Tuesday, September 2, 2025
Epaper
Home කලා ලොවසුන්දරත්වයෙන් ලොවක් හැඩ කළ අපේ අංජානා

සුන්දරත්වයෙන් ලොවක් හැඩ කළ අපේ අංජානා

MissTeen Tourism International 2025

by Thanushika

ලොවක් හැඩ වෙන්නේ සුන්දරත්වයෙනි. එවන් සොඳුරු ලලනාවන්ගේ සුන්දරත්වයෙන් මුළු රටක් බබළමින් ලෝකයක් ජය ගන්නා විට එහි අභිමානය ඇත්තේ ඇය උපන් දේශයටය. අංජානා හීනටිගල… මෙවන් අභිමානයක් අප මවුබිමට රැගෙන ආ සුන්දර යුවතියකි. ඇය මෙම කිරුළ ගෙන එන්නේ පිලිපීනයේ පැවැති Miss Teen Tourism තරගයට සහභාගි වෙමිනි. රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ මෙය තරගය උණුසුම් එකක් විය. එම තරගයේදී ඇය Miss Teen International කිරුළ හිමි කරගත් අතර Best in Forum නමැති මිනි තරගාවලියෙන් ද ඇය ජයග්‍රහණය හිමි කරගත්තාය. මවුබිමට පැමිණීමෙන් පසුව අප සමඟ පිළිසඳරකට එක්වෙමින් අංජානා මේ තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මම පාසල් යන කාලේ පටන්ම හීනයක් තිබුණා මේ තරගයට ඉදිරිපත් වෙන්න. 2021 වර්ෂයේ තමයි මම මුලින්ම මේ තරගය දැක්කේ. ඒ දවසේ මට ආසාවක් ඇති වුණා මේ තරගයට කොහොම හරිි ඉදිරිපත් වෙන්න. ඒ සඳහා අපි වගේ තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණේ අපේ ජාතික සංවිධායකයන් ලෙස කටයුතු කරන චරිත් ගුණසේකර මහතා සහ ඉසුරු ගුණසේකර මහතාගේ උත්සාහය නිසයි.

මට මේ හැම දේකටම සෙවණැල්ල වගේ හිටියේ මගේ පියා නාමල් හීනටිගල. ඒ වගේම මගේ අත්තම්මා ශ්‍රීමති හීනටිගලත් විශාල ශක්තියක් වුණා. ඒ දෙන්නා තමයි මාව හැම අවස්ථාවකම පිටිපස්සෙ ඉඳන් ධෛර්යවත් කළේ. මෙම තරගය ජයග්‍රහණය කිරීමට උදවු කරපු තවත් දෙදෙනෙක් ඉන්නවා. විශ්මිත අභයවික්‍රම මේ කටයුත්තේ උදව් කළ එක් පුද්ගලයෙක්. ඒ වගේම මගේම සහෝදරියක්වගේ මට උදවු කළේ චාරුකා අක්කා. මේ සියලු දෙනාම තමයි මගේ පිටිපස්සේ සෙවණැල්ල වගේ ඉඳගෙන මගේ ගමනට හැම මොහොතකම ශක්තියක් වුණේ.

මේ තරගය පැවතුණේ පිලිපීනයේ. එම තරගයට මාව තෝරා ගත්තේ ලංකාවේ පැවති Miss Teen Sri Lanka ජාතික තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. ඇත්තටම මම ලංකාවේ පැවති මෙම තරගය ගැන යමක් සඳහන් කළ යුතුයි. මේ තරගය සඳහා ලංකාවේ තරගකාරියන් සියයකට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටියා. ඒ අතරින් පළමු වටය සඳහා තිස්දෙනෙකු තෝරා ගනු ලැබුවා. ඒ තිස්දෙනා අතරින් තමයි මම මිස්ටීන් ශ්‍රී ලංකා ජයග්‍රහණය හිමිකර ගත්තේ. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය හිමිකර ගැනීම නිසා තමයි මට ජාත්‍යන්තර තරගාවලියකට යන්න අවස්ථාව හිමිවුණේ.

