Tuesday, October 14, 2025
Epaper
Home Highlightsඅකුසල කර්ම යටපත් කරන බෝධි පූජාව

අකුසල කර්ම යටපත් කරන බෝධි පූජාව

by Thanushika

වර්තමානයේ බෞද්ධ අබෞද්ධ කා අතරත් ජනප්‍රිය ශාන්තිකර්මයක් වනුයේ බෝධි පූජා ශාන්තිකර්මයයි. අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ එම බෝධි පූජා ශාන්තිකර්මය පිළිබඳවයි.

බෝධි පූජාව පිළිබඳව කතා කිරීමට පෙර ‘බෝධි’ යන වචනයෙහි අර්ථය කුමක්දැයි දත යුතුය.

‘බෝධි’ යන වචනයෙහි තේරුම ‘පැහැදිලි නිරවුල් අවබෝධය’ යන්නයි.
සෑම මහබෝසත්වරයෙක්ම සම්මා සම්බුද්ධත්වයට පත්ව ඇත්තේ වෘක්ෂ මූලයකදීමය. මේ පිළිබඳව ඉතා සුවිශේෂී තොරතුරු කාලිංග බෝධි ජාතකයේ සඳහන් වෙයි.

බ්‍රාහ්මණයන් විසින් පවත්වාගෙන ආ ඇසතු වෘක්ෂ පූජා ශාන්තිකර්මය ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පහළ වීමෙන් වෙනසකට බඳුන් විය.
එම වෙනස නම් බෝධි පූජාව ශාන්ති කර්මයක් ලෙස නොව නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ අරමුණු කොටගෙන බෝධි වෘක්ෂයට වන්දනාවන් පූජාවන් සිදු කිරීමයි.
බුදුරජාණන් වහන්සේ විහාරයෙහි නොමැති අවස්ථාවන්වලදී පුදන්නට ආනන්ද තෙරුන් වහන්සේ පූජා වස්තුවක් ඉල්ලූ විට උපදෙස් ලැබුණේ බෝධි වෘක්ෂයක් රෝපණය කරන ලෙසටය. ආනන්ද තෙරුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ, කොසොල් රජතුමා, අනේපිඬු සිටුතුමා ආදී පිරිස එක් කොටගෙන ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ බීජයක් දෙව්රම් වෙහෙරේ රෝපණය කොට වදාළ සේක. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් රාත්‍රියක් පුරා පරිභෝගයට පත්කොට පූජනීයත්වයට පත්කළ සේක.

ලොව්තුරා බුදු කෙනකු සිහිකොට වන්දනා කළ හැකි පූජා වස්තුන් වර්ග තුනක් ත්‍රිවිධ චෛත්‍යය වශයෙන් බුදු දහම තුළ හඳුනාගත හැකිය. ඒවා මෙසේය,

1. ශාරීරික ධාතු චෛත්‍යය
( ශරීර ධාතු කොටස්)
2. පාරිභෝගික චෛත්‍යය
(පරිහරණය කළ දේවල්)
3. උද්දේසික චෛත්‍යය
(බුදුරජාණන් වහන්සේ සිතින් මවා ගැනීම හෝ චිත්‍ර, ප්‍රතිමා)

මෙයින් බෝධි රාජයාණන් වහන්සේ ඇතුළත් වන්නේ පාරිභෝගික චෛත්‍ය ගණයටයි.

අතීත බොහෝ බුද්ධ ශාසනවල ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වෙනුවට බෝධි වෘක්ෂයට වන්දනා පූජා පැවැත්වීම සිදුකොට තිබේ. ථේර ගාථා පාලියේ සන්ධිත ථේර ගාථාව මීට මනා උදාහරණයකි.

සිඛී බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ පසුව එක් ගොපලු තරුණයෙක් තෙරුන් වහන්සේ නමකගෙන් බණ අසා පැහැදීමට පත් විය. තෙරුන් වහන්සේ වෙතින් අසීමිත බුදුගුණ අසා දැනගත් ඔහුට බුදුරජාණන් වහන්සේ දැකීමට බලවත් සිතක් ඇති විය. ශාස්තෘන් වහන්සේ කොහිදැයි ඇසූ ඔහුට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව අසන්නට ලැබිණි. මෙවන් මහෝත්තමයන්ට පවා මරණය නියත නම් සංස්කාරයන් කොතරම් අනිත්‍යදැයි සිතමින් හෙතෙම අනිත්‍ය සංඥාව කෙරෙහි සිත නැඹුරු කළේය.

