Wednesday, August 20, 2025
Epaper
Home Highlightsදුටු සැණින් ප්‍රතිකාර අරඹන්න

දුටු සැණින් ප්‍රතිකාර අරඹන්න

ටීනියා ගැන සුළුවෙන් හිතන්න එපා

by Thanushika

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා අපි හැමෝම ඉන්නේ පුදුම තරම් නුරුස්සනා බවකින්. ඒත් සමඟින් පැතිර යන සමේ රෝගයක් පිළිබඳ අපි කාගේත් කතාබහට ලක්වෙලා. කවුරුත් නොකිවුවට මොකද බොහෝ දෙනෙක්ට මේ රෝග ලක්ෂණත් පහළ වෙලා. සමාජයට සහ වෛද්‍යවරුන්ට ගැටලුවක් වන තරමටම පැතිර යන මේ රෝගය මොකක්ද?

කොළඹ ජාතික රෝහලේ සමේ රෝග සායනයේ විශේෂඥ වෛද්‍යවරියක වන ඉන්දිරා කහවිට අපේ කතාබහට එක් කරගත්තේ දාහය නිසා දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට.

ටීනියා හෙවත් රිංග්වෝම් ඒ රෝගී තත්ත්වය.

* ‘ටීනියා’ යනු සම මතුපිට ඇතිවන දිලීර ආසාදනයක්. එය සම මතුපිට ස්තරවල ඇතිවන තත්ත්වයක් විනා සම අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක් නම් නොවෙයි.

මෙය රවුමක් වැනි මුද්දක් ආකාරයේ දදයක් නිසා සරලවම රිංග්වෝම් ලෙස හඳුන්වයි.

එය කුඩා බිබිළක් මෙන් ඇරඹී වටේටම පැතිර යයි. මැදින් සුව වෙමින් බාහිරයට පැතිර යයි. රවුම ක්‍රම ක්‍රමයෙන් විශාල වෙයි.

ටීනියා පැතිර යන්නේ කෙසේද?

දිලීර ආසාදනයක් සාමාන්‍යයෙන් පහසුවෙන් පැතිර යයි. ඒ අනුව මේ තත්ත්වය ද පැතිර යන්නේ ස්පර්ශය මඟින්. තමන්ගේ ශරීරය පුරාම පැතිර යන්නේත්, කෙනකුගෙන් තවත් කෙනකුට බෝවන්නේත් ස්පර්ශය මඟින් විතරමයි. මේ නිසා පෞද්ගලිකව පරිහරණය කරන තුවා, බෙඩ් ෂීට්, කොට්ට උර ඇතුළු දෑ පොදුවේ පාවිච්චියට ගන්න එපා.

මොනවද මේ රෝගයේ ලක්ෂණ?

අධික කැසීම

රවුමක් වැනි දදයක් පොතු ගැලවෙමින් විශාල වීම ප්‍රධාන රෝග ලක්ෂණයක්. මෙම රවුමේ මැද සාමාන්‍ය සමට සමාන වේ.

වැඩිපුරම දැකිය හැකි වන්නේ සමේ කවර තැන්වලද?

හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනක මෙම තත්ත්වය සෑදෙන්නට පුළුවන්.

දහඩිය, තෙතමනය වැඩිපුර රැඳෙන තැන්වල වැඩියෙන් දැකගත හැකියි. ඒ අනුව ඉකිලි, කිහිලි, කන් පිටුපස, කාන්තාවන්ගේ නම් පියයුරු යට, කුඩා දරුවන්ගේ වැඩිපුර හිස්කබල, උකුණු වළ ආශ්‍රිතවත්, දණ හිස පිටුපස වැඩිපුර දැක ගත හැකියි. මුහුණේ මතු වූ විට හඳුනාගැනීම පවා අපහසුයි.

අවදානම් කාණ්ඩ

* වයස් භේදයක්, ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව ඕනෑම කෙනකුට සෑදිය හැකියි.

* දහඩිය දමන පරිසරවල සිටින අයට, මුළු සිරුරම වැසෙන්න ඇඳුම් අඳින අයට, හිර වෙන්නට නයිලෝන් ඇඳුම් අඳින අයට විශේෂයෙන් මේ රෝගය වැලඳිය හැකියි.

* සුරතල් සතුන් මඟින්ද රෝගය බෝ විය හැකියි.

* දියවැඩියාවෙන් පෙළෙන අය, ශරීර ප්‍රතිශක්තිකරණය අඩු අයට වැඩි අවදානමක් ගෙනදිය හැකියි. ඒ නිසා දියවැඩියා රෝගීන් හුඟක්ම පරිස්සම් විය යුතුයි.

ගර්භිණී මවට ටීනියා වැලඳුණහොත් මෙහි ඇති අවදානම වැඩියි.

* දරුවා යන බාහිර සාධකය ශරීරය තුළ තබා ගැනීමට අවශ්‍ය නිසා ගර්භිණී මව සාමාන්‍ය කෙනකුට වඩා ප්‍රතිශක්තිකරණය අතින් අඩු අයෙක්. මේ නිසාම දිලීර රෝගවලට ඇති අවදානම සාපේක්ෂව වැඩි යි. ගර්භිණී සහ කිරිදෙන සමයේ කොයිතරම් ප්‍රබලව දිලීර ආසාදනය තිබුණත් දිලීරනාශක පෙති කරල් ගන්නට බැහැ. මේ නිසා රෝගය පාලනය කිරීම තරමක් අසීරු කටයුත්තක්.

* පියයුරු යට ටීනියා වැලඳිය හැකි අවදානම්සහගත ප්‍රදේශයක් වන නිසා කිරි දෙන මවකගේ පියයුරු යට මෙම තත්ත්වය ඇත්නම්, පහසුවෙන්ම කිරි බොන දරුවාට සම්ප්‍රේෂණය වෙයි. මේ නිසා මවට මෙන්ම දරුවාටද බීමට ඖෂධ ගන්නට බැහැ.

* ගර්භිණී මවකගේ ශරීරයේ මෙවැනි තත්ත්වයක් ඇත්නම් එය දිලීරයක්ම යැයි සිතා දිලීරයක් සඳහාම ප්‍රතිකාර ගත යුතුයි. මේ අය සමේ කුමන ආසාදනයක් තිබුණත් සමේ රෝග සායනයකට පැමිණීම වැදගත් වෙයි. රෝගය පැතිරෙන මුල් කාලයේම ප්‍රතිකාර කොට සුවකර ගන්නවා විනා පැතිර යෑම වැඩි වුවහොත් සුව කිරීම අපහසු වේවී. මෙහිදී මවටත් දරුවාටත් අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේවී.

ටීනියා මේ තරම්ම ගැටලුවක් වී ඇත්තේ ඇයි?

ටීනියා රෝගයට ගොදුරුවූ රෝගීන් අන්කවර කලකටත් වඩා විශාල ප්‍රමාණයෙන් වැඩිවී තිබෙනවා. ලංකාවේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් පැමිණෙන කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග සායනයේ සියයට 20ක් පමණ සිටින්නේ ටීනියා රෝගීන්. වෛද්‍යවරුන් පවා පුදුම කරවන අන්දමේ රෝගීන් ප්‍රමාණයක් සායනවලට පැමිණෙයි.

රෝගීන් ප්‍රමාණය වැඩිවීමම මෙම රෝගය මෙතරම් කතා බහට ලක් කරවන තත්ත්වයක් බවට පත්කොට තිබේ.

මේ රෝගය අපේ රටේ කලින් පැවති තත්ත්වයක්. එහෙත් දැන් ටීනියා වෙනස් වෙලා.

ලංකාවේ පමණක් නොව වෙනත් රටවලද මේ රෝග කාරක විෂබීජය වෙනස් වී තිබෙනවා. සාම්ප්‍රදායිකව භාවිත කළ දිලීරනාශක ඖෂධවලට පවා සුව නොවන තත්ත්වයක් උදාවෙලා.

වළකා ගන්නට කළ යුතු දේ

* වෘත්තාකාර ලප ඇත්නම් සහ ඒවා කැසීමකට ලක්වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. පළමුව පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වන්න. ඉන් සුවයක් නැත්නම් සමේ රෝග සායනයක් වෙත යොමු වන්න.

* මෙම දිලීරය සබන් ගා සේදීමෙන් විනාශ කරන්න බැහැ. සබන්වලින් දිලීර විනාශ වන්නේ නැහැ.

* සබන් දමා හෝ විෂබීජනාශක දියර දැමීමෙන් පලක් නැහැ. ඇඳුම් උණුවතුරේ සේදීම අයන් කිරීම කළ යුතුයි. මෙම දිලීරය නසන්නට නම් උෂ්ණත්වයකට ලක් කළ යුතුමයි.

* වැසිකිළි ගිය පසු ටොයිලට් සීට් එක පිරිසුදු කිරීම (Clean after yourself) කරන්න.

ප්‍රතිකාර

* ආලේපන මෙන්ම බීමට ඖෂධ ද තිබෙනවා.

* මෙහිදී බීමට ගන්නා ඖෂධ අධික මිලකින් යුතුයි. දිලීර නාශක ඖෂධ දිගු කලක් ගනිද්දී අක්මාවට හානි ගෙන දේවී. අක්මාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රුධිර පරීක්ෂණ කරන අතරතුර ඖෂධ ලබා දේවී.

* මේ නිසා හිතුමතේ ෆාමසිවලින් මිලදී දිලීරනාශක ඖෂධ ගැනීම අහිතකර බව හිතට ගන්න.

* ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ ගැනීමෙන් කැසීම වහාම නවතීවී. හම යන ගතියත් සුවවේවී. තාවකාලිකව දදය මැකේවී. මෙහිදී වන්නේ යටපත් වීමක් පමණයි. රෝගය තව තවත් වැඩියෙන් පැතිරෙයි. ස්ටෙරොයිඩ් යනු දිලීරය පොහොර දමා වවනවා වැනි දෙයක්.

* ඉකිලි, කිහිලි කැසීමක් වේ නම් වෛද්‍ය උපදෙස් ගැනීමට පමා නොවන්න. එක් වරක් සුව නොවී නම් සමේ රෝග සායනයකට යෑම සුදුසුයි.

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?