තොල් ආලේපන කාන්තා විලාසිතා අතර ජනප්‍රිය විලාසිතාවක්. අනෙක් විලාසිතා සේම තොල් ආලේපන පාවිච්චි කරන විදියත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේම ඊට අලුත් ශිල්පීය ක්‍රමත් එකතු වෙනවා. ඒ නිසා අලුතින් වෙළෙඳපොළට එන අලුත් තොල් ආලේපන හරිම විදියට භාවිත කරන ශිල්පීය ක්‍රම ගැන දැනගෙන සිටීම ඕනෑම කාන්තාවකට වැදගත්. විශේෂයෙන් තමන් බලාපොරොත්තු වන සුන්දරත්වය දෙතොලට එකතු කර ගැනීමට නම් ඒ ගැන දැන සිටීම අවශ්‍යයි. එසේ නම් තොල්වල වියළිබව නොපෙනෙන ලෙසත් තෙතමනය පෙනෙන සේ සහ වැඩි වේලාවක් රැඳී තිබෙන විදියට තොල් ආලේපනය භාවිත කරන්නේ කෙසේදැයි බලමු.
එක් එක් අයගේ සමේ වර්ණයත් සමඟ ඒ ඒ අයට ගැළපෙන තොල් ආලේපන වර්ණ තිබෙනවා. එහෙත් වර්ණය ලස්සන වූ පමණින්ම හිතට දැනෙන ඕනෑම වර්ගයක තොල් ආලේපනයක් තෝරා ගැනීම නම් කිසිසේත් නොකළ යුතුයි. එයින් තමන් බලාපොරොත්තු වන ලස්සන වෙනුවට සමහර අවස්ථාවල අවලස්සන පෙනුමක් එකතුවීමට ඉඩ ඇත. එමෙන්ම සමේ පැහැය අඩු කෙනකුගේ නම් නොගැළපෙන තොල් වර්ණය නිසා සම තවත් අඳුරු පැහැයක් ගැනීමටද ඉඩ තිබෙනවා.
තෙතමනය රැඳෙන්න තොල් පාට කරන හැටි
තොල් ආලේපනය කිරීමට කලින් එය වැඩි වේලාවක් තොලේ රඳවා ගැනීමට නම් ඔබට මැරුණු සම ඉවත් කරගත් සුසිනිඳු දෙතොලක් තිබිය යුතුයි. ඒ නිසා තොල් සඳහා ඇති ස්ක්‍රබ් වර්ගයක් භාවිත කර තොල්වල මැරුණු සම ඉවත් කරගන්න. දිනපතා තොල් ආලේපන භාවිත කරන කෙනෙක් නම් සතියකට දෙවරක් පමණ දෙතොල් ස්ක්‍රබ් කරගත හැකියි. එසේ නැතිනම් උදෑසනට දත් මදින වෙලාවට ටූත් බ්‍රෂ් එකෙන්ම තොල් මෘදු ලෙස අතුල්ලා මැරුණු සම ඉවත් කරගත හැකියි.
මැරුණු සම ඉවත් කරන්න
බොහෝ කාන්තාවන් තොල් ආලේපන භාවිත කළත් සමහර අවස්ථාවල වියළි දෙතොලක් දැකගන්නට පුළුවනි. එම නිසා තොල්වල රේඛා වඩාත් ඉස්මතු වී පෙනෙනවා වගේම සම කොටස් තැන් තැන්වලින් ගැලවී තිබෙනවා. එම නිසා තොල් ආලේපනය විධිමත් ලෙස තොල්වල රැඳෙන්නේ නැතිවා වගේම එහි අවලස්සන ගතියක් ද ඇතිවෙනවා. එම නිසා මුලින්ම ස්ක්‍රබ් එකක් භාවිත කර තොල්වල ඇති මැරුණු සම ඉවත් කරගත යුතුයි.
දිගු වේලාවක් තෙතමනය රැඳෙන්න නම්
තොල් ආලේපන පාවිච්චි කරන වැඩිදෙනෙක් එක්වරම තොල් ආලේපනය තොල් මත ආලේප කරයි. එහෙත් එය ටික වෙලාවක් යන විට වියළි ස්වභාවයක් ගන්නවා. එබැවින් කළ යුත්තේ ප්‍රමිතියෙන් උසස් ලිප් බාම් එකක් තොල් මත ආලේප කර ඉන්පසු ටිෂූ පේපරයකින් තෙත මාත්තු කරන සේ වැඩි කොටස ඉවත් කර පසුව ඒ මත තොල් ආලේපනය ආලේප කළ යුතුයි. එවිට ඉරිතැළුණු, වියළි ස්වභාවයෙන් තොරව තෙතමනයෙන් දිගු වේලාවක් තොල් ආලේපනය රඳවා ගැනීමට හැකියි.
ගැළපෙනම තොල් ආලේපනය
තරමක් අඳුරු පැහැති සමක් තිබෙන කෙනකුට ළා වර්ණ ගැළපෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට කැමැති කැමැති වර්ණ ආලේප කළ නොහැකියි. එවැනි අයට ගැළපෙන්නේ තෝරාගත් වර්ණ කිහිපයක් පමණයි. එවැනි සමක් සහිත තොල්වලට මෙරූන්, දම් පැහැය, දුඹුරු පැහැය වැනි වර්ණ වඩාත් හොඳින් ගළපාගන්න පුළුවනි. එහෙත් සම පැහැපත් කෙනකුට නම් ඕනෑම වර්ණයක් අඩු වැඩි වශයෙන් භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම සමට වඩාත් ගැළපෙනම වර්ණ තෝරා ගැනීමේදී තමන්ගේ අතේ මැණික් කටුව ළඟ ටිකක් ආලේප කරන්න. එය එම ස්ථානයේ සම සමඟ ගැළපෙනවාද කියා පරීක්ෂා කර බලන්න.
TEXT – විදුමිණි දිසාකරුණා
