Monday, April 20, 2026
Epaper
Home Beautyදොඩම් පොත්තෙ සහ ලූනුවල බලයෙන් දිදුලන සමක් සහ නීරෝගි දිගු කෙස් කලඹක්

දොඩම් පොත්තෙ සහ ලූනුවල බලයෙන් දිදුලන සමක් සහ නීරෝගි දිගු කෙස් කලඹක්

by Shanaka Lakehouse

අද කාලයේ බොහෝ දෙනා තමන්ගේ බාහිර පෙනුම ගැන දැඩි අවධානයක් යොමු කරති. විශේෂයෙන්ම “Glass Skin” හෙවත් වීදුරුවක් මෙන් පැහැදිලි, සිනිඳු සහ දිදුලන සමක් ලබා ගැනීම තරුණ පරම්පරාවේ ප්‍රධාන සිහිනයකි. මේ සඳහා වෙ‍ෙළඳපොළේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන සහ මිල අධික සීරම් (Serum) වර්ග පසුපස හඹා යාම සාමාන්‍ය දෙයක් වී ඇත. නමුත් එවැනි රසායනික ද්‍රව්‍ය මඟින් සමට දිගුකාලීන හානි පැමිණිය හැකිය. ඔබේ නිවෙසේදීම සොබාදහමෙන් ලබාගත හැකි සරල ද්‍රව්‍ය භාවිත කරමින් ආරක්ෂිතව මෙම සුන්දරත්වය ලබා ගන්නා රහස් මෙන්න.


දොඩම් ලෙලි සත්කාරය

සම පැහැපත් කරන ස්වභාවික රහස

සම පැහැපත් කරන මිල අධික සීරම් වර්ගවල අඩංගු ප්‍රධානම සහ රහසිගතම සංයෝගය “Vitamin C” බව ඔබ දන්නවාද? රසායනික ද්‍රව්‍යවලට විශාල මුදලක් වැය නොකර, ඔබ ඉවත දමන දොඩම් ලෙලි මඟින් මෙම පෝෂණය සෘජුවම ලබාගත හැකිය.

ඇයි මේ සත්කාරය මෙතරම් සුවිශේෂී වන්නේ?

දොඩම් ලෙලිවල අඩංගු ස්වභාවික ‘සිට්‍රික් ඇසිඩ්’ (Citric Acid) සමේ මළ සෛල ඉවත් කර (Exfoliation), අඳුරු පැල්ලම් මැකීමට උපකාරී වේ. එමෙන්ම එහි ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් සමට ක්ෂණිකව රන්වන් දීප්තියක් (Instant Glow) ලබා දෙයි. මෙය නිතිපතා භාවිත කිරීමෙන් සමේ රැලි වැටීම් පාලනය කර තරුණ බව රැකගත හැකිය.

සකස් කරගන්නා ආකාරය

(සරල රහස් වට්ටෝරුව)

මෙම සත්කාරය සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඉතා සරල ද්‍රව්‍ය තුනක් පමණ.

● දොඩම් ලෙලි පවුඩර්

දොඩම් ලෙලි අව්වේ නොව පවනේ වියළා, හොඳින් කුඩු කර පෙනේරයකින් හලා ගන්න.

● නැවුම් යෝගට්

යෝගට්වල ඇති ලැක්ටික් ඇසිඩ් මඟින් සම තෙතමනය කරන අතර සමේ පැහැය ඒකාකාරී කරයි.

● පිරිසිදු මී පැණි

මී පැණි යනු සමේ ඇති විසබීජ නාශනය කර සම සිනිඳු කරන ස්වභාවික මෘදුකාරකයකි.

භාවිත කරන ආකාරය

මෙම ද්‍රව්‍ය තුන හොඳින් මිශ්‍ර කර උකු ආලේපනයක් සාදා ගන්න. මුහුණ හොඳින් පිරිසිදු කර එය මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 15-20ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න. සතියකට දින දෙකක් මෙය අඛණ්ඩව සිදු කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන “Glass Skin” පෙනුම නිවැරදි ලෙස ලබාගත හැකිය.

