Monday, April 20, 2026
Epaper
Home Beautyබ්ලීචිං නැතුව ලස්සන වෙමු ද?

බ්ලීචිං නැතුව ලස්සන වෙමු ද?

by Shanaka Lakehouse

අද ලෝකයේ “ලස්සන” කියන වචනයට දීලා තියෙන අර්ථය බොහෝවිට සමේ වර්ණයත් එක්ක බැඳී තියෙනවා. ඒ නිසාම පැහැදිලි සමක් ලබාගැනීමේ ආශාවෙන් බොහෝ දෙනා බ්ලීචිං ක්‍රීම් වැනි නිෂ්පාදන වෙත යොමු වෙනවා. මිනිත්තු කිහිපයකින් ලැබෙන ඒ කෘත්‍රිම “glow” එක, සැබෑ සෞඛ්‍ය සම්පන්න සමක නිරූපණයක්ද, නැතිනම් කෙටි කාලීන වංචාවක්ද යන්න අප විමසා බැලිය යුතු කරුණකි.

සම යනු ශරීරයේ විශාලතම අවයවයක් වන අතර, එය අපගේ අභ්‍යන්තර සෞඛ්‍යය පෙන්වන කණ්ණාඩියක් ලෙසද සැලකේ. එබැවින්, මුහුණට යොදන රසායනික ද්‍රව්‍ය මඟින් පමණක් එය පාලනය කිරීමට උත්සාහ කිරීම සීමිත ප්‍රවේශයකි. සැබෑ ලස්සන නිර්මාණය වන්නේ අප ගන්නා ආහාර, ජීවන රටාව සහ ස්වාභාවික සත්කාර යන සියල්ල එකට එක්වීමෙනි.

ඒ නිසා, බ්ලීචිං ක්‍රීම් භාවිතයෙන් ලැබෙන කෙටිකාලීන ප්‍රතිලාභ පසුපස සැඟවී ඇති භයානක පැත්ත ගැන මඳක් හෝ දැනුමක් ඇත්නම් ඔබ ඒ පසුපස නොයනු ඇත. රූපලාවණ්‍ය ගැන උනන්දු වන ඔබ ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතු වන්නේ ඒ නිසයි.


රසායනික ද්‍රව්‍ය සහ සමේ ප්‍රතික්‍රියාව

බ්ලීචිං ක්‍රීම්වල බහුලව Hydrogen Peroxide, Ammonia වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මේවා සමේ වර්ණය ලබා කිරීමට උපකාරී වුවත්, සමහර අයට ඒවාට අසාත්මිකතා ඇතිවිය හැකිය. එවිට රතු වීම, කැක්කුම, දැවෙන හැඟීම, ඉදිමීම වැනි ලක්ෂණ මතුවේ. විශේෂයෙන් සංවේදී සමක් ඇති අයට මෙම ප්‍රතික්‍රියා දැඩිව පෙනේ.

සම වියළීම හා ස්වාභාවික ආරක්ෂාව අඩුවීම

බ්ලීචිං කිරීමෙන් සමේ ස්වාභාවික තෙතමනය අඩු වන අතර, එය වියළි, රළු ස්වභාවයකට පත් වීමට හේතු වේ. දිගුකාලීනව භාවිත කළහොත් සමේ ආරක්ෂක ස්ථරය (skin barrier) දුර්වල වන අතර, බාහිර හානි වලට පහසුවෙන් ලක්වන තත්ත්වයක් ඇතිවේ.

සූර්ය කිරණවලට වැඩි සංවේදිතාව

බ්ලීචිං කිරීමෙන් පසු සම සූර්ය කිරණවලට ඉතා සංවේදී වෙයි. මෙය sunburn සහ කළු ලප නැවත මතුවීම වැනි ගැටලු ඇති කරයි. සන්ස්ක්‍රීන් භාවිත නොකරන්නේ නම්, මෙම අහිතකර ප්‍රතිවිපාක තවත් වැඩි වේ.

රසායනික පිලිස්සුම් සහ බරපතල හානි

නිර්දේශිත කාලයට වඩා බ්ලීචිං ක්‍රීම් තැබීම හෝ වැරදි ලෙස භාවිත කිරීම රසායනික පිලිස්සුම් හට ගැනීමට හේතු වේ. එවිට සම දැවීම, බිබිළි ඇති වීම, තුවාල ඇතිවීම වැනි බරපතළ තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. මෙය වහාම ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි.

කුරුලෑ සහ සමේ ගැටලු වැඩිවීම

බ්ලීචිං ක්‍රීම් සමහරවිට සිදුරු අවහිර කිරීම නිසා කුරුලෑ (acne) වැඩි වීමට හේතු වේ. දැනටමත් කුරුලෑ ඇති අයට එය තවත් උග්‍ර විය හැකිය. සමේ අසමතුලිත වර්ණය (uneven skin tone) සහ පැල්ලම් වැනි ගැටලුද මතුවිය හැකිය.

