Saturday, April 4, 2026
Epaper
Home BeautySkin Care Routine එකකට මහ ලොකු දේවල් ඕනෙ නෑ…

Skin Care Routine එකකට මහ ලොකු දේවල් ඕනෙ නෑ…

by Shanaka Lakehouse

නීරෝගි සහ දිදුලන සමක් හිමි කර ගැනීම යනු වර්තමානයේ බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රධාන සිහිනයක් වුවද, වෙ‍ෙළඳපොළේ ඇති විවිධ රසායනික ආලේපන සහ සංකීර්ණ රූපලාවණ්‍ය ක්‍රමවේද හමුවේ නිවැරදි තේරීමක් කිරීම අසීරු වී තිබේ. සැබවින්ම නීරෝගි සමක රහස පවතින්නේ අධික පිරිවැයක් දැරීම තුළ නොව, සමේ ස්වාභාවික ක්‍රියාවලියට අනුබල දෙන සරල සහ විද්‍යාත්මක පිළිවෙතක් දිනපතා අනුගමනය කිරීම තුළය. සම යනු ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන අතර, එය බාහිර පරිසරයෙන් එන දූවිලි, විෂබීජ සහ හිරු කිරණවලින් අපව ආරක්ෂා කරන ප්‍රධාන වැටකඩුල්ලයි.

එබැවින් අපේ බාහිර පෙනුම ඔප්නැංවීමට පමණක් නොව, සමේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ද නිසි සම රැකවරණ කිරීම හෙවත් Skin Care Routine එකක් අනුගමනය කිරීම අතිශයින්ම වැදගත් වේ. ඕනෑම කාර්යබහුල පුද්ගලයකුට පහසුවෙන් අනුමනය කළ හැකි මෙම සරල පිළිවෙත මූලික වශයෙන් පිරිසුදු කිරීම, තෙතමනය රැකදීම සහ සන්ස්ක්‍රීන් භාවිතය යන ත්‍රිත්ව පදනම මත ගොඩනැඟී තිබිය යුතුය.

සම රැකවරණයේ පළමු පියවර ලෙස සැලකෙන්නේ නිසි ලෙස සම පිරිසුදු කිරීම හෙවත් “Cleansing” පියවරයි. දවස පුරා පරිසරයෙන් සම මත තැන්පත් වන දූවිලි, දුමාරය සහ අතිරික්ත තෙල් ඉවත් නොකිරීමෙන් සමේ සිදුරු අවහිර වී කුරුලෑ සහ කළු ලප ඇතිවීමට ඉඩප්‍රස්තාව සැලසේ. මෙහිදී ඉතා වැදගත් වන්නේ තමාගේ සමේ ස්වභාවය හඳුනා ගැනීමයි. තෙල් සහිත සමක් ඇති අයකුට නම් ජෙල් වර්ගයේ (Gel-based) පිරිසුදුකාරකයක් ද, වියළි සමක් ඇති අයකුට නම් ක්‍රීම් වර්ගයේ (Cream-based) පිරිසුදුකාරකයක් ද වඩාත් යෝග්‍ය වේ. උදෑසන නින්දෙන් අවදි වූ පසු සහ රාත්‍රී නින්දට පෙර අනිවාර්යයෙන්ම මුහුණ පිරිසුදු කළ යුතු අතර, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මුහුණ පිරිසුදු කිරීමෙන් සමට රාත්‍රිය පුරා නිදහසේ හුස්ම ගැනීමට සහ සෛල අලුත්වැඩියා කර ගැනීමට අවස්ථාව හිමි වේ.

