දීප්තිමත් කහ පැහැති මල් ඉතා සුබ මල් ලෙසටයි සැලකෙන්නේ. ඒ අතර දහස්පෙතියා මල් ප්‍රධාන වේ. Marigold හෙවත් දහස්පෙතියා ශ්‍රී ලංකාවේ සුලබව දැකිය හැකිය. පූජා කිරීම යන සීමාවෙන් ඔබ්බට ගොස් ඇති දහස්පෙතියාවලින් ලක්ෂ ගණනින් ආදායම් උපයාගත හැකි බව ඔබ දන්නවාද? ඒ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා මෙම සාකච්ඡාව සිදු කළේ අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂ ගොවි මහතකු වන ටී.පී. අමරජීව මහතා සමඟයි.
මුලින්ම දහස්පතියා මල් වගාව සිදුකිරීමට සුදුසුම දේශගුණික තත්ත්වය පිළිබඳව කතාබහ කළොත්?
දහස්පෙතියා මල් වගාවට හොඳම වියළි කලාපය. මේ මලට වැඩිපුර හිරු එළිය ඕන. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දහස්පෙතියා මල් වගාව සිදුකිරීමට පුළුවන් වුණත් වර්ෂාපතන තත්ත්ව මඟහරවාගෙන තමයි වගාව කරන්න ඕනෙ. මොකද අධික වර්ෂාපතනය නිසා බලාපොරොත්තුවන අස්වැන්න ලබාගන්න බැරි වෙනවා.
මේ වගාව සඳහා බිම සකසා ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් අඟල් දහයක් පමණ උසට, අඩි තුනක් වගේ ප්‍රමාණයක පාත්තියක් තමයි හදාගන්න ඕනෙ. සාමාන්‍ය මිරිස් වගාවකදී ගොවියා පේළි දෙකක් පමණ භාවිත කරනවා. ඒ ආකාරයටම තමයි දහස්පෙතියා සඳහා පාත්ති සකසා ගන්න ඕනෙ. පොළොව සකසා ගැනීමේදී පළමුව සී සා අඩියක පමණ ප්‍රමාණයට පොළොව කැණීමට ලක්කර ඉන්පසු වියළීමට ලබාදී නැවත පොළොව තෙත්කර, පාත්ති දැමීම සිදු කරනවා. තනි පැළයක් තමයි බොහෝ වෙලාවට වගා කරන්නේ.
දහස්පෙතියා අස්වැන්න නෙළීමට කෙතරම් කාලයක් ගත වෙනවාද?
මෙම වගාව සඳහා ගතවෙන්නේ මාස දෙකක පමණ කාලයක්. පැළ සාදා සති දෙකකින් විතර තමයි දහස්පෙතියා පැළ සඳහා ආධාරක ලබාදෙන්න ඕනෙ. දහස්පෙතියා තරමක් විශාල නිසා මල් පිපුණට පස්සේ අතු බර වී පහළට එල්ලෙනවා. මේ නිසා දෙපැත්තෙන් රිබන් වැනි පටි ඇදීම සිදු කරනවා. මේ ආකාරයට දහස්පෙතියා පැළ සඳහා අවශ්‍ය දේ නිසි කලට ලබා දුන් පසු හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
අනෙකුත් බෝගවලට වගේම දහස්පෙතියා මල් වගාවටත් වැලඳෙන විවිධ රෝගී තත්ත්වයන් තිබෙනවා නේද?
ඔව්. සාමාන්‍ය මිරිස් වගාවකට වැලඳෙන බැක්ටීරියා, දිලීර, කෘමි හානි ආදිය දහස්පෙතියා වගාවට බලපානවා. අංගමාරය රෝගයද ඇතිවෙනවා. නමුත් සාපේක්ෂව මෙම රෝග ඇතිවීම අවම මට්ටමක තමයි තියෙන්නේ.
පළමුවෙන්ම ඉතාමත් හොඳින් රෝගය හඳුනාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් මිරිස් වගාවකට වගේම විවිධ දිලීර, බැක්ටීරියා ආසාදිත රෝග තත්ත්ව දහස්පෙතියා මල් වගාවටත් පැමිණීමේ ඉඩකඩ වැඩියි. මේ නිසා දහස්පෙති වගාවක් සිදු කරනවානම් ඉතාමත් සැලකිල්ලෙන් මේ රෝග පිළිබඳ කටයුතු කරන්න ඕන. රසායනික පොහොර වර්ග වගේම කාබනික පොහොර වර්ග ද මේ සඳහා භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ස්වාභාවික කොහොඹ භාවිත කරන්න පුළුවන්. ටැංකියකට ග්‍රෑම් 300ක් පමණ යොදා ගන්න. කොහොඹ ඇට කොටා ජලයේ මිශ්‍රකර දිනක් පමණ තබා, ඒවා පෙරා දහස්පෙතියාවලට යොදනවා. වැඩිදියුණු කළ පොහොර වර්ග භාවිත කිරීම මඟින් ද විවිධ රෝගී තත්ත්ව මඟහරවා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි ඇතැම් පොහොර වර්ග මූල පද්ධතියට, කඳට හානි කරනවා. ඒ නිසා ඒවා ඉතාම හොඳින් හඳුනාගෙන පොහොර භාවිතයේ නියැළෙන්න.
දහස්පෙතියා වගාවේ ආදායම වර්ධනය කරගැනීම සඳහා සිදු කළ හැකි දේවල් මොනවාද?
