පැහැපත්, සුමුදු සමක් ලබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. මේ වෙනුවෙන් කළ යුතු වන්නේ ඉතාමත් කුඩා පියවර කිහිපයක් පමණයි. සම හොඳින් පිරිසුදු කර, එයට පෝෂණය ලබා දී නිසි ලෙස රැක බලා ගැනීමෙන් පැහැපත්, සුමුදු සමක් ලබා ගැනීමට පුළුවන්.
සම පිරිසුදු කිරීමේ එක් පියවරක් ලෙස ස්ක්‍රබ් කිරීම හැඳින්විය හැකියි. මේ වන විට බොහෝ දෙනා ස්ක්‍රබ් කිරීම් සිදු කළ ද ඇතැම් විට එහිදී දැනගත යුතු හා සැලකිලිමත් විය යුතු කරුණු ගැන නොදැනුම්වත් බවකින් එය සිදු කරයි. මෙහිදී අප බලාපොරොත්තු වන ප්‍රයෝජනය නොලැබී යාමට පමණක් නොව, ඇතැම් විට හානිදායක තත්ත්වයක් වුවද ඇතිවිය හැකියි. ඒ නිසා අද අපි ස්ක්‍රබ් ගැන නිසි ලෙස දැනුම්වත් වෙමු.
ස්ක්‍රබ් එකක් කියන්නේ මොකක්ද?
ස්ක්‍රබ් එකක් කියන්නේ අපේ සිරුරේ ඇති මැරුණු සම ඉවත් කරගැනීම සඳහා සිදු කරන දෙයක්. අපේ පැරැණ්ණෝ ගල්, වැලි, වියළුණු වැටකොළු කොස්ස වගේ දේවල් වලින් සම ඇතිල්ලීම සිදු කළා. මෙය ඔවුන් නොදැන සිදු කළත් එයත් යම් ආකාරයක ස්ක්‍රබ් කිරීමක්..
පසුකාලීනව ස්ක්‍රබ් කියන වචනෙත් එක්කම මැරුණු සම ඉවත් කිරීම සඳහා විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගැනීමටත්, විවිධාකාරයේ ද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණීමත් සිදු වුණා.
මෙහිදී සිදු වෙන්නේ මොකක්ද?
සර්පයන් හැව අරිනවා කියලා දෙයක් කරනවා ඔයාලා දැකලා ඇති. උන් ඒ සිදු කරන්නෙත් මැරුණු සෛල තිබෙන පරණ සම ඉවත් කිරීමක්. අපේ සමේත් මේ තරම් පැහැදිලිව දකින්නට නැති වුණාට සෛල මැරී යාමක් සිදු වෙනවා. ඒ මැරුණු සෛල අපි නොදැනුම්වත්වම සිහින් කුඩක් ලෙස හැලීමක් සිදු වෙනවා. නමුත් සමහර තැන්වල නහය දෙපස, කිහිලි, බෙල්ල වැනි ස්ථානවල එසේ ඉවත් වීමක් සිදු වන්නේ නැහැ.
ඒවා තවදුරටත් සමේ තිබීමෙන් සමේ නැවුම් බව, සුමුදු බව නැති වෙන්න වගේම සම කළු පැහැ වෙන්නත් පුළුවන්. ඒ නිසා ස්ක්‍රබ් එකකින් මේ මැරුණු සම ඉවත් කිරීම තමයි සමේ නිරෝගී බවට වැදගත් වෙන්නේ..
ස්ක්‍රබ් එකක් කළ යුතු කාලපරාසය..
ස්ක්‍රබ් එකක් නිතර කිරීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් සති දෙකක පමණ කාලපරාසයක් ඇතිව ස්ක්‍රබ් කිරීම තමයි සුදුසු වෙන්නේ.
ස්ක්‍රබ් නොකළ යුතු සමවල් තිබෙනවද?
ඔව් අධික ලෙස කුරුළෑ ඇති සමක් තිබෙන අයෙක් ස්ක්‍රබ් කිරීම සුදුසු වන්නේ නැහැ. මොකද ස්ක්‍රබ් කිරීමෙන් එම කුරුලෑ කැඩී යාමට හැකි නිසා. එවැනි සමක් තිබෙනවා නම් පළමුව කුරලෑ සඳහා ප්‍රතිකාර කළ යුතුයි.
මෙය කරන ද්‍රව්‍ය අනුව ලැබෙන ප්රතිඵලවල වෙනසක් තිබෙනවද?
