ඔසප් වීමේදී සනීපාරක්ෂක තුවා භාවිත කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් වර්තමානය වනවිට නවීන උපාංග එනම්, Menstrual Cups භාවිතයට කාන්තාවන් මෙන්ම තරුණියන් යොමු වී සිටිනවා. එය භාවිත කිරීම සම්බන්ධව තොරතුරු දැන ගැනීමට අපි ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන හමු වුණෙමු.
වෛද්‍යතුමියනි, ඔසප් චක්‍රය කියන්නේ කුමක්ද?
ගැහැනු දරුවෙකුගේ බාල කාලය පසුවුණු පසු ඇය යුවතියක් වීමට සහ මවක් වීමට සුදුසුයි යන්න පිළිබිඹු කරන අවධිය ඔසප් වීම ලෙස හඳුනා ගන්න පුළුවන්. ගර්භාෂයේ සෑම දින 28කට වරක් කිසිම වේදනාවකින් තොරව මෙම ක්‍රියාවලිය සිදුවෙනවා. දින තුනත් පහත් අතර කාලයක් මේ තත්ත්වය පවතිනවා. ඒ වගේම වැඩිවියට පැමිණි පසු අවුරුදු පනහක් හෝ ඔසප් වීම නවතින තාක්කල් එනම්, ආර්තවහරණය දක්වා ඔසප් වීම ක්‍රමානුකූලව සිද්ධ විය යුතුයි.
නීරෝගිමත් ඔසප් වීමක් තුළ දැකිය හැකි ලක්ෂණ මොනවාද?
නීරෝගිමත් ඔසප් වීමකදී තද රතු ලේ එනම්; හාවෙකුගේ ලෙයට සමාන නැතිනම් වද මලක රතු පැහැයට සමාන රුධිරය පිට වීමක් සිදු වෙන්න ඕන. ඒ වගේම තමයි මෙම රුධිරය වස්ත්‍රයක ගෑවුණු පසු ඉතා පහසුවෙන් පැල්ලමක් නොසිට සේදී යනවා.
රුධිරය කැටි ගැසීමකින් තොරව ගන්ධයක් නොමැතිව පිටවිය යුතුයි. අනෙක් කාරණය තමයි ඔසප් දිනවල වේදනානාශක කිසිවක් භාවිතයට නොගෙන එදිනෙදා කාර්යයන් පහසුවෙන් සිදු කිරීමට හැකි විය යුතුයි.
ඔසප් කාල සීමාව තුළ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි නේද?
ඔව්. ඇත්ත වශයෙන්ම මේ කාලයේදී පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙම කාලසීමාවේදී ගර්භාෂයෙන් පැමිණෙන රුධිරය යෝනි මාර්ගය හරහා පිටවීමක් තමයි සිද්ධ වෙන්නේ. ගැබ් ගෙල සාමාන්‍යයෙන් බාහිර මුඛය හා අභ්‍යන්තර මුඛය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ ආකාරයට ගැබ් ගෙල ව්‍යුහාත්මක ලෙස ස්වභාවිකව ආරක්ෂා වෙලා තියෙන්නේ කිසිදු විෂබීජයක් ඇතුළු වීමට නොහැකි විදිහට.
මේ ආකාරයට රුධිරය පිටවෙන කාලසීමාව තුළ මේ මුඛය යම් මට්ටමකට විවෘත වෙනවා. ඒනිසා මේ කාලසීමාව තුළ සෞඛ්‍ය සම්පන්න විදිහට එදිනෙදා කටයුතු සිදු කරන්න ඕන.
ප්‍රජනන ඉන්ද්‍රිය ආශ්‍රිත පද්ධතිය තුළ පිරිසුදුකම ගැන වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ගර්භාෂයට හෝ පැලෝපීය නාලයට කිසියම් විෂබීජයක් ඇතුළු වුණොත් එය සදාකාලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහිදී නාල අවරෝධතා, ගර්භාෂ ආසාදන ආදිය ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා නිරන්තරයෙන්ම පිරිසුදු කපු යට ඇඳුම් භාවිත කරන්න ඕන. සනීපාරක්ෂක තුවා භාවිතයේදී දිනකට අවම වශයෙන් දෙකක් හෝ තුනක් භාවිත කිරීම වැදගත්.