එම තෙරුන් වහන්සේ මෙම ගොපලු තරුණයාව බෝධි පූජාව සහ බෝධි වන්දනාව කිරීමට යොමු කළහ.ශාස්තෘන් වහන්සේගේ ගුණ සිහිකරමින් බෝධි වන්දනාව බෝධි පූජාව දෙක නිරන්තරයෙන්ම ඔහු විසින් සිදු කරන ලදි. මරණයෙන් අනතුරුව සුගතිගාමී වී මහා කල්ප තිස් එකක් සුගතියේම සැරිසරා ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ යුගයේ සන්ධිත නමින් මහා ධනවත් පවුලක උපත ලැබීය. ධර්මය අසා පැවිදිව නොබෝ කලකින් විදසුන් වඩා අභිඥාලාභී මහා තෙරනමක් බවට පත්ව සසර දුකින් මිදීමට උන්වහන්සේට හැකියාව ලැබුණේ බෝධි වන්දනාවේ සහ බෝධි පූජාවේ පිනෙනි. අද වර්තමානයේදී බෝධි පූජාව සිදු වන්නේ බොහෝ විට ශාන්ති කර්මයක් පරිද්දෙනි. එහිදී බෝධිය මූලික කරගන්නා මුත් බුද්ධ සංඥාව සමහරෙක් මූලික කර නොගනිති. එසේ ශාන්තිකර්ම සඳහා බුද්ධ සංඥාවෙන් තොරව බෝධි වන්දනාව සිදු කිරීම මහා කුසලයක් ඇති නොකරන්නකි.

දින හතක්ම බෝධි පූජාව පැවැත්විය යුතු යුතුය, පැන් කළ හතක්ම නැහැවිය යුතුය, මල් වට්ටි හතක්ම පූජා කළ යුතුය ආදියේ මිථ්‍යා විශ්වාසයන්ගෙන් යුක්තව බෝධි පූජා පැවැත්වීමෙන් රැස් වෙන කුඩා කුසලයද ඥාන විප්පයුක්ත දුර්වල කුසලයක් බවට පත් වේ.

එබැවින් ඥාන සම්පයුක්තව එම බෝධි පූජාවද සිදු කළ යුතුය. උතුම් අරහත්වය පවා ලබා දීමට උපනිශ්‍රය වන කුසලයක් උපදවන බෝධි පූජාව තුළින් ඒකාන්තයෙන්ම කර්ම දෝෂයන් යටපත් කරගෙන ජීවිතයට සැනසුම ශාන්තිය සලසා ගැනීමට නම් හැකිය.

එසේ ශාන්තිය සලසා ගැනීමට එය මහා කුසලයක් රැස්වෙන පරිද්දෙන් සිදු කළ යුතුය.

ප්‍රථමයෙන්ම සිදුකළ යුතු වන්නේ ලොව්තුරා බුදුගුණ මෙනෙහි කරමින් බෝ මළුව පවිත්‍ර කිරීමය. මල් ආසන, පූජා උපකරණ ආදිය ද ඉතාමත්ම සැදැහැයෙන් පිරිසිදු කරගත යුතුය. එසේ ශුද්ධ පවිත්‍ර කිරීමම කුෂ්ඨ රෝග, චර්ම රෝග , පාප රෝග දුරු වීම සඳහා විශේෂයෙන්ම හේතුවන්නකි. ඊළඟට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ ඉදිරියෙහි වැඩ සිටින ආකාරය මනසේ මවාගෙන බුද්ධ සංඥාව ඇති කරගෙන මල් පහන්, සුවඳ දුම් ආදිය තැන්පත් කළ යුතුය.

බෝධිය නැහැවීම සිදුකළ යුත්තේ බෝධි වෘක්ෂයට හානියක් නොවනා පරිද්දෙනි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් දෝවනය කරනවාය යන සිතිවිල්ලෙනි. ඉන් පසු ගාථා කියමින් පූජා පැවැත්වීම ද, පිරිත් කියා දෙවියන්ට පින් අනුමෝදන් කොට ආශීර්වාද ප්‍රාර්ථනා කර ගැනීමද සිදුකර ගත හැකිය.

ඕනෑම කුසලයක් එක් වරක් පමණක් සිදු නොකොට, නැවත නැවතත් සිදු කිරීම කළ යුතු බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. එයින් කුසල ශක්තිය වඩවඩාත් බලවත් බවට පත්වේ. පූර්ව අකුසල කර්ම දෝෂයන් යටපත් කරගැනීමට එම බලවත් කුසල ශක්තියට හැකියාව තිබේ. එවිට මාරක පීඩා වද බන්ධනවලින් මිදී සුවසේ ජීවිතය පවත්වා ගැනීමට ඉඩකඩ ලැබේ. එසේම එම දියුණු වූ කුසල ශක්තිය තමාගේ බලාපොරොත්තු ඉටු කිරීමටද උපකාරී වනු ඇත.

මෙසේ ඥාන සම්පයුක්තව බුදු ගුණයන් සිහිපත් කරමින් බුද්ධ සංඥාවෙන් සිදු කරන බෝධි පූජාව මෙලොව ජීවිතයට සැනසීම, ශාන්තිය උදාකරනවා සේම, පරලොව ජීවිත ද සුවපත් කොට උතුම් නිර්වාණාවබෝධයටද මඟ සදනු ඇත.

 පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි.
( ආණමඩුව , කොට්ටුකච්චිය සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය ,
ත්‍රිපිටක විශාරද , ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,
සද්ධර්ම කීර්ති ශ්‍රී කර්ම වාගාචාර්ය,
රාජකීය පණ්ඩිත)

සම්බන්ධිකරණය -මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?