සිහින් ලුණු කුඩු, කළු පැහැති සිහින් මුහුදු වැලි වගේම තවත් අය සීනිත් ස්ක්‍රබ් සඳහා යොදා ගන්නවා. සීනි ඉක්මනින් දිය වන නිසා සීනිවලින් ස්ක්‍රබ් කිරීම පහසු නැහැ. ඒවගේම කෝපි කුඩු, වෙනිවැල් කුඩු ආදිය පවා ස්ක්‍රබ් කිරීම සඳහා යොදා ගන්නවා. මෙම ද්‍රව්‍යවල ඇති ගුණාත්මක බව සමට අවශෝෂණය කරගැනීමකුත් සිදු වෙන නිසා එවැනි දෙයකින් සම ස්ක්‍රබ් කිරීමෙන් මැරුණු සෛල ඉවත්කර ගන්නා අතරම සමට පෝෂණයකුත් ලබා ගන්න පුළුවන්.
ස්ක්‍රබ් එකක් කරන්නේ කොහොමද?
ස්ක්‍රබ් කරන ද්‍රව්‍ය සමේ ගැල්වූ පසුව තදින් ඇතිල්ලීම සුදුසු වන්නේ නැහැ. මෙහිදී මැරුණු සම ඉවත් වීම කෙසේ වෙතත් ඉන් ඔබේ සම සියුම් සීරීම්වලට ලක් විය හැකියි. සම කැපීම නිසා එය සමට හානියක් විය හැකියි.
මැරුණු සෛල ඉවත් කිරීමෙන් පස්සේ..?
ස්ක්‍රබ් කිරීමෙන් පසුව මුහුණ සිසිල් ජලයෙන් සෝදා තෙත මාත්තු කරගැනීමෙන් පසුව අනිවාර්යයෙන් ටෝනර් එකක් භාවිත කළ යුතුමයි. මේ සඳහා වෙළෙඳපොළේ ඇති ටෝනර් වර්ගයක් මිලදී ගැනීමට පුළුවන්. එසේත් නැතිනම්, අයිස් වතුර, පිපිඤ්ඤා යුෂ, රෝස වතුර වැනි දෙයක් ටෝනර් එකක් ලෙස භාවිතයට ගත හැකියි.
අධික වියළි සමක් වැනි ගැටලුකාරී සමකට ස්ක්‍රබ් සුදුසු ද?
අධික වියළි සමක් වගේම ඇක්නි සහිත සමකට වුවත් ස්ක්‍රබ් කිරීමක් සිදු කළ හැකියි. නමුත් ඒ සඳහා එවැනි සමක් සඳහා යොදා ගන්නා ස්ක්‍රබ් වර්ගයක් තෝරා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුයි. කුරුලෑ ඇති සමකට වෙනිවැල් කුඩු දෙහි සමඟ මිශ්‍ර කර එම මිශ්‍රණය මුහුණේ ආලේප කර තැබිය යුතුයි. ස්වල්ප වේලාවකට පසුව ඉතා සෙමින් අතුල්ලා සෝදා හැරිය හැකියි.
මෙයින් ස්ක්‍රබ් කිරීමෙන් එම ද්‍රව්‍යයේ ඇති ගුණාත්මකභාවය සමට උරා ගැනීමක් සිදු වෙනවා. වෙනිවැල් සහ දෙහි යන දෙකම පිරිසුදු කාරක ද්‍රව්‍ය වන නිසා කුරුලෑවලට යම් හානියක් සිදු වුවත් ඒවාට විසබීජ යාම මේ නිසා වළකිනවා. ඒ වගේම අයිස් වතුරවලින් ටෝනර් කරගැනීම වැදගත්.
ස්ක්‍රබ් කිරීමකින් පසුව ක්‍රීම් එකක් ආලේප කළ යුතුද?
මෙය සමේ ස්වභාවය අනුව තීරණය කළ යුතු දෙයක්. තෙතමනය සහිත සමකට තෙතමනය රඳවා ගැනීමට මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් වියළි සමකට නම් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකකින් පසුව මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් ආලේප කළ යුතුයි. මොයිස්චර්රයිසර් ආලේප කරන කවුරුත් තමාගේ සමට අනුව එය තෝරා ගැනීම වැදගත්.
වයසට යාමේ දී සම වියළෙන නිසා ස්ක්‍රබ් එකක් සති දෙකින් දෙකට කිරීම සුදුසු ද?
සති දෙකකින් ස්ක්‍රබ් කිරීම ඕනෑම වයසක අයෙකුට සුදුසුයි. සතියකට සැරයක් කිරීමට වඩා සති දෙකකට සැරයක් ස්ක්‍රබ් කිරීම තමයි සුදුසු වෙන්නේ.
ස්ක්‍රබ් කිරීමක් වයස 18ට අඩු අය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ස්ක්‍රබ් කිරීම වගේම ක්ලෙන්ස් කිරීමත් ළාබාල අයට එතරම් සුදුසු නැහැ. මොකද මේ දේවල් කිරීමෙන් ඔවුන්ගේ සමේ PH අගය තුළිතව තබා ගැනීමට නොහැකි විය හැකියි. අපි මොන දේ කළත් සමේ PH අගය තුලිතව තබා ගැනීම වැදගත් බව කිවයුතුයි.
උපදෙස් –
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
තීක්ෂණී කාරියවසම්
අයන්ති උඩුගම්පල