වෛද්‍යතුමියනි, වර්තමානයේදී සනීපාරක්ෂක තුවා භාවිතය අවම මට්ටමකට පත් වී Menstrual Cups භාවිතයට කාන්තාවන් යොමු වී තිබෙනවා. ඇත්තටම Menstrual cup කියන්නේ මොකක්ද?
වර්තමානයේ දී විදේශ රටවල්වල සනීපාරක්ෂක තුවා භාවිතය ඉතාමත් අවම මට්ටමක තමයි තියෙන්නේ. Menstrual Cups තමයි වැඩිපුර භාවිත කරන්නේ. මේ උපකරණය හදල තියෙන්නෙ සිලිකන්වලින්. නැවත නැවත භාවිත කරන්න පුළුවන් පුනීල හැඩැති පහසු උපකරණයක්.
Menstrual Cup එක කොතරම් කාලයක් භාවිත කළ හැකිද?
මෙය පැය දොළහක් දක්වා කාලයක් කිසිදු හානියක් නැතුව තබාගන්න පුළුවන්. භාවිතයෙන් පසුව උණු වතුරෙන් තම්බා සෝදා ගැනීම අනිවාර්ය දෙයක්.
මේ උපකරණය කන්‍යාපටලයට හානිදායක තත්ත්වයන් ඇති කරනවාද?
Stretch the hymen but not damaged කියලා තමයි කියන්නේ. නමුත් ඒක අපිට හරියටම කියන්න බැරි දෙයක්. විවාහක කාන්තාවන් සඳහා කිසිදු බයක් සැකකින් තොරව මෙය භාවිත කරන්න පුළුවන්. නමුත් දියණියන් මෙය භාවිත කරනවා නම් තරමක අවදානම තත්ත්වයක් තියෙනවා. ඔසප් අවස්ථාවකදී කන්‍යාපටලය බිඳීමක් සිදුවුණහොත් එය නිසි ලෙස හඳුනාගත නොහැකි නිසා අවදානම් තත්ත්වයක් නැතුවාම නොවේ.
Menstrual Cup එක භාවිත කිරීම තුළින් ලබාගත හැකි වාසි මොනවාද?
ඔව්, වාසි තිබෙනවා. ක්‍රීඩාවල නියැළෙන කාන්තාවන් වැඩි වශයෙන් Menstrual Cups භාවිත කරනවා. ඒකට හේතුව තමයි කිසිදු අපහසුතාවයකින් තොරව සාමාන්‍ය දිනයක වගේම එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට පහසු වීම කිසිදු අවහිර තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම සැකයකින් තොරව කටයුතු කිරීමට හැකිවෙනවා.
ඒවගේම තමයි පැය දොළහක පමණ කාලයක් භාවිත කළ හැකි වීමත් වාසිදායක තත්ත්වයක්. රැකියාවට යන කාන්තාවන්ටත් හුඟාක්ම ප්‍රයෝජනවත්.
ඕනෑම දෙයක වාසි සහගත පැත්තක් වගේම අවාසි සහගත පැතිකඩකුත් තිබෙනවා නේද?
ඔව්. මං ඉහත කීවා වගේ අවිවාහක කාන්තාවන්ට, දියණියන්ට මෙය භාවිත කිරීමෙන් කන්‍යාපටලය සම්බන්ධ ගැටලු ඇති වීමේ ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. විදේශ රටවල නම් මේ පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ඇති සංස්කෘතිකමය තත්ත්වය නිසා මේ පිළිබඳව යම්තාක් දුරට සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා තමයි විදේශ රටවලට සාපේක්ෂව අපේ රටේ Menstrual Cups භාවිතය අවම වෙන්නේ.
අනෙක් කාරණාව තමයි සනීපාරක්ෂක තුවාවලට සාපේක්ෂව මෙම උපකරණය භාවිත කිරීම තරමක් අපහසුයි.
අවසාන වශයෙන් ඔබ Menstrual Cups භාවිතය සම්බන්ධයෙන් කාන්තාවන්ට ලබා දෙන උපදෙස් මොනවාද?
කාන්තාවන්ට කියන්න තියෙන්නේ Menstrual Cups භාවිත කරනවා නම් තමන්ට සුදුසු ප්‍රමාණයෙන් ඒවා ලබාගන්න. විෂබීජහරණය කරලා භාවිත කරන්න. නිවැරදි ආකාරයට ඇතුළු කිරීම සහ පිටතට ගැනීමට සැලකිලිමත් වෙන්න. කුමන ක්‍රමය භාවිත කළ ද කාන්තාවකට තම පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා.