කෙස් කලඹේ සුන්දරත්වයට ලුනු තෙල් සත්කාරය

සම නීරෝගිව දිදුලන විට ඔබේ හිසකෙස් ගැන නොසලකා හැරිය නොහැකිය. කාන්තාවකට ලස්සන, දිගු සහ දිදුලන කෙස් කලඹක් යනු වටිනා ආභරණයකි. කෙස් වැටීම පාලනය කර කොණ්ඩය ඉක්මනින් දිගු කර ගැනීමට ගෙදරදීම සාදාගත හැකි හොඳම විසඳුම ලුනු තෙල් සත්කාරයයි.

ලුනුවල ඇති පෝෂණ ගු ණය

ලුනු යනු හිසකෙස් වර්ධනයට අවශ්‍ය සල්ෆර් (Sulfur) බහුලවම අඩංගු එළවළුවකි. මීට අමතරව එහි Vitamin B1, B2, B6, C, B9 සහ Vitamin E වැනි වැදගත් විටමින් වර්ග රාශියක් අඩංගු වේ.

Vitamin B1 හා B6

හිසකෙස් මුල් උත්තේජනය කර කෙස් වැටීම පාලනය කරයි.

Vitamin E:

හිස්කබලේ සෛල අලුත් කර අවශ්‍ය තෙතමනය රඳවා ගනී.

පොටෑසියම් සහ මැග්නීසියම් හිසකෙස් ශක්තිමත් කර ස්වභාවික දිදුලන බව වැඩි කරයි.

ලුනු තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනය

හිස්කබලේ රුධිර ගමනාගමනය වැඩි කරමින් නව හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

දිලීර නාශක ගුණය

හිස්හොරි ඇතුළු හිස්කබලේ ඇති වන විවිධ දිලීර ආසාදන ඉවත් කරයි.

ශක්තිමත් බව

කෙස් ගස මැදින් කැඩී යාම පාලනය කර කෙස් කළඹ ඝනකම් කරයි.

ලුනු තෙල් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය:

බී ලුනු ගෙඩි කිහිපයක් සහ පිරිසිදු සුදු පොල් තෙල් කෝප්ප භාගයක්.

පියවර

පළමුව බී ලුනු පොතු ඉවත් කර සිහින්ව කපා, හොඳින් මිරිකා එහි යුෂ වෙන් කර ගන්න.

භාජනයක් ළිප තබා පොල් තෙල් මඳක් රත් කරන්න.

තෙල් රත් වූ පසු සකස් කරගත් ලුනු යුෂ එයට එක් කරන්න.

මිශ්‍රණය මඳ වේලාවක් රත් කර (තෙල්වල වර්ණය මදක් වෙනස් වන තෙක්) ළිපෙන් ඉවත් කරන්න.

තෙල් හොඳින් සිසිල් වූ පසු පිරිසිදු වීදුරු බෝතලයක ගබඩා කරන්න.

නිවැරදිව භාවිත කරන ආකාරය

මෙම තෙල් සතියකට දින දෙකක් හිස්කබලේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න. අවම වශයෙන් මාස තුනක්වත් අඛණ්ඩව මෙය සිදු කිරීමෙන් පුදුම සහගත ප්‍රතිඵල ලබාගත හැකිය. ඔබේ කොණ්ඩය දිගු, ශක්තිමත් සහ කළු පැහැයෙන් දිදුලන ආකාරය ඔබටම දැකගත හැකි වනු ඇත.

පිටතින් ලබාගන්නා තාවකාලික ආලේපනවලට වඩා සොබාදහමේ ආශීර්වාදයෙන් ලැබෙන මෙම ස්වභාවික සත්කාරයන් සැමවිටම අගය කරන්න. නිවැරදි කැපවීමෙන් සහ ඉවසීමෙන් යුතුව මෙම සත්කාරවල නියැළීමෙන් ඔබටත් ස්වභාවිකවම රූමත් පෙනුමක් හිමි කරගත හැකිය.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?