Thursday, August 28, 2025
Epaper
Home Highlightsසැන්ඩ්විච් න්‍යාෙය් කොටස්කරුවෝ වෙන්න එපා

සැන්ඩ්විච් න්‍යාෙය් කොටස්කරුවෝ වෙන්න එපා

by Thanushika

දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟ පෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…

ලංකාවෙ බහුතරයක් තරුණ තරුණියො කසාද බඳින මූලිකම අරමුණ දරුවෝ හදන එක ” කතාවටත් කියන්නෙ මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්නවත් කවුරුහරි ඉන්න ඕනේ කියල.

” ඊට පස්සේ හම්බකරන හැම සතයක්ම දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා. භාගෙට කකා, වැරහැලි ඇඳ ඇඳ දරුවන්ට සුර සැප දෙනවා. දැන් දුක් වින්දට දරුවෝ ලොකු වුණාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමන්ටම කියාගෙන, වදෙන් පොරෙන් හොය හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදන් ජීවිත තරගය දුවනවා.

ට්‍රිප් එකක් යන්නෙ නැහැ, හිතෙන දෙයක් ගන්නේ නැහැ, තමන්ගෙ තරුණ කාලෙම ගෙවල් හදන්නයි, දරුවෝ හදන්නයි වියදම් කරනවා, මනුස්සකම, ගුණ දහම්වලට වඩා ආර්ථික තරගය වේගවත් නිසා, ඒ දේවල් උගන්නන එක මඟඇරිලා යන වෙලාවලුත් ති‍ෙයනවා, ළමයි ලොකු වෙලා, එයාලගෙ ජීවිත හොයාගෙන යද්දී, ඉතුරු වෙලා තිබ්බ, මහගෙදර ඔප්පුවයි අනිත් සබ්බ සකලමනාවත් උන්ටම දීලා නිදහස් වෙනවා කියලා හිතාගෙන බෙදලා දෙනවා, නිදහස් වෙනවා කියලා හිතුවට එතැනදී තමයි මහලු මවුපියෝ හිර වෙන්න පටන් ගන්නෙ.

යුග පරිණාමය එක්ක දරුවෝ මවුපියන්ට වඩා වේගෙන් ජීවිත රේස් එක දුවනවා, පුළු පුළුවන් විදිහට මවුපියෝ දිහා බැලුවත් හුඟක් වෙලාවට ගොඩක් තැන් මඟඅැරෙනවා, හිතලම මඟඅරිනවා වෙන්නත් පුළුවන්. ජීවිතේ සියල්ල දරුවන්ට දුන් පසු ඔවුන්ගේ සියල්ලමත් ඒ දරුවොම නිසා, දරුවෝ තමන්ව අතඇරලා සතුටු වෙනකොට, තනියම ජීවිතේ විඳිනකොට, හීනියට දුකක් එන එක සාධාරණයි. අපි නොකා නොබී, දුකෙන් හදපු එවුන් නිසා ලේලිලා බෑණලා සැප විඳිනකොට ඉතින් එයාලට ටිකක් අවුල් වගේ. තමන්ගේ වේගවත් ගමනට මවුපියෝ බැරියර් වුණහම ළමයින්ටත් වදයක් වගේ.

ඉතින් දෙගොල්ලො අතර ප්‍රශ්න පටන් ගන්නවා. ලේලිලා, බෑණලා නයින්ට අඳුකොළ වගේ පේන්න ගන්නවා. අතේ සතේ නැතුව මහගෙදරත් ලියලා දීපු මහලු ජෝඩුව කරන්න දෙයක් නැතිම වෙලා අන්තිමට කැමැත්තෙන්ම වැඩිහිටි නිවාසෙට යනවා. එක්කෝ දරුවොම ගෙනිහින් දානවා.

එහෙමත් නැත්තම් දරුවන්ගේ ගෙවල්වල මුනුපුරෝ, මිනිපිරියෝ බලාගෙන ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිල නොලත් සේවකයෝ වෙලා ඉන්නවා. අන්තිමට, බහුතරයක් මිනිස්සු තරුණ කාලෙත්, මහලු කාලෙත් දෙකම අසතුටින්, ආර්ථික බංකොළොත්කමෙන්, ලංකාවේ වැඩිහිටියෝ බහුතරයක් නිවාසවල හෝ වැඩිහිටි නිවාසවල මරණය එනකම් පාර බලාගෙන ඉන්නවා.

