Thursday, August 28, 2025
Epaper
Home Highlightsහෘදයාබාධයට මුල වැරදි ජීවන රටාව

හෘදයාබාධයට මුල වැරදි ජීවන රටාව

සීනි මාරාන්තිකයි

by Thanushika

මේ දවස්වල පුවත්පතක් අතට ගත්තත්, රූපවාහිනිය නැරඹුවත්, සමාජ මාධ්‍ය ජාලයකට පිවිසියත් අපිට අහන්නට, දකින්නට ලැබෙන දෙයක් තමයි අකාලයේ දිවියෙන් සමුගත් තරුණ ජීවිත ගැන. ඒ අතරින් අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන බොහෝ තරුණ දරුවන් සිය ජීවන ගමන නිමා කරලා තිබුණේ හදිසි හෘදයාබාධවලින්.

ඇත්තටම බෝවන රෝගයක් තරමටම එකිනෙකා අතර දකින්නට ලැබෙන මේ හෘදයාබාධවලට හේතුව මොකක්ද? ඒ ගැන හිතද්දි අපේ මතකයට ආවේ ගෝඨාභය රණසිංහ මහතා. ඔහු හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ. ඉතින් අපි එතුමාගෙන් මේ පිළිබඳ කරුණු කාරණා විමසන්නට තීරණය කළා.

* වෛද්‍යතුමනි, මේ දවස්වල අපට ඇහෙන්නෙම තරුණ දුවා දරුවන් හදිසියේ මියගිය පුවත්. මේ බොහෝ දෙනෙක්ට හදිසි හෘදයාබාධ ඇතිවෙලා. ඇත්තටම මේකට හේතුව මොකක් ද?

“වර්තමානයේ හුඟක් වෙලාවට තරුණ අය අතරේ හෘදයාබාධ හැදෙන ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. යුරෝපා රටවලවලට සාපේක්ෂව ආසියාතික රටවල මේ තත්ත්වය වැඩියෙන් දකින්නට ලැබෙනවා. ඒ අතරිනුත් දකුණු ආසියාතික රටවල මේ තත්ත්වය ඉතා වැඩියි. ඇත්තටම මේකට හේතුවෙලා තියෙන්නෙ. වැරදි ජීවන රටාව. ඒ කියන්නෙ අපි ගන්නා ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම අපේ ජීවන රටාව. දැන් වැඩිදෙනෙක් ක්‍රියාශීලී නොවන ජීවන රටාවකට තමයි හුරුවෙලා තියෙන්නෙ. අනෙක මේ අයට මානසික ආතතිය වැඩියි. ඊට අමතරව සමබල නොවන, නිසි පෝෂණයක් නොමැති ආහාර රටාව. ඔන්න ඔය කරුණු ටික තමයි මේ තත්ත්වයට මූලිකවම හේතුවෙලා තියෙන්නෙ.“

* නිසි පෝෂණයක් නැති, සමබල ආහාර නොගැනීම කියන කාරණය අපේ ශරීරවලට අහිතකර ප්‍රතිඵල රැගෙන එනවා නේද?

ඔව්. මෙතැනදි වැඩිපුර ශරීරයට සීනි එකතුවීම, ඒ කියන්නෙ කබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගැනීම කියන කාරණාව ප්‍රමුඛයිි. පැණි රස ආහාර, පිටි සහිත කෑම, රසකැවිලි, රසකාරක යෙදූ ආහාර, අතුරුපස, බේකරි ආහාර, ක්ෂණික ආහාර, පැකට් කළ ආහාර මේ කොයිදේත් ශරීරයට එකතු කරන්නෙ අහිතකර දේවල්. වැඩි දෙනෙක් සීනි ආහාරයට ගන්නෙ නෑ කියලා හිතුවට වෙනත් ආහාරවලින් ශරීරයට සීනි එකතු වෙනවා. රසකාරක, කෙචප් වර්ග, සිරප්, පලතුරු මේවායේ තියෙන්නෙත් සීනිම තමයි. ඉතින් ඒවා අඩංගු ආහාර පාන ගන්නවා කියන්නෙම ශරීරයට සීනි එකතු වෙනවා කියන එක තමයි. ඊට අමතරව ඔය බේක් කළ ආහාර, පැකට් කළ, ටින් කළ ක්ෂණික ආහාරත් ආහාරයට එකතු කරගැනීම සුදුසුම නෑ.“

* ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි පුරුදුවෙලා තියෙන්නෙ වේල් තුනක් බත් ආහාරයට ගන්නයි.

“ඔව්. අැත්තටම තුන්වේලක් බත් කන එකෙන් වෙන්නෙ අපේ ශරීරයට ගන්නා සීනි ප්‍රමාණය හුඟාක් වැඩිවීමයි. මේ බත්වලට අමතරව තව ඉඳිආප්ප, පිට්ටු, පාන්, රොටි වාගේ පිටි කෑමවලිනුත් ශරීරයට සීනි එකතු කරනවා. මොකද අපි ආහාරයට ප්‍රෝටීන් ගන්නෙ අඩුවෙන්. වැඩියෙන් කාබෝහයිඩ්‍රේට්. එළවළු ගන්නා ප්‍රමාණයත් අඩුයි. ඉතින් මේ නිසා දන්නෙම නැතුව ශරීරයට අහිතකර අන්දමට අපි සීනි එකතු කරගන්නවා.“

ඒ කියන්නෙ අපි නොදැනුවත්වම දිනපතා ශරීරයට විශාල ග්ලූකොස් ප්‍රමාණයක් එකතු කරගන්නවා කියන එක නේද?