දිගුකාලීන භාවිතයේ ප්‍රතිවිපාක

නිතර බ්ලීචිං කිරීමෙන් සමේ ස්වාභාවික තත්ත්වය පිරිහී, වයසට වඩා වයස වැඩිව පෙනීම සිදු විය හැකිය. රැලි සහ රේඛා ඉක්මනින් පෙනීම, සම තද නොවීම වැනි ගැටලුද පසුව මතුවේ.

සංවේදී ස්ථාන සඳහා අවදානම

ඇස් වටා, තොල් වටා වැනි සංවේදී ස්ථානවල බ්ලීචිං ක්‍රීම් භාවිත කිරීමෙන් දැවීම, ඉදිමීම වැනි ගැටලු ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. එබැවින් එම ප්‍රදේශවල භාවිත කිරීමෙන් වැළකී සිටීම වැදගත්ය.

වඩා ආරක්ෂිත විකල්ප

බ්ලීචිං ක්‍රීම්වල අහිතකර පැත්ත සැලකිල්ලට ගනිමින්, ස්වාභාවික ක්‍රම භාවිත කිරීම වඩාත් ආරක්ෂිත සහ දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙන විකල්පයක් ලෙස සැලකේ. අඩු මුදලකින් ලබා ගත හැකි එවැනි දේ තුළින් දිගුකාලීන පැහැපත් බව ලබා ගත හැකියි. කහ (Turmeric) වල සමේ කළු ලප අඩු කරන ප්‍රතිජීවක ගුණ ඇත. කිරි සහ යෝගට් මිශ්‍ර කර ගෑමෙන් සම මෘදු කර පැහැදිලි පෙනුමක් ලබාදේ. කෝමාරිකා සම සුවපත් කර සමට තෙතමනයක් ලබාදේ. මී පැණි ස්වාභාවික මොයිචරයිසර් එකක් ලෙස ක්‍රියා කරයි. දෙහිවල විටමින් C අඩංගු නිසා සමට එළියක් ගෙන දෙයි.

කෑම බීම හා ජීවන රටාව

මුහුණේ ගාන ක්‍රීම් පමණක් භාවිත කිරීමෙන්ම පැහැදිලි සමක් ලබාගත නොහැකියි. අප ගන්නා ආහාර හා ජීවන රටාවද සමේ සුන්දරත්වයට විශාල බලපෑමක් කරයි. ඒ නිසා ජලය වැඩිපුර පානය කරන්න. පලතුරු සහ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. තෙල් සහිත, ක්ෂණික කෑම, කෘත්‍රිම ආහාර නවත්වන්න. හොඳ නින්දක් ලබා ගන්න. ඒ අතරම ව්‍යායාම කරන්න.

බ්ලීචිං ක්‍රීම් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ තාවකාලික වුවත්, එහි අහිතකර පැත්ත නොසලකා හැරීමෙන් සමට බරපතළ හානි ඇතිවිය හැකිය. එබැවින්, නිෂ්පාදනය භාවිත කිරීමට පෙර patch test කිරීම, උපදෙස් පිළිපදිමින් භාවිත කිරීම, හා sunscreen යොදාගැනීම අත්‍යවශ්‍යය. අවශ්‍ය නම් වෛද්‍යවරයකුගේ හෝ සෞන්දර්ය විශේෂඥ උපදෙස් ලබාගෙන භාවිත කිරීම වඩාත් ආරක්ෂිත වේ.

ලස්සනම සම යනු සුදු පැහැ සමක් නොව පැහැදිලි පැහැපත් සමයි. ශ්‍රී ලාංකිකයන්ටම අනන්‍ය වූ වෙනම පැහැයක් ඇත. විදේශිකයන්ද ප්‍රියතාවක් දක්වන්නේ ඒ තලෙලු පැහැපත් සමටයි. ඒ නිසාමයි ඔවුන් තලෙ සමක් ලබා ගැනීමේ අරමුණින් ආසියාතික රටවල සංචාරය කරන්නේ. ඔවුන් අව් රශ්මිය විඳිමින් සමේ පැහැය අඳුරු කරගන්න උත්සාහ කරද්දී උපතින්ම එවන් සමකට හිමිකම් කියන තරුණියන් සුදු වෙන්න දරන වෑයම අනවබෝධයකි. ඒ නිසා සුදු යනු ලෝකයේ ලස්සනම සමයි කියා හිතන ඔබ බ්ලීචිං නිසා විරූපී මුහුණකට නොදුරේදීම හිමිකම් කියනු ඇත. ඒ නිසා ඔබට අනන්‍ය වූ සම ලස්සනට පැහැපත් කරගන්න හිතකර දේවල් පමණක් තෝරා ගන්න.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?