දෙවැනි පියවර වන්නේ සමේ තෙතමනය රැකදීම හෙවත් “Moisturizing”ය. සමට අවශ්‍ය තෙතමනය නොලැබෙන විට, එය පියවා ගැනීමට සම විසින් ස්වාභාවිකවම වැඩිපුර තෙල් නිපදවනු ලබයි. මෙය පාලනය කර සමේ නම්‍යශීලී බව රැක ගැනීමට නම්, සමේ වර්ගයට ගැළපෙන මොයිස්චරයිසර් එකක් දිනකට දෙවරක් භාවිත කළ යුතුය. මෙම පියවර සියල්ලටම වඩා වැදගත්ම පියවර වන්නේ හිරු කිරණින් ආරක්ෂා වීම හෙවත් “Sun Protection” ය. හිරුගෙන් නිකුත් වන අහිතකර පාරජම්බුල කිරණ මඟින් සම අකලට මහලු පෙනුමක් ගැනීම, අඳුරු ලප ඇතිවීම සහ සමේ පිළිකා ඇතිවීමේ අවදානම ඉහළනංවයි. එබැවින් අවම වශයෙන් SPF 30 හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් එකක් දිනපතා ආලේප කිරීම නීරෝගි සමක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය.

බාහිර සත්කාරවලට අමතරව, සමේ දීප්තිය තීරණය වන්නේ අපගේ අභ්‍යන්තර සෞඛ්‍යය සහ දෛනික පුරුදු මතය. ශරීරයේ තෙතමනය අභ්‍යන්තරිකව පවත්වා ගැනීමට දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2-3ක් පානය කිරීම අත්‍යවශ්‍ය වේ. ජලය මඟින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කර සමට ස්වාභාවික පැහැපත් බවක් ලබා දෙයි. එමෙන්ම පෝෂණීය නින්ද සමේ සෞඛ්‍යයට සෘජුවම බලපායි. රාත්‍රී 10 සිට අලුයම 2 දක්වා කාලය තුළ සමේ සෛල අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය (Cell Regeneration) උපරිම මට්ටමක පවතින බැවින්, එම කාලය තුළ ගැඹුරු නින්දක පසුවීම සමේ තරුණ බව රැකගැනීමට උපකාරී වේ. මානසික ආතතිය පාලනය කිරීමද මෙහිදී වැදගත් වේ. මන්ද යත් ආතතිය නිසා ශරීරයේ නිපදවෙන “කෝටිසෝල්” හෝමෝනය මඟින් කුරුලෑ සහ සමේ ආසාදන වැඩි කළ හැකි බැවිනි.

තවත් වැදගත් කරුණක් වන්නේ සම පිරිසුදු කිරීමේදී මෘදු බව අනුගමනය කිරීමයි. මුහුණ සේදීමේදී කිසිවිටෙකත් සම තදින් ඇතිල්ලීම හෝ රළු තුවා භාවිත කිරීම නොකළ යුතුය. ඒ වෙනුවට මෘදු ලෙස තවා මුහුණ පිසදා ගැනීමෙන් සමේ ඇති සියුම් පටක ආරක්ෂා වේ. එසේම රාත්‍රී නින්දට පෙර මේකප් (Makeup) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වගබලා ගත යුතුය. සම රැකවරණයේදී ඉවසීම යනු ප්‍රධාන සාධකයකි. ඕනෑම සත්කාරයක ප්‍රතිඵල ලැබීමට සාමාන්‍යයෙන් අවම වශයෙන් සති හතරක හෝ හයක කාලයක්වත් ගත වේ. එබැවින් ක්ෂණික පැහැපත් බවක් ලබා දෙන බව පවසන, රසදිය හෝ බ්ලීචින් අඩංගු ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිත කිරීමෙන් ඔබේ සමට සිදුවන හානිය දරුණු විය හැකිය. ඒ වෙනුවට, විද්‍යාත්මකව පිළිගත් මෙම සරල පියවරයන් දිනපතා අනුගමනය කිරීමෙන් ඔබේ ආත්මවිශ්වාසය ඉහළ නංවන, සැබෑ නීරෝගි සහ සෞඛ්‍ය සම්පන්න සමක් උරුම කර ගැනීම කිසිසේත්ම අසීරු කාර්යයක් නොවනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?