“හරියට හරි. මේ විදිහට ශරීරය ඇතුළේ එකතුවන ග්ලූකෝස් ප්‍රමාණය අපේ සෛලවලට වැඩියි. එතැනදි සෛල මේ ග්ලූකෝස් ප්‍රතික්ෂේප කරනවා. මේ ග්ලූකෝස් සෛලවලට ගන්නෙ ඉන්සියුලින් හරහා. ඉතින් සෛලත් එපා කියන මේ ග්ලූකොස් ශරීරයේ ෆැට් විදිහට තැම්පත් කරනවා. ඉතින් දිගින් දිගටම මේ අාකාරයට වෙනකොට ශරීරය තරබාරු බවට පත්වෙනවා. ඒත් එක්කම ලොකු ප්‍රශ්නයක් එනවා. ඉන්සියුලින් ප්‍රමාණය වැඩියි. නමුත් මේ ඉන්සියුලිින් අර සීනි සෛලවලට ගන්න බැහැ.

ඉතින් මේ විදිහට ඉන්සියුලින් රෙසිස්ටන් (ඉන්සියුලින් ප්‍රතිරෝ්ධය) ආවට පස්සේ ඒක හරි ටොක්සික්. ඒ කියන්නෙ විසයි. ඒ නිසා අපේ ශරීරයේ ඉන්සියුලින් වැඩිවෙනකොට අපිට දියවැඩියාව, අධික රුධිර පීඩනය වාගේ දේවල් හැදෙනවා. ඊට අමතරව මේ ඉන්සියුලින් සහ සීනි එකතු වෙලා අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් විකෘති කරනවා. ඒවා ඔක්සිඩයිස් කරනවා කියලා අපි කියනවා. මේ විදිහට ඔක්සිඩයිස් වුණාම ඒ කොලොස්ටරෝල් ඒ කියන්නෙ LDL කියන කොලෙස්ටරෝල් වර්ගය ගිහින් ඕනෙම ටිෂු එකක ඒ කියන්නෙ කිරීටක ධමනියක වුණත් තැම්පත් වෙන්න පුළුවනි. ඒත් එක්කම මේ කිරීටක ධමනියේ අැතුළේ තියෙන ලේයර් එක එන්ඩෝතීරියම් එහෙමත් නැතිනම් එන්ටිමා එකත් දුර්වල කරනවා.

එතකොට දැන් බලන්න සීනි වැඩිවීම හරහා ඉන්සියුලින් රෙසිස්ටන් එකත් වැඩි වෙලා. සාමාන්‍ය ප්‍රමාණයට කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට වුණත් මේ තත්ත්වය යටතේ LDL කොලෙස්ටරෝල් විකෘති වීම සිදු වෙනවා. මොකද සාමාන්‍යයෙන් ශරීරයේ LDL තිබුණා කියලා ඒවා තැම්පත් නොවුණත් මේ විදිහට විකෘති වුණහම අර කිරීටක ධමනියේ ඇතුළත තියෙන ආරක්ෂක සිවිවලටත් හානි කරනවා. ඒ විදිහට හානි වුණාම අර විකෘති වුණු LDL කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා කිරීටක ධමනියේ ඇතුළත ලේයර් එකේ. මේ විදිහට තැම්පත් වීම පුංචි ගැටිත්තක් බවට පත්වෙලා එය පුපුරලා හෘදයාබාධයක් හැදෙනවා.

ඉතින් මේක පුංචි කාලේ ඉඳන්ම කෙනෙකුට සිදුවෙන්නා වූ ක්‍රියාවලියක්. මොකද කුඩා කාලයේ ඉඳන් නිවැරදි නොවුණු ආහාර රටාව, ජීවන රටාව, ඇබ්බැහි වුණු ආහාර රටාව වාගේ දේවල්වලින් කාලයක් යද්දි ඉහත සඳහන් කළ හෘදයාබාධ තත්ත්වයට පත්වෙන්න පුළුවනි.

මේ අපි කිව්වෙ නිවැරදි නොවුණු කෑම රටාව, එහෙමත් නැතිනම් අධික සීනි, කාබෝහයිඩ්‍රේට් භාවිතය නිසා හෘදයාබාධයක් ඇතිවෙන ආකාරයයි. ඊට අමතරව දෙවැනි කාරණය ලෙස අපි ආහාරයට ගන්නා විවිධ තෙල් වර්ග නිසාත් හෘදයාබාධ ඇතිවෙන්න පුළුවනි. අපි ඒ ගැන ලබන සතියේදී කතා කරමු.

උපදෙස් – හෘදරෝග විශේෂඥ වෛද්‍ය

ගෝඨාභය රණසිංහ

චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?