ආදායම වර්ධනය කරගැනීමට වැදගත් වන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි දහස්පෙතියා මල් වගාව නිතරම ආධාරක උඩ ගෙනියන්න ඕනෙ. මොකද මල් පිපීමත් එක්ක ගසේ බර වර්ධනය වෙලා ගස බිඳී යෑමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මල් පිපුණු පසු මල් පෙතිවල කළු පැහැති පැල්ලම් වගේ ආසාදන තත්ත්වයන් ඇතිවීමටත් ඉඩ තියෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වීම වැදගත්.
දහස්පෙතියා වගාවේ යෙදෙන්න කැමති නවකයකුට ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?
පළමුවෙන්ම අලෙවිය සම්බන්ධ වෙළෙඳපොළ තත්ත්ව ඉතා හොඳින් හඳුනාගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දහස්පෙතියා කියන්නේ විදේශීය මලක්. අනෙකුත් සාමාන්‍ය භෝගවලට වගේම මේ මල් ගහටත් රෝග සියල්ලම වැලඳෙන්න පුළුවන්. ඒ නිසා මලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, කෘමිනාශක, වල්නාශක ආදිය පිළිබඳ පවා ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න.
දහස්පෙතියා වගාව ස්වයං රැකියාවක් ලෙස කිරීමට පහසුද?
ඔව්. කාන්තාවන්ට වැඩි වශයෙන්ම නියැළිය හැකි ආදායම් මාර්ගයක්. කිසියම් කාන්තාවක් සුළු සේවිකාවක් විදිහට වැඩ කරනවා නම් මාසෙකට රුපියල් 45,000 ක වගේ මුදලක් තමයි ලැබෙන්නේ. නමුත් කිසියම් කාන්තාවක් ස්වයං රැකියාවක් ලෙස දහස්පෙතියා මල් වගාව සිදු කරනවා නම් ගස් සීයකින් හෝ දෙසීයකින් වගේ ප්‍රමාණයකින් ඒ මුදල හොයාගන්න පුළුවන් ගෙදර වැඩත් කරන අතරතුර. ඉතින් කාන්තා, පුරුෂ භේදයක් නෑ. ඕනම කෙනකුට ස්වයං රැකියාවක් විදිහට ආරම්භ කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක් විදියට දහස්පෙතියා මල් වගාව හඳුනාගත හැකියි.
ඔබ දකින විදිහට දහස්පෙතියා මල් වගාවට ඇති අභියෝග මොනවාද?
දහස්පෙතියා මල් වගාවට තියෙන ප්‍රධානතම අභියෝගය තමයි අතරමැදියා නිසා දුප්පත් ගොවියාට සිදුවන පාඩුව. ඇත්තටම මමත් මේ ව්‍යාපාරය කරන්නේ අමතර දෙයක් විදිහට. දුප්පත් ගොවියගෙන් මල් ගන්න අය අඩු මුදලකට මල් අරගෙන ඉතා වැඩි මුදලකට අලෙවි කරනවා. ඒ හින්දා ගමේ ඉන්න දුප්පත් ගොවියා හැමදාම එකම තැන.
ඒ වගේම තමයි දහස්පෙතියා බීජ මිලදී ගැනීමත් ගොවියාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් තායිලන්තය, ඉන්දියාව වගේ රටවලින් දහස්පෙතියා බීජ කිලෝ එකක් රුපියල් ලක්ෂ දාසයක විතර මුදලකට තමයි මිලදී ගන්නේ. ඒකත් ගොවියට තියෙන ලොකු අභියෝගයක්.
දේශීය වශයෙන් පමණක් නොව අපට අන්තර්ජාතික වෙළෙඳපොළ පවා අතික්‍රමණය කිරීමට දහස්පෙතියා මල් වගාව යොදාගන්න පුළුවන් නේද?
ඒක තමයි වැදගත්ම කාරණය. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු දහස්පෙතියා මල් කීව ගමන් දන්නේ පූජා කිරීම ගැන විතරයි. නමුත් වියට්නාමය වගේ රටවල් දහස්පෙතියා මල් පානයක් විදිහට භාවිත කරනවා. එය ඉතාමත් ගුණාත්මකයි වගේම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම ලෝකයේ ඇතැම් රටවල් බිත්තර කහ මද වර්ණ ගැන්වීමට දහස්පෙතියා මල් භාවිත කරනවා. නමුත් අතීතයට වඩා අද වෙනකොට අපේ රටේද මේ මල් භාවිතය වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ රටේ දහස්පෙතියා මල් වගාව අන්තර්ජාතික මට්ටමට ගෙන යෑමට තරම් දියුණුවීමක් සිද්ධ වෙලා නෑ. ඒ නිසා ලෝකේ අනෙක් රටවල් වගේ හිතන්න පුළුවන් නම් දහස්පෙතියා මල් වගාව අන්තර්ජාතික මට්ටම කරා රැගෙන යෑමට පුළුවන්.
ගොවි මහත්මයෙක් ලෙසට දහස්පෙතියා මල් වගාව සම්බන්ධයෙන් ඔබට ඇති යෝජනා මොනවාද?
ඇත්ත වශයෙන්ම මේ වගාව තවදුරටත් දියුණු වෙන්න ඕනෙ. ඒ සඳහා අපිට ලෝකයේ අනෙක් රටවල් පාවිච්චි කරන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. උදාහරණයක් විදිහට කිව්වොත් ඇප් එකක් හඳුන්වලා දීලා ඒ තුළින් මල්වල මිල අලෙවි කිරීම, වෙළෙඳපොළ ආදී දේවල් ලේසියෙන් හඳුන ගන්න පුළුවන් වෙනවා. එවිට දුප්පත් ගොවියාට අන්තර්ජාතික වෙළෙඳපොළ කරා යාමටද පුළුවන් වේවි.
උපදෙස්:
ටී.පී.අමරජීව
ගොවි මහතා
බුද්ධිකා සංජීවනී