පිලිපීනයේ පැවැති මේ තරගය සඳහා රටවල් විස්සක් සහභාගි වුණා. මම මෙම ජාත්‍යන්තර තරගයට සහභාගි වුණේ ජූලි 29 වැනිදා. මගේ පළමු ශ්‍රී ලංකාවේ තරගය පැවැත්වුණේ ජූනි 29 වැනිදා. මට ජාතික මට්ටමේ ජයග්‍රහණය ලබාගෙන ජාත්‍යන්තර තරගයට පුහුණු වීම සඳහා තිබුණේ මාසයක කාලයක්. ඒ කාලය තුළ විශාල මහන්සියක් දරමින් රාත්‍රියේ පුහුණුවීම් කටයුතු කරමින්, ඇඳුම් සකස් කරගනිමින් අපේ කණ්ඩායමක්ම ඒ වෙනුවෙන් කැපවී මහන්සි වුණා. මේ තරගයේදී අපගේ සුන්දරත්වය විතරක් නෙවෙයි දැනුම ගැනත් සොයා බලනවා. ඒ වෙනුවෙන් දැනුම දියුණු කරගන්නත් මට මහන්සි වෙන්න සිද්ධ වුණා.

මාත් සමඟ මෙම තරගයට ආදිත්‍යයා වැලිවත්තත් ඉදිරිපත් වුණා. ඇය ඉදිරිපත් වුණේ Miss Tour international තරගයට. එම තරගයෙන් ඇය ජයග්‍රහණය කළා. අපි දෙන්නගේ මේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙකුට ගැටලුවක් තිබෙනවා. එකම තරගයට දෙන්නෙක් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබන්නේ කොහොමද කියලා හුඟ දෙනෙක් අහනවා. මම මේ තරගෙට ඉදිරිපත් වුණේ Miss Teen International තරගය සඳහා. ආදිත්‍යා ඉදිරිපත් වුණේ Miss Tour international තරගාවලියට. මේ තරග දෙක තරග කණ්ඩායම් දෙකක්. අපි දෙන්න මෙහිදී යග්‍රහණ දෙකක් හිමිකර ගත්තා.

මම මේ තරගයට ඉදිරිපත් වෙන්න එක් හේතුවක් වුණේ අපේ රට වෙනුවෙන් හා සංචාරක කර්මාන්තය වෙනුවෙන් යමක් කළ යුතුයි යන අදහස නිසයි. ඒ සඳහා අපි වගේ තරුණ අයට අවස්ථාව උදා වීම විශාල භාග්‍යයක්. එම ගෞරවය අපේ ජාතික සංවිධායකවරුන්ට හිමි විය යුතුයි. දැන් මගේ වයස අවුරුදු විස්සක්. මම AOD විශ්වවිද්‍යාලයේ Fashion Design පාඨමාලාවක් හදාරනවා.මගේ එකම බලාපොරොත්තුව අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරමින් විදේශ විනිමය ගෙන ඒමේ ව්‍යාපෘතියක් සඳහා සක්‍රියව දායක වීමයි. ඒ වෙනුවෙන් මගේ මුළු කාලයම කැප කරන්න මම දැන් තීරණය කරලා තියෙනවා. මේ ලැබූ ජයග්‍රහණය ඒ සඳහා හොඳම අවස්ථාවක් කියලා මම හිතන්නේ. ඇත්තටම මම වගේම අපේ රටේ සෑම තරුණ තරුණියකටම අවස්ථාව තියෙනවා මෙවැනි තරගවලට ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් ජයග්‍රහණ හිමි කරදෙන්න.”

අංජානා මේ හිමි කර ගත් කිරුළ සමස්ත තරුණ තරුණියන්ටම ආදර්ශයකි. ජාත්‍යන්තර මට්ටමින් මෙවැනි ජයග්‍රහණ හිමි කරගැනීම අපේ රට ලෝකයේම අවධානය දිනාගනිමින් සංචාරක ව්‍යාපාරය සඳහා වූ අවස්ථා ද බිහිවනු ඇත.

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?