වෙන්නේ පාසල් දරුවන්ට. මෙහි දර්ශන වාරයක් පැය එකහමාරක කාලයක් පැවැත්වෙනවා. මේ ග්‍රහලෝකාගාරය තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය කිට්ටුවමයි. ග්‍රහලෝකාගාරය තුළට කෑම රැගෙන යන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ග්‍රහලෝකාගාරයේ ආසන සීමිතයි. එසේම රට වටෙන්ම දරුවෝ එනවා මේක නරඹන්න.
සත්තු වත්ත
සත්තු බලන්න පොඩි ළමයි හැමෝම වගේ ආසයි. මේ සත්තු බලන්න ඉතින් දුර බැහැර වනෝද්‍යානවලට යනවට වඩා කොළඹ ඇවිත් සත්තු වත්තේ සත්තු බලන එක ලේසියි. සත්තු වත්ත තියෙන්නේ දෙහිවල. එතරම්ම ඉඩ කඩ තියෙන තැනක් නොවුණත්, බලන්න සත්තු ගොඩාරියක් දෙහිවල ඉන්නවා. ඒ ඒ සතුන්ගේ නම් ආදිය කූඩුව ළඟ ගහල තියෙනවා.
ගෝල්ෆේස් එක
කොළඹ ඇවිත් ගෝල්ෆේස් ගියේ නැහැ කියන්නේ ඒ ගමන වැඩක් නැහැ. ගෝල්ෆේස් එකට මෑත කාලයේ ගියොත් නම් ගෝල්ෆේස් එකේ සරුංගල් උත්සව බලන්න පුළුවන්. ක්‍රීඩා උත්සව, සැණකෙළි දවසක යන්න පුළුවන් වුණොත් දරුවන්ට ගොඩක් සතුටු හිතෙයි. සාමාන්‍යයෙන් ගෝල්ෆේස් ටිකක් කට්ටිය වැඩි තැනක්. ඒත් ගෝල්ෆේස් එකට කට්ටිය ගොඩක් ආවත් හොඳට ඉඩ තියෙන තැනක්. මුහුදට බහිනකොට නම් දරුවෝ එක්ක ටිකක් පරෙස්සමින් බහින්න ඕනෙ.
කැලණි විහාරය
කැලණි විහාරය කියන්නේ කොළඹ පළාතේ තියෙන ඉපැරණිතම සිද්ධස්ථානය කිව්වොත් නිවැරදියි. කොළඹ නගරයේම නොවුණත් සති අන්තයක නම් කොළඹ ඉඳලා පැයභාගයකින් වගේ කැලණි විහාරයට එන්නට පුළුවන්. කැලණි විහාරයේ චෛත්‍යය, බෝධිය, විහාර ගෙය සහ කෞතුකාගාරය ආදී දේ නරඹන්නට තියෙන දේවල් අතර මූලිකම තැනක් ගන්නවා. කැලණි ගංගාවත් ඒ අසබඩින්ම ගලා බසින නිසා කැලණි විහාරය කමනීය විහාරස්ථානයක්. ගඟෙන් එහා පැත්තේ තිබෙන විහාරස්ථානයට එදා නම් ගිහින් තියෙන්නෙ පාරුවලින්. දැන් නම් එතැන ලස්සන පාලමක් තියෙනවා එහා පැත්තට යන්නට. කැලණි විහාරය තුළ ඇති සෝලියස් මෙන්දිස් මහතා ඇන්ද චිත්‍ර නූතන බෞද්ධ සිතුවම් කලාවේ නමගිය සිතුවම් පෙළක්. ළමයින්ට ආගම දහම පොඩි කාලෙදි කියා දෙන්න ඕනෙ. ඒ නිසා බෞද්ධ අයෙක් නම් කැලණි විහාරය, මුස්ලිම් අයෙක් නම් රතු පල්ලිය, ක්‍රිස්තියානි නම් කොච්චිකඩේ පල්ලිය, ද්‍රවිඩ අයෙක් නම් මයුරපති කෝවිල ආදී වටිනා සිද්ධස්ථාන කොළඹ ගමනකදී දරුවන්ට පෙන්වන එක බොහෝම හොඳයි.
වරාය නගරය (Port City)
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු (පැරණි නාමය කොළඹ වරාය නගරය) ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකළ නව වරාය නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුළ ඉදිකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
කෞතුකාගාරය
ඉතිහාසය කියන්නේ ළමයින්ට පාසලේදිත් ඉගෙනගන්න තියෙන විෂයක්. කටුගේ හෙවත් කෞතුකාගාරය පැත්තේ දවසක් ගිහින් ළමයින්ට ඉතිහාසයේ මතක සටහන් ගැන පොඩි දැනුමක් දෙන එක බොහෝම නැණවත් වැඩක්. කොළඹ 07 තියෙන ප්‍රධාන කෞතුකාගාරය වගේම පිටකොටුවෙත් ලන්දේසි කෞතුකාගාරයක් තියෙනවා. කෞතුකාගාරය තියෙන කොළඹ 07 සීමාවේ දැන් නම් ලස්සන නෙළුම් පොකුණ රඟහල, විහාරමහාදේවී පාක් එක හෙමත් ආසන්නයේම තියෙනවා. කෞතුකාගාරය බලලා ඉවර වෙලා, ඇවිදලා ටිකක් නිදහසේ ඉන්න ළමයි එක්ක විහාරමහාදේවී පාක් එකට යන්න හැකියි.
කොළඹ නෙළුම් කුලුන
කොළඹ නගරයේ නැරඹිය යුතුම ආකර්ෂණීය ස්ථානයක් ලෙස, මෙම මහල් 17ව්‍යුහය සිත් ඇදගන්නාසුළු දර්ශනවලට වඩා වැඩි යමක් ඉදිරිපත් කරයි. නරඹන්නන්ට නිරීක්ෂණ තට්ටුව ගවේෂණය කිරීමට, එහි ආපණශාලාවල ආහාර වේලක් භුක්ති විඳීමට, සාප්පු සංකීර්ණයේ සාප්පු යෑමට හෝ ශ්‍රවණාගාරයේ සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ උත්සවවලට සහභාගි වීමට හැකිය. එහි සුඛෝපභෝගී ආපණ ශාලාවක් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක් ද පිහිටා ඇති අතර එය විවිධ අත්දැකීම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරයි.
One Galle face
කොළඹ ගාලූමුවදොර පිහිටා තිබෙන The One Galle face අග‍්‍රගණ්‍ය ජීවන අත්දැකීමක් ලබා දීමට සමත් අධිසුඛෝපභෝගී සාප්පු සවාරි, අවන්හල් හා තරු පහේ හෝටල් පහසුකම් යනා දී සේවාවන් එකිනෙකට සම්බන්ධ වූ තනි ස්ථානයකින් සපුරා ගැනීමට අවස්ථාව උදාකරලනු ඇත.
කොළොම්පුරේ සිරි නරඹන්නට ආපු ඔයාලට One Gall face සීතල වැදිලා හරියට පිටරටක සාප්පු සංකීර්ණයක අත්දැකීමත් විඳගන්න පුළුවන්.
ඒත් එක්කම කොළොම්පුරේ සිරි අසිරිය සිහි ගැන්වෙන ආදරණීය ඡායාරූපයකුත් මෙතනදී ගන්නට අමතක කරන්න එපා.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර