දැන් ෆේස්බුක් එක පැත්තේ ගියොත් හැමතැනම වගේ දකින්න තියෙන්නේ එක එක නිෂ්පාදන ගැන. ඒ අතරින් ආයුර්වේද නිෂ්පාදන තමයි වැඩියෙන්ම තියෙන්නේ. උදරය අඩු වෙන්න මේ චූර්ණය බොන්න.. දියවැඩියාවට ඖෂධීය පානයක්, කොන්දෙ කැක්කුමට තෙලක්.. ඒ විදිහට දකින දකින බෙහෙත් හිතු මනාපෙට ගන්න එකත් දැන් මාෆියාවක් වෙලා.
පොඩි පොඩි ලෙඩ හුඟකට ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් පෝලිමේ ඉන්නවට වඩා කවුරු හරි කියන බෙහෙතක්, කොහෙන් හරි දකින බෙහෙතක් පාවිච්චි කරන එක ගොඩක් අයට ලේසියි. ඊටත් වඩා ඒක පොකට් එකට සෑහෙන්න වාසියි. කාලයත් ඉතුරුයි. හැබැයි මේ වාසි ඔක්කොම පැත්තකින් තිබ්බම අපි කාටත් නොපෙනෙන අඳුරු පැත්තක් දකින දකින බෙහෙත් ගැනීමෙන් ඇති වෙන්න පුළුවන්. මේ ගැන කතාබහකට එකතු වෙන්නේ ආයුර්වේද වෛද්‍ය පී.ඒ.ජී.ටී වාසනා. මේ දවස්වල මේ ගැන ලොකු කතාබහක් ඇති වී තිබෙන නිසා අපි හිතුවා ඇයත් එක්ක ඒ ගැන කතා කරන්න.
වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කරන ආයුර්වේද නිෂ්පාදන නිසා ඇති විය හැකි තත්ත්වයන් මොනවා ද?
ආයුර්වේද ප්‍රතිකාරවලදී අපි මුලින්ම බලන්නේ රෝගියාගේ ප්‍රකෘතිය. හැමකෙනාටම වෙන් වෙන් වූ ඇඟිලි සලකුණක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආවේණිකයි. ඒ වගේ හැම මනුස්සයෙක්ගෙම එක එක්කෙනාට වෙන් වූ ප්‍රකෘතියක් තියෙනවා. ශරීරයේ වාත, පිත, කප දෝෂ තුන හැදිලා තියෙන විදිහ වෙනස්. ඒ අනුව එයාලා දක්වන ලක්ෂණ වෙනස්. ඉතින් රෝගියාගේ ප්‍රකෘතිය බලලා, රෝග තත්ත්වය බලනවා. ඊට අමතරව රෝගයෙත් අවස්ථා කිහිපයක් තියෙන්න පුළුවන්. රෝගය හැදුණු අවස්ථාවෙම ආවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩේ මාසයක් කල් ගිහින් වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා එකම ලෙඩෙන් අවුරුදු ගාණක් පීඩා විඳලා විවිධ විදිහට ප්‍රතිකාර ගත්ත අයත්, කිසි දවසක ලෙඩේට ප්‍රතිකාර නොගත් අයත්. එතකොට ඒ ඒ වෙනස්කම්වලට අපි අනුගත වෙන විදිහ වෙනස්. අද වැටිලා හරි, අදම ලෙඩක් හැදිලා ආපු කෙනෙක්ට කරන ප්‍රතිකාරය මාස 6ක් පුරාවට ලෙඩක් හැදිලා හිටපු කෙනෙක්ට කරන්න බැහැ. ඒ දෙකම කරන්න බැහැ අවුරුදු 4ක් 5ක් පරණ වෙලා ඒ ලෙඩෙන් ගොඩක් කාලයක් පීඩා විඳපු කෙනෙක්ට. එතකොට ඒ රෝගියාගේ තත්ත්වය (බලා බලත්වය), එයාට ප්‍රතිකාරය දරාගන්න පුළුවන් ද? රෝගයේ තත්ත්වය, වෙනත් රෝගී තත්ත්ව, ලබාදියයුතු ඖෂධයේ ගුණ කර්ම ඒ හැමදේම බලලයි ඖෂධයක් ලබා දෙන්නේ.
සමහර විට අවුරුදු 5ක් එක ලෙඩකින් පීඩා වින්ද කෙනෙක්ගේ ඇඟ හොඳටම දුර්වල වෙලා තියෙන්න පුළුවන්. තව තව පද්ධතිවලට හානි වෙලා තියෙන්න පුළුවන්. එයා මතුපිටින් හොඳට ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට එයාගේ අභ්‍යන්තර අවයවවලට ඒකෙන් බලපෑමක් වෙලා තියෙන්න පුළුවන්. ඒ මොනවත් නොදැන බෙහෙතක් ගන්නවා කියන්නේ හරිම භයානක දෙයක්. ජීවිතයට පවා කාලයත් සමඟ අනතුරක් වෙන්න පුළුවන්.
හිතුමතේට බෙහෙත් ගත් රෝගීන් ගැන ඔබට අත්දැකීම් තියෙනව ද?
මා හමුවටත් එවැනි අය ඇවිත් තිබෙනවා. සමහර රෝගීන්ගේ රෝගය මතුපිටින් පෙනෙන්නේ සමේ රෝගයක් විදිහට. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් සමේ රෝග ඇති වෙනවා. නමුත් ඒ කෙනා ඒක සමේ රෝගයක් කියලා හිතලා අත් බෙහෙත් අරගෙන ඊට වඩා භයානක තත්ත්වයක් කරා යන්න පුළුවන්. ඔහුට ප්‍රතිකාරය දෙන්න ඕනේ වකුගඩුවලට. සමට විතරක් ප්‍රතිකාර කළා කියලා ලෙඩේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් එයාගේ වකුගඩුත් ටිකෙන් ටික නරක් වෙවී යනවා. අන්තිමට බේර ගන්න බැරි තත්ත්වයටම යනවා.
ඔහුට දියවැඩියාව වගේ රෝග තියෙන්න පුළුවන්, ඒ නිසා ඇතිවන උපද්‍රව බහුලයි. එයාගේ ප්‍රකෘතිය, රෝග තත්ත්වය, වෙනත් රෝග තත්ත්ව, එයාගේ වයස, එයා ඉන්න වටපිටාව, එයා කරන රැකියාව වගේ කාරණා බොහොමයක් සලකා බලලයි බෙහෙත් දෙන්නේ. හෙම්බිරිස්සාවක් තියෙන කෙනෙක් ෆේස්බුක් එකේ දකින ආයුර්වේද පැණියක් බිව්වට වැඩක් නැහැ. එයා පැය 24න් පැය 16ක්ම A/C එකේ නම් ඉන්නේ. එතකොට අර පැණියෙන් එයාගෙ තත්ත්වය නිවැරැදි වෙන්නේ නැහැ. එයාගේ පරිසර තත්ත්වයත් රෝගයට බලපාන බව අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මම එයාට ඖෂධ නියම කරන ගමන් පරිසර තත්ත්වයේ වෙනසක් වියයුතු බව උපදෙස් දෙනවා. වැළකිය යුතු ආහාර විහරණ පිළිබඳ උපදෙස් දෙනවා.
උදේට පාරට බැස්සොත් හැමතැනම තියෙනවා ඖෂධීය කැඳ වර්ග විකුණන්න. මෙහෙම දකින දකින කැඳ වර්ග බොන්න හොඳ ද?
ඕනෙම දෙයක් අපි දීර්ඝ කාලීනව පාවිච්චි කරන කොට ඒකේ තියෙන ඖෂධීය ගුණ ඇඟට දැනෙනවා අඩුයි. ඖෂධීය කැඳ වුණත් නිතරම බොද්දි එහෙම වෙන්න පුළුවන්. ඒක නිකම්ම ආහාරයක් බවට පත් වෙනවා. අපේ අයුර්වේදයේ එන ප්‍රධානම අරමුණ තමයි නීරෝගි පුද්ගලයාගේ නීරෝගිකම රැකගෙන යාම. අංක දෙක තමයි රෝගියාව නීරෝගි කිරීම. අපි වැඩි අවධානයක් දෙන්නේ නීරෝගි පුද්ගලයාගේ නීරෝගිබව රැකගෙන යාමට. ඒක යටතේ අපිට කැඳ පානය කරන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට මේ කොළ කැඳ සඳහා භාවිත කරන ශාක අසාත්මික වෙන්න පුළුවන්.