තිත්ත වුණත් ඔන්න ඕකයි ඇත්ත.

ඒ දරුවෝ ලොකු වුණාම ඒ දරුවන්ට වෙන්නෙත් ඔය කතාවම තමයි.

ඕක පැටන් එකක් විදිහට වළල්ලක් වගේ කැරකි කැරකි කාටත් වෙනවා. සරලවම කිව්වොත් ලංකාවේ හැම මවුපියෙක්ම, දරුවෙක්ම මේ සැන්ඩ්විච් න්‍යායේ කොටස්කරුවෝ තමයි. හැමෝම තමන් ඉපදුණු පවුලත් තමන් හදාගත්ත පවුලයි අතර සැන්ඩ්විච් එකක් වගේ හිර වෙලා.

අවසානයේ දරුවොත් මවුපියොත් දෙගොල්ලොම අසතුටින්.

තරුණ කාලේ තමන් උපරිමයෙන් ජීවිතේ විඳපු නිසා දරුවන්ගේ ජීවිත දිහා බලලා ඔවුන්ට දුකක් දැනෙන්නේ නැහැ.

විදේශ රටවල මවුපියොත් දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා.

හැබැයි ඒත් සියල්ලම නෙමේ. ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහර දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒත් සියල්ලම නෙමේ.

ඉතින් ඔවුන්ට පසුතැවීමක් කලකිරීමක් නැහැ. සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් මැරිලා යනවා.

වර්තමානයේ අපේ රටේ කවුරුහරි අම්මෙක් ජීවිතේ අවසාන කොටසේදී දුක් විඳිනවා නම් ඒක නොවිය යුතු දෙයක්. දරුවෝ වෙනුවෙන් සියල්ල කැප කරපු ඔවුන්ව දරුවෝ බලා ගන්නම ඕනේ.

ඒත්, අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ මේ තරමට වත් අපි වයසට ගියාම අපි ගැන බලයි කියලා, වුවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද ?

❌අපි හිතන තරමටවත්, අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද ?

සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මඟඇරෙන්න පුළුවන්. හිතාමතා මඟඅරිනවා වෙන්නත් පුළුවන්. ඔවුන් කාර්ය බහුල වෙන්න පුළුවන්. වුවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන්, අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

ඒත් තාමත් ඔබ ප්‍රමාද නැහැ. අපේ මවුපියෝ වගේ අපි, දෙපැත්තට මැදිවෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ.

පුළු පුළුවන් විදිහට ඔබත් ඔබේ ජීවිතය විඳින්න.

එතකොට දරුවෝ සතුටු වෙනකොට අනේ අපරාදේ අපිට බැරි වුණානේ කියලා ලේලි, බෑණා එක්ක තරහ එන එකක් නැහැ. සත පනහ ගාණේ හරි ඔය දෙන්නා වෙනුවෙන් ඉතුරු කරන්න. මොන තරම් ආදරේ තිබ්බත් මහ ගෙදර ඔප්පුව මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න.

එතකොට පන්සලට දෙන්න දන් පින් කරන්න. බැරිම වුණොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට ති‍ෙයනවා. ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ. හැබැයි, ඒ යන්ත්‍රවලට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්. අපි හැමෝටම වගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෙට දවසේ ඒ රටාවට හුරු වෙන්නම වෙනවා.

දරුවෝ කියන්නෙ තටු හයිය වෙනකම් බලාගෙන ඊට පස්සේ අතඅරින්න ඕ‍ෙන කොටසක් මිසක්, මැරෙනකම් බැඳගෙන ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි. මවුපියෝ කියන්නෙත් මැරෙනකම් තමන්ගෙ මුළු ජීවිතේම දරුවොයි මුනුපුරොයි වෙනුවෙන් කැප කරලා මැරිලා යන්න ඕනේ ජාතියකුත් නෙමෙයි.

ඔන්න ඕක තේරුම් ගත්ත දවසට තමයි දරුවොන්ටයි මවුපියන්ටයි දෙගොල්ලොන්ටම සතුටෙන් මැරෙන්න පුළුවන් වෙන්නෙ.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?