ඒ නිසා අපි ළඟට එන රෝගියෙක්ට වුණත් අපි මුලදී කොළ වර්ගයක් කිහිපයක් එකතු කරලා කැඳ හදන්න කියන්නේ නැහැ. මොකද ඒ කොළ වර්ග එයාගේ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරයිද අසාත්මික වෙයිද කියලා අපි දන්නේ නැහැ. කෙනෙක්ගේ මුහුණ බලලා දේහ ලක්ෂණ බලලා අපිට ඒ කෙනාට මේක සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න බැහැ. ඒ නිසා අපි කියන්නේ මුලින්ම එක වර්ගයක් අරගෙන බලන්න. එකවරකදී එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට එයාට අසාත්මික එකක් ආවොත් අපි දන්නවා ඒ කොළ වර්ගය මෙයාට අසාත්මික කියලා. ඒ වගේම ඒ කැඳ පිළිවෙළට පිරිසුදුව හැදෙනවද කියලත් බලන්න.
ගොඩ වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කියලා දෙකක් තියෙනවනේ. මේ ප්‍රතිකාර දෙකේ වෙනස කොහොම ද?
පරම්පරාවෙන්, කෙනෙක් ප්‍රතිකාර කරන දැකපුරුද්දෙන්, ලබාගත් අත්දැකීම් ඇසුරෙන් ආයුර්වේද ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරු කොටසක් ඉන්නවා. ඊට අමතරව විධිමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය යටතේ මූලධර්ම සමඟ විෂයානුබද්ධ ලිඛිත දැනුමත් ප්‍රායෝගික පුහුණුවත් හැමදේම එක්ක නියමිත ක්‍රමවේදයක් අනුව ඉගෙන ගෙන ප්‍රතිකාර කරන උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා. ඔවුන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වී ආයුර්වේද අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන කොළඹ දේශීය වෛද්‍ය පීඨයෙන් හෝ ගම්පහ වික්‍රමාඅරච්චි විශ්වවිද්‍යාල යන ආයතනවලින් වසර 06ක විෂයානුබද්ධ දැනුම, ලිඛිත, ප්‍රායෝගික හා සායනික පුහුණුවක් සහිතව නීත්‍යනුකූලව රජයේ ලියාපදිංචි උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස බිහිවෙනවා.
මමත් කොළඹ දේශීය වෛද්‍ය පීඨයෙන් ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය ලබාගත් කෙනෙක්. මේ අධ්‍යාපන ක්‍රමයේදි අායුර්වේදයේ මූලික සිද්ධාන්තයේ ඉඳලා ශරීර විච්ඡේදනය කරලා පද්ධති හඳුනාගෙන රෝග තත්ත්වයන් පිළිබඳ ඉගෙනීම දක්වාම ආයුර්වේද හා බටහිර සිද්ධාන්ත දෙකම අපි ඉගෙන ගන්නවා. ඒක හිතනවට වඩා ලොකු විෂය පරාසයක්. මම හිතන්නේ නැහැ උපාධිය රහිතව වෙදකම් කරන අයට එච්චර ලොකු පරාසයක දැනුමක් ඇති කියලා. ඉතින් විධිමත් අධ්‍යාපනික දැනුමක් නැති නිසා මේ අයගෙන් වෙන්න තියෙන අතපසු වීම් වැඩියි. ඒ නිසා රෝගියාට අසාධාරණයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද මේ ගොඩක් අය රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් නොවන නිසා සිදුවන අතපසුවීම්වලදී ඒවා නිසා ක්ෂේත්‍රය දෙසට දෝෂාරෝපණය එල්ල වෙන්න පුළුවන්. එමනිසා මම ඉල්ලා සිටිනවා ප්‍රතිකාර ගැනීම සඳහා සුදුසුකම්ලත් උපාධිධාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න කියලා.
ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ ගැටලු ඇත්නම් තරුණීට එවන්න.
අපේ ලිපිනය ආයුර්වේද ප්‍රතිකාර, තරුණී, ලේක්හවුස්, කොළඹ 10
උපදෙස් –
ආයුර්වේද වෛද්‍ය
පී.ඒ.ජී.ටී. වාසනා වාසනායුර්වේදය,
හෝමාගම.
